free stats

පුංචි දරුවෝ ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්න අවශ්‍ය වුනත් ඇස් දෙක වැහෙන තත්පරයෙත් දරුවන් විවිධ අනතුරු වලට ලක්වෙන තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.එයට හේතුව වෙන්නෙ දරුවන්ගෙන් ඈත් කරලා තියන්න අවශ්‍ය වෙන දේවල් දරුවන්ගේ ඇස ගැටෙන තැන් වලින් තියන එක කිව්වොත් නිවැරදියි.පුංචි දරුවෝ හැම මොහොතකම අලු‍ත් දේවල් ඉගෙන ගන්න ගොඩක් කැමතියි.ඔවුන්ගේ වර්ධනයත් එක්ක නිවස තුළ දකින්න තිබෙන හැමදේම ඔවුන් ස්පර්ශ කරන්න දෙවරක් හිතන්නෙ නැහැ.ඒ නිසාම අම්මා නිතරම තම නිවස පුංචි දරුවාට සුරක්ෂිත තැනක් කළ යුතුයි.

විශේෂයෙන් පුංචි දරුවන් වැඩි වශයෙන් පිලිස්සීම වලට ලක්වන්නේ ඔවුන්ගේම නිවස තුළයි.ළමා හදිසි අනතුරු වැළැක්වීමේ භාරකාරීත්වය වාර්තා අනුව ද 99% ක්ම දරුවන්ට පිළිස්සුම් තුවාල ලක්වන්නේ නිවස තුළ බවට තහවුරු කර තිබෙනවා. විශේෂයෙන් ම මෙයට හේතුවන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් බවයි. පුංචි දරුවෝ දණ ගාන්න පටන් ගන්න කාලයේදී පටන්ම නිවස තුළ තිබෙන ආරක්ෂාව තහවුරු කිරීම අනිවාර්ය වෙනවා.

පුංචි දරුවෝ පිළිස්සුම් තුවාලවලට වැඩි වශයෙන් මුහුණ දෙන්නෙ මවගේ රූපලාවණ්‍ය උපකරණ නිසා නැතිනම් උණුසුම් ජලය භාවිතයේදී කිව්වොත් නිවැරදියි.බොහෝ අවස්තාවල මවගේ හිසකෙස් සකසනය ,හිසකෙස් වියළනය වැනි උපකරණ නිසා දරුවන් අනතුරට පත්වීමට තිබෙන හැකියාව වැඩියි. හිසකෙස් ස්ටේ‍රට් කරනු ලබන උපකරණ නිවා දැමූ පසුවත් එය සිසිල් වීමට බොහෝ වෙලාවක් ගත වෙනවා. මෙම උපකරණය විදුලි ස්ත්‍රික්කය තරමටම දැඩි රස්නයකින් පවතින බව මව්වරුන් අමතක නොකල යුතුම කාරණයක් වෙනවා.

ඒ වගේම දරුවන් පිරිසිදු කිරීමට දැඩි රස්නයකින් යුතු ජලය භාවිතා කිරීම නිසාත් දරුවෙකු පිළිස්සුම් අනතුරකට ලක්වීමට ඇති ඉඩකඩ වැඩියි.එයට හේතුව තද උණුසුම් වතුර ජල බදුනට දමා එය තරමක් සිසිල් වීමට තිබෙන කාලය තුළත් දරුවන්ට වැඩි අවධානයක් යොමු නොකලහොත් ඔවුන් අනතුරට ලක්වීමට පුලු‍වන්. කිසිම අවස්ථාවක දරුවා ස්නානය කරන අවස්තාවේ ඔවුන් නාන කාමරය තුළ තනි කිරීම නොකළ යුතු වෙනවා. කුඩා දරුවන් දණ ගාමින් සිට ගැනීමට සහ ඇවිදීමට උත්සහ කරනු ලබන කාලය තුළ මව දරුවන්ට වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඔවුන්ගේ මේ කාලසීමාව අනතුරු වැඩි වශයෙන් සිදුවන නිසාත් එම අනතුරුවලින් වළක්වා ගැනීමට අවශ්‍ය නිසයි.

දෙමව්පියන් වැඩි අවධානයක් යොමු නොකලත් නිවසේ තිබෙන රූපලාවණ්‍ය උපකරණ වලින් ඔබේ කුඩා දරුවාට නොසිතූ අනතුරු ඇති කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පුංචි දරුවන් අනුකරණය කිරීමට ඉතාම දක්ෂයි. වැඩිහිටියන් නිතර භාවිතයට ගන්නා රූපලාවණ්‍ය උපකරණ ඔවුන්ට හුරු පුරුදු නිසාම එවැනි දේ පුංචි දරුවන් භාවිතා කිරීමට දක්වන්නේ කුතුහලයක්. මේ නිසාම පුංචි දරුවන් මුහුණ දෙන්නෙ නොසිතූ අනතුරුවලටයි.

කෙස් වියළන උපකරණය ද වැඩි උෂ්ණත්වයක් පවතින දෙයක් මව්වරුන් මෙවැනි දේ භාවිතයෙන් පසුව ඒ පිලිබදව ලොකු අවධානයක් යොමු කරන්නෙ නැහැ.මේ නිසා දරුවන් වැඩි ප්‍රමාණයක් පිලිස්සුම් තුවාල වලට මුහුණ දෙන්නේ මව්වරුන්ගේ නොසැලකිලිමත් බව නිසා කිව්වොත් නිවැරදියි.

රේසර් උපකරණය ගත්විට මෙය සාමාන්‍ය උපකරණයක් වගේම විදුලි රේසර් ලෙසද පවතිනවා. රේසර් වැනි තියුණු කැපෙනසුලු‍ උපකරණ දරුවන්ගේ ඇස නොගැටෙන ස්ථානවල තැබීමට වැඩිහිටියන් අවධානය යොමු කළ යුතුයි.

ටුවිසර් හෙවත් ඇහිබැම සකසනය පුංචි උපකරණයක් වුවත් පුංචි දුව පුතා නිතරම තම මව හෝ පියා අනුකරණය කරන්න තිබෙන කැමැත්ත නිසාම මෙවැනි දේ තුළින් ඔබේ කුඩා දරුවා නොසිතූ අනතුරු වලට මුහුණදෙන ඉඩකඩ වැඩියි.

අනතුරු වලට පිළියමක් ලෙස ඔබේ නාන කාමරය දරුවාට සුරක්ෂිත ස්ථානයක් බවට පත් කළ යුතුයි. ඔබේ නාන කාමරය පුංචි දරුවෙකුට අනතුරු පිරුනු ස්ථානයක් වීමට පුලු‍වන් මේ නිසා ඔබේ නාන කාමරය ආරක්ෂා සහිත තැනක් කිරීමට විවිධ ක්‍රම පවතිනවා.

  • ඔබේ පුංචි දරුවාගේ හිසට තුවාල සිදුවීමට වැඩි හැකියාවක් පවතින දෙයක් තමයි නාන කාමරය තුළ තිබෙන කරාමය.මෙයින් අනතුරු වළක්වා ගැනීමට නම් එම කරාමවලට ආරක්ෂිත ආවරණයක් දැමිය යුතුයි.
  • නාන කාමරයෙහි දොර නිතර වසා තැබීමට වග බලා ගැනීම අනිවාර්යයි.විශේෂයෙන් එම දොරට පිටතින්ද අගුළු දැමීම වඩාත් සුදුසුයි.
  • නිවසට රැගෙන එන ඖෂධ වර්ග වැනි දේ දරුවාගෙන් ඈත් කර තබන්න.විශේෂයෙන් ඖෂධ පෙට්ටිය අගුළු දමා තැබීම ඉතාම ආරක්ෂාකාරී පියවරක්.
  • කැඩුණු වීදුරු බදුන් වැනි දේ කිසිම විටෙක නිවස අවට හෝ කුණු දමන බදුනේ නොදමන්න එයින් දරුවාගේ ආරක්ෂාව සැලසෙනවා.
  • කුඩා දරුවෙකුට නිවසේදී පිලිස්සුම් තුවාල ඇතිවුවහොත් මිනිත්තු විස්සක් පමණ පිරිසිදු ජලයට පිලිස්සුම් තුවාල නිරාවරණය කරගෙන එය සිසිල් කරගන්න.
  • පිලිස්සුම් තුවාල වල නොඇලෙන ලෙස සියලු‍ම ඇදුම් ඉවත් කර සුවපහසු තුවායකින් දරුවා ආවරණය කරන්න.
  • රෝහලට රැගෙන යන තෙක් දරුවා උණුසුම්ව හා පහසු ඉරියව්වකින් තබා ගන්න.

නිවස තුළ සැගවී තිබෙන සියලු‍ අනතුරුවලින් දරුවා ආරක්ෂා කරගැනීම මවගේ වගකීම වගේම එම අනතුරු වලක්වා ගැනීමද මවගේ යුතුකමක්.

සටහන – මල්ෂා නානායක්කාර