free stats

වයස අවුරුදු 2-12 ත් අතර දරුවන්ට වැළඳෙන රෝගයක්
ගැස්මකින් තොර වලිප්පුව

දරුවන්ට ඇතිවන වලිප්පුව රෝගයේ දි ඔවුන්ගේ ඇස් උඩ ගොස් සිරුර ගැස්මකට ලක් වන බව ඔබ දන්නවා ඇති. නමුත් සමහර විට ඇඟේ එවැනි ගැස්මකින් තොරව ද වලිප්පුව ඇතිවේ. එලෙස සිදුවන්නේ ඇබ්සන්ට් අපස්මාරයේදීය.

මෙම රෝග තත්ත්වය ඇති දරුවන් තමන් සිටින ඉරියව්වෙන්ම සිට එනම් හිඳගෙන හෝ හිටගෙන නිසොල්මනේ බලාගෙන සිටී. වලිප්පුව අවසන් වූ පසු නැවතත් ඔහු පෙර කරමින් සිටි කාර්යය අරඹයි. උදාහරණයක් ලෙස දරුවා යමක් ලියමින් සිටින්නේ නම් එක්වරම එය නතර කර නිසොල්මනේ සුළු කාලයක් ගතකර නැවත ලිවීම අරඹයි.

ඇබ්සන්ට් අපස්මාරය සාමාන්‍යයෙන් මිනිත්තුවට අඩු කාලයකට එනම් තත්පර කිහිපයකට සීමා වන නිසා මේ පිළිබඳව නොදන්නා කෙනෙක් මෙය රෝග තත්ත්වයක් කියා සිතන්නේ නැත. විශේෂයෙන්ම තත්පර 5 කට අඩු කාලයක් තුළ රෝගය ඇති වේ යැයි අනුමාන කිරීම බොහෝ දෙනෙකුට අපහසු වේ. අනෙක් අයට සිතෙන්නේ දරුවා දවල් හීන දකිනවා කියායි.

ඇබ්සන්ට් අපස්මාරයේ බලපෑම.

ළමා ඇබ්සන්ට් අපස්මාරය ඇති වන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 2-12 අතර වයස කාණ්ඩයට යි. ඒ කාල සීමාව දරුවාගේ පෙර පාසල් හෝ එසේත් නැත්නම් පාසල් යන අවධියයි.

පාසල් වයසේ වලිප්පුව ඇතිවන විට සාමාන්‍යයෙන් පැයකට වාර 10 ක් පමණ හෝ ඊට වැඩියෙන් කෙටි කාල පරාසවල රෝග තත්ත්වය ඇති වේ. එවිට උගන්වන පාඩමට ඇති අවධානය ගිලිහේ. දරුවන් ඇහුන්කන් නොදී අහක බලාගෙන ඉන්නවා යැයි ගුරුවරුන්ට සිතෙන්නට පුළුවන්. එය අවධානය අඩුකමක් නොව වලිප්පු තත්ත්වයක් බව හඳුනාගත හැකි වන්නේ ඉතා හොඳින් නිරීක්‍ෂණය කළහොත් පමණි. මේ නිසා රෝගය පිළිබඳව ගුරුවරයාට ද වැටහීමක් තිබිය යුතුය. මෙම වයසේ දරුවන් වැඩි කාලයක් සිටිනුයේ පාසලේ බැවින් රෝග ලක්‍ෂණ ගැන බොහෝ විට නිරීක්‍ෂණය කල හැකි වන්නේ ගුරුවරයාටයි.

ඉගෙන ගන්නා කාලය තුළ වලිප්පු තත්ත්වය ඇති වීම නිසා වැනි දරුවන්ට ඔවුන්ගේ පාඩම් කොටස් අතපසු වීමක් සිදු වී ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය පසුබැස්මකට ලක්විය හැකිය. නමුත් මෙම රෝග තත්ත්වයේ පසුවන දරුවන් පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේදී ඔවුන්ගේ බුද්ධිය හෝ අවධානය අයහපත් නොවන බව හඳුනාගෙන ඇති බව ද පෙන්වා දියයුතුය.

රෝගය හඳුනාගැනීම


දවල් හීන දැකීමක් යයි නොසිතා ඇබ්සන්ට් අපස්මාර තත්ත්වය හඳුනාගැනීම දරුවාගේ නිරෝගි වර්ධනයට අත්‍යවශ්‍ය බව දෙමව්පියන් තේරුම් ගත යුතුය. ඒ සඳහා ඇති ක්‍රම කිහිපයකි.

1 සවන් දීම


මව්පියන්ගේ හා ගුරුවරුන්ගේ නිවැරදි රෝග විස්තරයට සවන් දීමෙන් මෙය හඳුනාගත හැකි වේ. දරුවාගේ අස්වාභාවික අවස්ථා වීඩියෝ ගත කිරීමෙන්ද රෝගය හඳුනාගත හැක.

2 වලිප්පුව කෘතිමව නිර්මාණය කිරිම


වේගවත් හුස්මක් ගැනීමක් තුළින් වලිප්පුව කෘතිමව නිර්මාණය කිරීම. අපස්මාර තත්ත්වය ඇති දරුවාට එක දිගට වේගයෙන් හුස්ම ගැනිමට සැලැස් වූ විට රෝගය ඉබේම ඇතිවේ. අතීතයේදී ඇබ්සන්ට් අපස්මාරය හඳුනා ගැනීමට මෙම හුස්ම ගැනීමේ ක්‍රමවේදය භාවිතා කලද දැන් එම ක්‍රමවේදය වැඩිපුර භාවිතා කරනු නොලැබේ.

03 EEG භාවිතයෙන් වලිප්පුව හඳුනාගැනීම


මෙය රෝගී තත්ත්වය හඳුනා ගැනීමට යෝග්‍යතම ක්‍රමයවේ.

●ඇබ්සන්ට් අපස්මාරය හඳුනා නොගතහොත් දරුවාට අනතුරක් සිදුවීමේ අවදානම වැඩිය.

විශේෂයෙන් මහ මාර්ගයේ මාරුවන අවස්ථාවන්හිදී රෝගය ඇති වුවහොත් අනතුරක් සිදුවිය හැක.

●දරුවා සම්පුර්ණයෙන් සුව වු පසු නැවත අධ්‍යාපන කටයුතු නිසිලෙස කරගෙන යෑමේ අවකාශය සැලසේ.

විශේෂ කරුණු….

●ඇබ්සන්ට් අපස්මාරය සහිත දරුවන්ගෙන් 15-20% කට පමණ උණ වලිප්පු අත්දැකීමද තිබිය හැක.

●රෝගයෙහි ජානමය පසුබිමක් ඇති බව විශ්වාස කෙරේ. ඊට හේතු වී ඇත්තේ ඇබ්සන්ට් අපස්මාරය සහිත දරුවන්ගේ
20% ක ගේ පමණ ඥතීන්ට ද මෙම රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වීමයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ස්නායු රෝග
විශේෂඥ වෛද්‍ය
අනුරුද්ධ පාදෙනිය මහතා.

සටහන – තාරුකා ළිඳකුඹුර