free stats

පුංචි පැටියා ඉපදුණු මුල්ම කාලේ එයාගේ මළ පහ දියාරුයි. ඒ වගේම ඒවා පැහැයෙන් ලා පාටයි. මොකද එයා බොන්නේ මව්කිරි විතරක් ම නිසයි. ඝණ ආහාර ගන්න කාලය වනතුරුම පැටියාගේ මළ වැඩිහිටියන් ගේ වගේ ඝණකම් වෙන්නේ නැහැ. ඒවා කහ පැහැයෙන් යුතුයි. වර්ණය තද වන්නට පටන් ගන්නේ කාලය ගත වීමෙන් පසුවයි.

පුංචි දරුවෙක් සමාන්‍යයෙන් දිනකට කිහිප වරක් මළ පිට කරනවා. සමහර විට දෙවරක් පමණ වෙන්න පුලුවන්. ඒහෙම නැතත් පැය 24 කට වරක් හෝ පැටියා මළ පිටකරනවා. නමුත් මළ බද්ධය ඇතිවුණාම පැටියා සමහර විට දවස් දෙකක් ඒ කියන්නේ පැය 48 ක් යනතුරු මළ පිට කරන්නේ නැහැ. ඉතාම අපහසුවෙන් මළ පිට කරනවා වගේම පැටියගේ මළ කැබලි විදියට පිටවෙනවා දැකගන්නත් පුලුවන්. සමහර විට මළ පිටකරගන්න බැරි නිසා එයා අඬන්නත් ඉඩ තියෙනවා. හරිම අපහසුවෙන් කෙදිරි ගාන පැටියව දකින්නත් දුකයි.

බිළිඳෙක් මළ බද්ධයට ගොදුරු වෙන්නේ හේතු කාරණා කිහිපයක් ම
නිසා. ප්‍රමාණවත් තරම් බබාට ජලය නොලැබීම මෙයින් ප්‍රධානම හේතුවක්. එ වගේම බිළිඳු මළ බද්ධය වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ කිරි වරන කාලයේ දියි. මොකද පැටියට ලැබෙන මව්කිරි ප්‍රමාණය එක් වරම අඩු වෙනවා. ඒ අතරේ පැටියට අලුත් ආහාර වලට හුරු වෙන්න සිදු වෙනවා. මව්කිරෙන් පමණක් පෝෂණය ලබන කාලයේ මළ බද්ධය ඇති වන්නේ හරිම කලාතුරකින් බව ඔබට වැටහෙන්න ඇති. මේ විදියට අලුත් ආහාර වලට හුරු වෙන කාලේ එයා හරියට ආහාර නොගෙන ඉන්න වෑයම් කරාවි. මොකද එයාට මේ ආහාර වර්ග ඒතරම් හුරු නැති නිසා.

අලුත් ආහාර පුරුදු කරන කාලයේ දි පුංචි පැටියට හොඳ එළවලු පළතුරු ලබා දෙන්න සැලකිලිමත් වෙන්න. දිරවාගන්න පහසු ආහාර පැටියාට මළ බද්ධය ඇතිවීම වළක්වනවා. නමුත් එක දිගට කාලයක් තිස්සේ පැටියට මළ බද්ධය තිබුණොත් දරුවා වෛiවරයෙකුට පෙන්වන්න වෙනවා. මොකද විවිධ හේතු නිසාත් මළ බද්ධය ඇතිවෙන්න පුලුවන් නිසා. මළ බද්ධය හැදුනට පස්සේ එය දරුවාගේ ගුද මාර්ගයට වගේම බඩවැලටත් බලපානවා. සමහර විට ගුද මාර්ගය මුල කොටස සහ අග කොටස පිපිරිමට ඉඩ තියෙනවා. මේ නිසා පැටියට මළ බද්ධය තිබෙනවා කියලා තේරුණු ගමන්ම බෙහෙත් ගන්න එක හොඳයි.

පැටියට හොඳ එළවලු පළතුරු වර්ග දෙන අතරේ කෙදි සහිත ආහාර වැඩියෙන් ලබා දීමත් වැදගත්. බබා ජලය පානයට හුරු කිරිම මඟින් මළ බද්ධය වලක්වාගන්න පුලුවන්.