free stats

නැවත ගර්භණී වීමේ සම්භාවිතාව

දරු ප්‍රසූතියකින් පළමු මාස කිහිපය තුළ නැවත ගර්භණී වීමේ සම්භාවිතාව තිබෙන්නේ ඉතාම අවම මට්ටමකයි. නමුත් ඒ සඳහා සම්පූර්ණ වියයුතු සාධක කිහිපයක්ම තිබෙනවා. එනම් මව්කිරි දෙන කාලසීමාවේ මවගේ මාසික ඔසප් චක්‍රය ක්‍රියාත්මක නොවිය යුතුයි. එසේම දරුවාට මව්කිරි පමණක් ලබා දෙන මවක් නම් සහ ඇය උදෑසනට සහ රාත්‍රි කාලයට අනිවාර්යයෙන්ම මව්කිරි ලබාදෙනවා නම් ගර්භණී වීමට පවතින්නේ අවම ඉඩක් පමණයි. නමුත් සාමාන්‍ය පරිදි ඔසප් චක්‍රය ක්‍රියාත්මක වේ නම් සහ රාත්‍රි කාලයට මව්කිරි ලබාදීම සිදුනොවේ නම් එවැනි මවක් නැවත ගර්භණී විය හැකියි.

නැවත ගර්භණී වීම නුසුදුසු ද

පළමු දරු ප්‍රසූතියෙන් පසු මවගේ සිරුර නැවත යථා තත්ත්වයට පත්වීමට සති හයක (6) ක කාලයක් ගතවනවා. එයට අමතරව නැවත දරු ප්‍රසූතියක් සඳහා මානසික වශයෙන් සූදානම් වීමට යම් කාලයක් අවශ්‍යයි. දරු පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වාත් ප්‍රසූතියෙන් පසුත් කාන්තාවකගේ සිරුරේ සෑම අවයවයක්ම වෙනස් වනවා. මේ අවයව නැවත පිළිසිඳගැනීමකට සූදානම් වීමට කාලයක් අවශ්‍යයි. අවම වශයෙන් වසර දෙකක පරතරයක් තබාගන්නට යයි වෛද්‍යවරුන් පවසන්නේ ඒ නිසයි.

මවට ඇතිවන පෝෂණ ඌණතා

ළඟ ළඟම ප්‍රසූතියක් සිදුවුණු නිසාත් කිරි දෙන මවක් නිසාත් සමහර විට ඇය ගන්නා ආහාර මඟින් ලැබෙන පෝෂණය ප්‍රමාණවත් නොවන්නට පුළුවන්. මෙවන් අවස්ථාවක නැවත පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත් දැනට ලැබෙන පෝෂණය කලලය උරාගන්නා නිසා මවට පෝෂණ ඌණතා ඇතිවිය හැකියි. නිසි පරිදි සමබල ආහාර වේලක් ගතනොහැකි වුවහොත් මවට නිරක්තිය ඇතිවන අතර එයින් කලලයේ වර්ධන අඩාල වනවා. මෙයට අමතරව මවට යකඩ හා කැල්සියම් ඌණතා ඇතිවිය හැකියි.

නිදන්ගත රෝග

පළමු ප්‍රසූතියේ දී නිදන්ගත රෝග ඇතිවුණු මවක් නම් ඇයට දෙවන දරු ප්‍රසූතියේ දී එම තත්ත්වයන් නැවත මතුවනවා. එසේම පළමු ගැබ්ගැනීමට පෙර සිටම නිදන්ගත රෝග තිබුණු මවක් නම් ළඟ ළඟම සිදුවුණු දෙවන පිළිසිඳගැනීම නිසා මෙම තත්ත්වය වර්ධනය වෙන්නට පුළුවන්. කලින් ගර්භණී සමයේ ඇතිවුණු ගැටළු දෙවන පිළිසිඳගැනීමේ දී දෙගුණයකින් වර්ධනය වීමේ අවධානමක් තිබෙනවා.

සායන සඳහා සහභාගී වීම

ගර්භණී මවක් සායන සඳහා සහභාගී වීම අනිවාර්යයි. සායන මඟින් මවට හෝ දරුවාට තිබෙන අවධානම් තත්ත්ව, සංකූලතා නිසා පරිදි හඳුනාගැනීම සිදුවනවා. එසේම වෛද්‍ය ප්‍රතිකාර, නිසි උපදෙස්, ත්‍රිපෝෂ ලබාගැනීමේ අවස්ථාව ඇත්තෙත් මෙමඟින් පමණයි. නමුත් කිරි බොන වයසේ දරුවෙක් සිටින මවකට සිය දෙවන සායන වාරය මඟහැරෙන්නට පුළුවන්. එයින් අවසියක් සිදුවන්නේ පිළිසිඳගෙන සිටින දරුවාටයි.

මානසික සමතුලිත බව

දෙවන පිළිසිඳගැනීම සැලසුම් නොකල එකක් නිසා මව මානසිකව අසමතුලිත තත්තවයට පත්විය හැකියි. නමුත් ළඟ ළඟ සිදුවන පිළිසිඳගැනීම ගබ්සාවකට හේතුවක් නොවන නිසා ඒ පිළිබඳව බියවීමට අවශ්‍ය වන්නේ නැහැ. නිසි වෛද්‍ය උපදෙස් මඟින් දරුවා නිරෝගීව බිහිකරන්න පුළුවන්. මෙවැනි අවස්ථාවල මවට කායිකව හා සමාජීයව දැඩි පීඩනයක් එල්ල වුවහොත් එය දරාගැනීමට අපහසු වන්නට පුළුවන්. මේ නිසා ඒ පිළිබඳව මවගේ සමීපතමයන් අවධානය යොමුකිරීම ඉතාම වැදගත් වනවා.
ප්‍රසූතිය

පළමු දරු ප්‍රසූතියේ දී ඇතිනොවුණු සංකූලතා දෙවන දරු ප්‍රසූතියෙදී ඇතිවන්නට පුළුවන්. උපදින දරුවා දුර්වල වීමට තිබෙන අවධානමත් ඉහළයි. ඒ නිසා ප්‍රසූතිය වනතුරුම වෛද්‍ය උපදෙස් ලබාගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා.

මෙවැනි මවක්

මවක් නිසි පරිදි සායන සඳහා සහභාගී වීම ඉතාම වැදගත් වනවා. වෛද්‍ය උපදෙස් මත නියම කරණු ලබන සියලුම ඖෂධ වර්ග නිසි පරිදි ලබාගැනීම ඉතාම වැදගත්. එමෙන්ම සියලු පෝෂක අඩංගු සමබල ආහාර වේලක් ලබාගැනීමත් වැදගත් වන්නේ නිරෝගී දරු ප්‍රසූතියක් සඳහායි. නැතිනම් මවත් උපදින දරුවාත් දෙදෙනාම පෝෂණ ඌණතාවලට ගොඳුරුවීම සහ දුර්වල වීම වළක්වන්නට නොහැකියි. සෑම ආහාර වේලකටම බත්වලට අමතරව මස්, මාළු හෝ බිත්තර එක් වර්ගයක් අනිවාර්යෙන්ම එක්කරගත යුතුයි. වැඩිපුර වතුර බීමත් ඉතාම වැදගත්. එසේම විවේකය අත්‍යවශ්‍ය වන අතර ප්‍රසූතිය සිදුවන තුරු වෙහෙස වී සිදුකරන කාර්යයන්ගෙන් ඈත්වීම වැදගත් වනවා. මානසික සුවය වඩාත් වැදගත් නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. පිරිසිදු බව ඉතාම වැදගත්.

ප්‍රසූතියෙන් පසු

දරුවා ලැබීමෙන් පසු රෝහලෙන් පිටවීමට පෙර තාවකාලික උපත් පාලන ක්‍රමයක් සඳහා යොමුවීම වැදගත් වනවා. නැවත දරු පිළිසිඳගැනීමක් අවශ්‍ය කාලය එනතුරු මෙම උපත්පාලන ක්‍රම භාවිතකළ හැකියි. ජඩෙල්, ඩිපොප්‍රොවේරා එන්නත හෝ ලූපය වැනි උපත්පාලන ක්‍රම වඩාත් යෝග්‍ය වනවා. දරුවාට මව්කිරි ලබාදෙන නිසා උපත් පාලන පෙති භාවිතය සුදුසු නැහැ. එයින් දරුවාට හෝර්මෝන ශරීරගත වීම සිදුවන අතර මව්කිරි නිෂ්පාදනයත් අඩාල වනවා. ප්‍රසූතියෙන් සති හයකට (6) පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මෙම තාවකාලික උපත් පාලන ක්‍රම ලබාගත හැකිවුවත් රෝහලෙන් පිටවීමට පෙර ලබාගැනීම මවට පහසුවක් වනවා.

විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න
උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල රාගම