free stats

ඕනෑම මවකට පියෙකුට මෙලොව ඇති වටිනාම සම්පත තම දරුවන්ය. දරුවාට ඇති ආදරය නිසා කුඩා කාලයේ පටන්ම දරුවාව ඔබට අවශ්‍ය ආකාරයට හසුරුවා ගැනීමට ඔබ ක්‍රියා කරනවා නොවේද? ඔබට අවනත කීකරු දරුවෙක් ලෙස ඔබේ දරුවා ඉදිරියට යනවා දැකීම මාපිය ඔබේ අපේක්ෂාවයි. දෙමාපිය ඔබ ඒ සදහා බොහෝ වෙලාවට අනුගමනය කරන්නේ දරුවාට තදින් කෑ ගැසීම හෝ තරවටු කිරීමයි. මූලිකවම මාපියන් දරුවන්ට කෑ ගැසීම ,දෝෂාරෝපණය කිරීම මගින් බලාපොරොත්තු වන්නේ දරුවාගේ විනය හැසිරවීමත්, තමන්ට අවශ්‍ය ආකාරයට දරුවා යටත් කර ගැනීමත්ය. නමුත් එය නිවැරදි ක්‍රියාපිළිවෙතක් ලෙස හැදින්විය නොහැක.

එහිදී ඔබ දරුවාගේ මානසිකත්වය ගැන මොහොතක් හෝ සිතුවාද?

දරුවා ඔබට අවනත වන්නේ ඔබ පිළිබද ඇති බියකට මිස ඔබට ඇති ආදරයකට,ගෞරවයකට නොවන බව මාපිය ඔබ අවබෝධ කර ගත යුතුයි. යම් කිසි වැරැද්දක් දරුවා සිදු කල විට හෝ ඔවුන්ගේ චර්යා රටාව පිළිබද ඔබට කලකිරීමක් ඇති වූ විට දෙමාපියන් ලෙස ඔබ දරුවාට තදින් අණ දීම්, බැණ වැදීම් සිදු කරයි. නමුත් මෙයින් සිදුවන්නේ දරුවා අපහසුතාවයට පත් වීමයි. අනපේක්ෂිත ලෙස දරුවා බිය වැදීම මෙයින් සිදුවිය හැකිය. ඇතැම් විට එම බිය දරුවාගේ ජීවන කාලය පුරාවටම රැදී තිබෙන්නට ඉඩ ඇත. විවිධ මානසික දුර්වලතා ඇතිවීමටද මේ තත්වය හේතු වේ. ඔබ දරුවාට කෑගසන විට ආවේගශීලීව ඉවසීම රහිතව ඔබව ඔබටම පාලනය කරගත නොහැකි තත්වයක් උදා වේ. එමගින් දරුවා ඔබ පිළිබද ඇති කරගන්නේ වැරදි චිත්‍රයකි. මෙතෙක් ඔබ පිළිබද දරුවා මවා ගෙන සිටි යහපත් ආකල්ප නැතිවන්නට ඉඩ ඇත. බොහෝ මව්වරුන්, පියවරුන් සිතා සිටින්නේ දරුවාට දුක් පීඩා මතින් ජිවිතය පිළිබද ඉගැන්විය යුතු බවයි. ඒ සදහා දඩුවම වඩාත් සුදුසු මාර්ගය බව ඔවුන් සිතා සිටී.නමුත් එය වැරදි ආකල්පයකි. බිය වද්දවා, කෑ ගසා දරුවා පාලනය කරනවාට වඩා දරුවා සමග සමීප සබදතාවක් පවත්වා ගනිමින් ආදරණීයව හා ඔහු හෝ ඇයව හොදින් තේරුම් ගනිමින් දරුවාගේ මානසික මට්ටම පිළිබද අවධානය යොමු කර යහපත් ලෙස දරුවාට කරුණු කියා දීම වඩාත් සුදුසුයි. එමගින් දරුවා මනා අවබෝධයක් සහිත ආදරණීය දරුවෙකු බවට පත් වේ.

කුඩා දරුවන්ගේ මනස ස්පොන්ච් එකක් වැනියි. දෙමාපියන් ලෙස ඔබ ලබා දෙන ධනාත්මක හෝ සෘණාත්මක අදහස් ඉක්මනින් දරුවා සිය මනසට උරා ගනී. ඒ අනුව දරුවාගේ හැසිරීම් රටා, අදහස්, ආකල්ප වර්ධනය වීම සිදුවේ. මාපියන් ලෙස ඔබ දරුවා සමග අදහස් හුවමාරුවේදී මේ නිසා සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යය. නිතර නිතර බැන වැදීම මගින් දරුවාගේ පෞරුෂයද බිද වැටේ. එය දරුවාගේ අනාගත ජිවිතයට බරපතල ලෙස බලපානු ඇත. දරුවාට හිමි ගෞරවය ලබා දෙන්න. එමගින් ඔබට හිමි ගෞරවයද දරුවාගෙන් පෙරළා ඔබට ලබා ගත හැක. ඉවසීම හා දරුවාගේ වැරදි තේරුම් ගෙන ඒවාට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින් දරුවා නිවැරදි මාර්ගයට ගැනීම තුලින් විනයගරුක හා මනා පෞරුෂයක් ඇති දරුවෙක් ලෙස ඔබේ දරුවා සමාජගත කිරීමට හැකිවේ.

ප්‍රභාත් කස්තුරිආරච්චි
මනෝ වෛද්‍ය,
සමාජ සේවක ශික්ෂණ රෝහල,
කුරුණෑගල

කුමුදිකා ඩී සපුතන්ත්‍රි