free stats

පුංචි උදවිය විතරක් නෙමෙයි. වැඩිහිටි කොයි කවුරුත් ආසයි සුරතලු‍න් ඇති කරන්න. අපි දන්නවා එහෙමත් කෙනෙක් තමයි මේ අතුරින් සුරතල් සතුන්ට අකමැත්තක් දක්වන්නේ. කොහොම නමුත් නිවසේ බලු‍ පැටවෙක් පූස් පැටවෙක් ඉන්නවනම් නිසි ආකාරයෙන් එයාලා පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මොකද සුරතලයට ඇති කරන බලු‍ පැටවා පූස් පැටවා ඔබගේ ජීවිතය ඔබගේ පුංචි දරුවන්ගේ ජීවිතය කෙටි කරන්න හේතුවක් වෙනවා නම් එහි වරද කිසිසේත්ම ඔවුන් අත නොවන නිසා වෙනි. ඔබ මේ පිළිබඳව දැනුවත් වුවත් නොදැනුවත් වුවත් ජලභීතිකා මරණ වලින් සියයට හතළිහක් ම සිදුව ඇත්තේ සුරතල් බලු‍ පැටවුන්ගේ සුළු සීරීම් සපාකෑම් හේතුවෙන් වන නිසා බව කියන්නට අවශ්‍යයි.

ඔබ නිවසේ පුංචි දරුවකු සිටිනවා නම් මේ කාරණාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුමයි. මොකද අපි දැකලා තියෙනවා ඇතැම් පුංචි පැටවුන් එයාලත් එක්ක ඉන්න සුරතලු‍න්ව ගොඩක් සමීපයෙන් ආශ්‍රය කරනවා. ඇතැම් වෙලාවට රසකැවිල්ලක් වගේ දෙයක් සුරතල් සතුන්ගේ කටට දාල නැවතත් තමන්ගේ කට අත පත ගානවා. මෙන්න මේ වගේ දේවල් අපි නිතර දෙවේලේ අහලා දැකලා තියෙනවා. ඉතින් මේ නිසාම අද අපි කතා කරන්නට හිතුවේ සුරතල් සතෙක් සපා කෑමක් සීරීමක් සිදු කලහොත් රෝහලට යනකල් ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණාවයි.

ජලභීතිකා වෛරසය සුනඛයෙකුගේ සිරුරට ඇතුළු වී ඇති විටෙක එම වෛරසය උගේ සිරුරේ අනිකුත් වයිරසයන් හා එක්ව වර්ධනය වෙනවා. මේ විදියට වර්ධනය වන වෛරසය ක්‍රමයෙන් සුනඛයාගේ ස්නායු පද්ධතිය ආක්‍රමණය කර මොලේ කරා ගමන් කරනවා. මොලයේ දී මෙය වර්ධනය වී පසුව ඛේට ග්‍රන්ථි, ස්ථන ග්‍රන්ථි හා ලිංගික ශ්‍රාවයන් නිපදවන ලිංගික ග්‍රන්ථි කරා වේගයෙන්
පැමිණෙනවා. ඒ නිසා සපා කෑමක් මගින් ජලභීතිකා වෛරසය මිනිස් සිරුරට ඇතුළු වීම වේගවත් වෙනවා.

ජලභීතිකා රෝගය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපි සාමාන්‍යයෙන් අහල තියෙනවා සුනඛයකුගේ සීරීමකට වඩා බලලකුගේ එහෙමත් නැත්නම් පූසකුගේ සීරීම දරුණුයි කියලා. එයට හේතුව බලලෙකු සෑම විටම උගේ ඉදිරිපස කකුල් කටේ දමා ගෙන සිටීමයි. කෙලවලින් මුහුණ සෝදනවා.මේ විදිහට බලලෙකු ගේ ඉදිරිපස කකුල් නිතරම කටේ දමන නිසා වෛරසය නියපොතු තුලට ඇතුළු වීමේ හැකියාව පවතිනවා. මෙවන් විටෙක බලලා සීරීමක් සිදු කලොත් එය මිනිස් සිරුරට ඇතුළු වීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා . එහෙත් සුනඛයකුගේ මෙවැනි තත්වයක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට සුනඛයන්ගේ කටින් කෙල වැටෙන ස්වභාවයක්. මේ නිසා සුනඛයකුගේ කෙලවල ජලභීතිකා වෛරසය තිබිය හැකියි. මෙන්න මේ කියන හේතු නිසා සුනඛයෙකු වුණත් බලලෙක් වුණත් ජලභීතිකා රෝගය බෝ කරන්නට ඉඩකඩ තිබෙනවා.

ජලභීතිකා රෝගය පිළිබඳව මූලික දැනුවත් බවක් දැන් ඔබට ලැබෙන්නට ඇති. අපි දැන් බලමු සපා කෑමකදී ක්‍රියා කළ යුතු ආකාරය කොයිවගේද කියලා. පුංචි දරුවන්ට විශේෂිතව මේ කාරණා පිළිබඳ කතා කලත් සුනඛ සපා කෑමකදී හෝ බලලෙකු වැනි සතෙකු සපා කෑමකදී සිදු වෙන්න පුළුවන් බලපෑම එකම විදියයි. සපා කෑමකින් අනතුරුව වෛරසය අපේ සිරුර හරහා ස්නායු මාර්ගය තුළින් ගමන් කිරීම සිදුවෙනවා. ඉන් අනතුරුවයි මරණය දක්වා ඇති විය හැකි සියළු සංකූලතා ඇතිවන්නේ.

සුනඛයකු කෑ පමණින් අප කළ යුතු දේ වෙන්නේ සබන් යොදා එම ස්ථානය හොඳින් පිරිසිදු කිරීමයි. නමුත් දරුනු සපා කෑමක් සිදුව ඇත්නම් අපි සිතමු දෙතුන් වරක් එකම තැන සපාකෑම සිදුකරලා බරපතල විදිහට තුවාල වෙලා නම් මෙන්න මේ වගේ වෙලාවක ලේ වහනය අධිකව සිදු වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා පළමුවෙන්ම මෙවැනි අවස්ථාවක කළ යුතු දේ වන්නේ ලේ වහනය නැවැත්වීමයි. මෙතනදි අපි අදහස් කරන්නේ ලේ යාම සිදු වන විට ම සෝදා හැරීම නොවෙයි. මොකද අපි මේ වගේ පුංචි පුංචි දේවල් සඳහන් කරන්නේ ඇත්තටම අපේ අය අතින් මේ වැරදි සිදු වන නිසාම යි. අපි බැරිවෙලාවත් මේ වගේ අධික රුධිර වහනයකදී තුවාල සෝද සෝද ඉන්න පටන් ගත්තොත් අධික ලේ වහනය තුළින් වෙනත් සංකූලතා ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා ලේ වහනය අවම කරන්නට පළමුවෙන්ම කටයුතු කරන්න අවශ්‍යයි. දරුණු තුවාලයක් සිදු නොවී දත් පමණක් ඇතුලට යන විධියට සපාකෑම සිදුවෙලා තියෙනවා නම් සබන් යොදා ඒ තුවාලේ හොඳින් පිරිසිදු කර ගැනීම අවශ්‍යයි. ඉන් අනතුරුව පිරිසුදු රෙදි කඩකින් තුවාලය ආවරණය කර, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතුයි. නමුත් මෙහිදී සඳහන් කළ යුතු තවත් සුවිශේෂී කාරණාවක් පවතිනවා. ඒ සම විශාල වශයෙන් විවෘත වුණ තුවාලයක් සිදුව තිබෙනවා නම් කලින් සඳහන් කළ ආකාරයට ආවරණය කිරීම කිසිසේත් සුදුසු වන්නේ නෑ. මොකද සුනඛයන් නිතරම විවිධ දේ සපාකෑම, ලෙවකෑම ආදිය සිදු කිරීම නිසා පිටගැස්මට අදාල ප්‍රොස්ටිජීන් සුඛයාගේ මුඛය තුල පැවතීමයි. මෙම බැක්ටීරියාව වර්ධනය වීමේ හැකියාව පවතින්නේ ඔක්සිජන් වලින් තොරවයි. සුනඛයකුගේ මුඛයෙහි මෙම බැක්ටීරියාව පැවතිය හොත් සම විවෘත වන ලෙසින් සිදු කරන සපා කෑමකදී මෙම බැක්ටීරියාව සම තුලට ඇතුළු වෙන්න අවකාශය පවතිනවා.ඉතින් මේ වගේ අවස්ථාවක සම ආවරණය කිරීමක් සිදු කළොත් ජලභීතිකාව නොතිබුණොත් පිටගැස්ම වැළඳීමේ ඉඩක් ඇතිවෙන්න පුළුවන් මේ නිසා ඉහත සඳහන් කරපු උපදෙස් පිළිපදිමින් හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙන යාම තමයි යෝග්‍ය වෙන්නේ.

රෝහලේ තුළදී තුවාලය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ ලබා දීමත් සිදු කරනවා. මුහුණ ආසන්නයේ සිදුව ඇති සපා කෑමක් නම් ඉක්මනින් ජලභීතිකාවට අදාල එන්නත් කිරීම සිදු කරනවා.මේ විදියට ලබාදෙන එන්නත් ක්‍රමවේදයකට අනුව තමයි සිදු කරන්නේ ඇතැම්විට තුවාලය ගොඩක් විශාල නම්,සපා කන ලද බලලා හෝ සුනඛයාට පිස්සු බලු‍ රෝගය එහෙමත් නැත්තං ජලභීතිකාව තිබෙන බවට සහතික නම් එන්නත් කිරීමට අමතරව ප්‍රතිජීවක අඩංගු රසායන ද්‍රව්‍ය ලබාදීමත් සිදු කරන්නට ඉඩ තිබෙනවා.

ඉතින් මේ නිසාවෙන්ම ඔබ සුරතලු‍න්ව ඇති කරනවා නම් නිවැරදි ආකාරයෙන් එන්නත් ලබාදීම වෛද්‍ය උපදෙස් අවශ්‍ය ආකාරයෙන් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි.එමෙන් ම නිවැරදිව පිරිසිදු කිරීම වැදගත් වෙනවා. එවිට සුරතලු‍න් සුරතලු‍න් ලෙසින්ම ඔබේ නිවසේ ආදරණීයයන් සමග වාසය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

නදීශා ගයානි ගුණතිලක


වෛද්‍ය කපිල පියසේන