free stats

දරුවන් මේ ලෝකයට උපත ලබනුයේ විවිධ වූ දස්කම් රැසක් සමඟිනි. ඇතැම් දරුවෙක් නර්තනය ට, තවත් දරුවෙක් ක්‍රීඩාව ට, තවත් දරුවෙකු චතුර ලෙස භාෂාව හැසිරවීමට මෙන්ම විවිධ වූ භාෂා පහසුවෙන් ඉගැනිමටත් දස්කම් පෙන්වීමට පුළුවන. ඒ නිසාවෙන් ම, දෙමවුපියන් වශයෙන් තම දරුවා වැඩෙත් ම දරුවාගේ දක්ෂතා සොයා ගැනීමටත්, දරුවා අතිදක්ෂයෙකු කිරීමටත් බොහෝ වෑයම් ගනිති.

දෙමවුපියන් වශයෙන් තම දරුවා පළමු වචනය පවසන තුරු සිටිනුයේ ඉමහත් නොඉවසිල්ලකිනි. ඉන් පසුව තම දරුවාගේ භාෂා වර්ධනය සිදුවන කාලයේදී තම මව්බස ට අමතරව තවත් භාෂාවක හෝ කිහිපයක වචන ඉගැන්වීමට දෙමවුපියන් තුළ පවතින්නේ ද මහත් උත්සාහයකි. නමුත් එය දරුවා ට කෙසේ බලපාවි ද යන්න නොදැන ඇතැම් දෙමවුපියන් කුතුහලයෙන් පසුවන අවස්ථා ද නැතුවා නොවේ.

වර්තමානය වන විට බොහෝ දෙමවුපියන් තම දරුවන් සමඟ කතා කිරීමේ දී තම මව් භාෂාවට අමතරව වෙනත් භාෂාවන් භාවිතා කිරීම සුලභව දක්නට ලැබෙන තත්වයකි. එනම් සිංහල භාෂාව කතා කරන දෙමවුපියන් ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් භාෂාවක්, දෙමළ භාෂාව තම මව් භාෂාව ලෙස භාවිතා කරන දෙමව්පියන් ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් භාෂාවක් මිශ්‍ර කතා කිරීම සුලභ තත්ත්වයකි. මෙසේ සිදු කිරීමට ට ඔබටත් හේතු තිබෙන්නට ඇත. උදාහරණයක් ලෙස තම දරුවා භාෂා කීපයකින් කතා කරනවා දැකීම, කුඩා කාලයේදී භාෂා කිහිපයක වචන ඉගැන්වීම පහසු යැයි සිතීම, භාෂා කිහිපයක් ඉගෙනීම තුළින් අධ්‍යාපනය කටයුතු සදහා පහසුවක් වේ යැයි සිතීම, හා විවිධ වූ අධ්‍යාපනික අරමුණු පදනම් කරගනිමින් දරුවා චතුර ලෙස භාෂා හැසිරවීම ට හුරු කරවීම ආදී බොහෝ අභිලාශ මේ තුළ ගැබ් වී තිබෙන්න ට ඇත.

භාෂා දෙකක් හෝ කිහිපයක් එකවර දරුවා සමග කතා කිරීම දරුවාගේ භාෂා වර්ධන බලපාන්නේ කෙසේද? ඒ පිළිබඳ විවිධ වූ අදහස් අද සමාජය තුළ පවතී. මේ පිලිබඳ ඇති විවිධ වූ අදහස් අතර සෘණාත්මක ලෙස ඇතමුන් පවසන්නේ භාෂා දෙකක් හෝ කීපයක් කතා කිරීම තුළින් දරුවාගේ කතාව හා භාෂාව වර්ධනයේ ප්‍රමාදයක් ඇතිවෙන බව, තවත් සමහරුන් පවසන්නේ මේ තුළින් දරුවාගේ නිසි භාෂා වර්ධනය ට අවහිර සිදුවන බව, භාෂා කිහිපයක් කතා කිරීම තුලින් දරුවා භාෂාමය වශයෙන් ව්‍යාකූල තත්වයකට පත් විය හැකි බවයි. තවද මේ පිළිබඳ ධනාත්මක අදහස් අතර ඇතැමුන් පවසන්නේ කුඩා කාලයේදී දරුවා ට භාෂා කිහිපයක් ගැටලු‍වකින් තොරව ඉගනීමට හැකියාව පවතින බව, කුඩා කාලයේදී භාෂා කිහිපයක් ඉගැන්වීම ඉතා පහසු බවයි.

නමුත් මේ පිළිබඳව විද්‍යාත්මකව සලකා බැලීම ඉතාමත් වැදගත් වේ. මන්ද, සියලු‍ දරුවන්ගේ වර්ධනය අපට සාමාන්‍යකරණය ලක් කිරීම අපහසු බැවිනි. මන්ද, දරුවෙකු තවත් දරුවෙකු ගෙන් සම්පුරණයෙන් ම වෙනස් වේ. ඒ නිසාවෙන් ම මේ පිළිබද විවිධ වූ පරියේෂණ මත පදනම් ව සොයා ගෙන ඇති කරුණු බොහෝය.

දරුවාගේ කතාව හා භාෂාව නිවැරදි වයසට සරිලන ලෙස වර්ධනය වනවා නම් දරුවා සමග භාෂා දෙකක් හෝ කීපයක් භාවිතා කරමින් සන්නිවේදනයේ යෙදීම අහිතකර නොවන බව මේ පිළිබදව කළ පර්යේෂණ මගින් පිළිගෙන තිබේ. නමුත් භාෂා දෙකක් හෝ කිහිපයක් භාවිතා කරන්නේ නම් ඔබ විසින් එහි දී සලකා බැලිය යුතු කරුණු කීපයක්ම පවතී. දරුවාට නිවස, පාසල තුළ සුලබව ඇසෙන භාෂාව කුමක්ද යන්න ඔබ ප්‍රථමයෙන්ම සලකා බැලිය යුතු කරුණු අතර වේ. තවද, ඔබගේ දරුවා සමාන මට්ටමින් භාෂා දෙක හෝ කිහිපයම භාවිතා කිරීම ඔබ අපේක්ෂා කරන්නේ නම් භාවිතා කරනු ලබන භාෂා දෙක හෝ කීපයෙන්ම එක හා සමාන මට්ටමින් දරුවාට උත්තේජන ලබා දීමට ඔබ උත්සහ කල යුතුය.

උදාහරණයක් ලෙස නිවසේ ප්‍රධාන භාෂාව සිංහල භාෂාව හා දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂා භාවිතා කරන්නේ නම් දරුවා භාෂා දෙකම සමාන මට්ටමින් ඉගැනීම ඔබ අපේක්ෂා කරන්නේ නම් ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම සම මට්ටමින් ඔබ උත්තේජන ලබා දිය යුතුය. තවත් සරල ලෙස කිවහොත් නිවැසියන්, දෙමව්පියන්, දරුවා නිතර ගැටෙන පිරිස හා දරුවා රැක බලා ගන්නන් භාෂා දෙකේම ප්‍රවීණයන් වේ නම් දරුවා ද භාෂා දෙකම ඉගෙනීමේ සම්භාවිතාවයක් පවතී.

එසේම සිංහල භාෂාව මව් භාෂාව ලෙස පවතින පසුබිමක් සහිත නිවසක ඉංග්‍රීසි භාෂාව තම දෙවන භාෂාව ලෙස භාවිතා කරන අතර ම දෙමව්පියන් මනා ලෙස හසුරුවන්නේ සිංහල භාෂාව නම් දෙවන භාෂාව මව්බස තරම්ම භාවිත කරන්නේ නැති නම් දරුවා තම මව් භාෂාව එනම් බහුලව භාවිතා කරන භාෂාව මනාව ප්‍රගුණ වී තම දෙවන භාෂාව ඊට අඩුව මට්ටමෙන් ප්‍රගුණ කරන තත්වයක් දැක ගැනීමට හැකියාව පවති. උදාරණයක් ලෙස සිංහල භාෂාව මව් භාෂාව ලෙස භාවිතා කරන දෙමවුපියන් ඇතැම් වචන සදහා පමණක් දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නේ නම් දරුවා භාෂා දෙකම සමාන මට්ටමින් ප්‍රගුණ වීම සිදුවීම ට ඇති ඉඩකඩ අවම වේ.

නමුත්, භාෂා දෙකක් හෝ කිහිපයක් භාවිතා නොකළ යුතු අවස්ථා ද පවතී. එනම්, වර්තමානයේ සුලභව දක්නට ලැබෙන කථන හා භාෂා වර්ධන ප්‍රමාදයක් සහිත දරුවෙක් නම් එම දරුවාට භාෂා දෙකක් භාවිතා කිරීම තවත් ගැටලු‍කාරී තත්ත්වයක් ඇති කරවයි. එහිදී කථන හා භාෂා චිකිත්සක වරයෙකුගේ උපදෙස් ලබා ගනිමින් කටයුතු කිරීමත්, බහුලව භාවිතා වන එක් භාෂාවකට සීමා වීම තුලින් එම දරුවාගේ ප්‍රමාද වූ කතාව හා භාෂා වර්ධනය දියුණු කර ගැනීමට රුකුලක් කර ගත හැකිය.

තවද, භාෂා දෙකක් හෝ කිහිපයක් භාවිතය තුළින් ඇතිවිය හැකි තවත් ගැටළුවක් ලෙස භාෂා අතර අන්‍ය අවබෝධය අවම වීම හඳුන්වා දීමට හැකියාව පවතී. එහිදී සිදු වන්නේ එක් දෙයක් හැඳින්වීමට භාෂා කිහිපයෙන් ම පාවිච්චි කරන වචන අතර ඇති අවබෝධය දරුවාට නොමැති වීම තුලින් භාෂා අවබෝධය හා භාවිතයේ ගැටලු‍ හා ඇති කර ගන්නා තත්ත්වයකි. මෙවන් තත්ත්වයක් මගහැරවා ගැනීමට ඔබටත් දෙමවුපියන් වශයෙන් කළ හැකි යම් කාර්යභාරයක් තිබේ. එනම් ඔබ නිවස තුළ භාෂා දෙකක් හෝ කීපයක් භාවිතා කරන්නේ නම් දරුවාට භාෂා දෙක හෝ කිහිපයේ ඇති වචන අතර ඇති අන්‍යඅවබෝධය හඳුන්වාදීම ඔබට සිදු කල හැකිය. උදාහරණයක් ලෙස සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම ඔබ භාවිතා කරන්නේ නම් නිවසේ සුරතලා හදුන්වා දීමට සිංහල බසින් බල්ලා යන වචනයත් ඉංග්‍රීසි බසින් Dog යන වචනයත් යොදා ගත හැකි බවත් මෙම වචන දෙක භාෂා දෙකේ ඇති එකම දෙයක් හැදින්වීමට භාවිතා කරන වචන බව දරුවාට කාලයත් සමඟ ඉගැන්වීමෙන් එම ගැටලු‍ව මග හරවා ගත හැකිය.

එමෙන්ම, භාෂා කිහිපයක් භාවිතා කිරීමෙන් ඇතිවිය හැකි තවත් ගැටළුවක් ලෙස උච්චාරණ දෝෂ හදුන්වා දිය හැකිය. මන්ද, සිංහල, ඉංග්‍රීසි හෝ දෙමල භාෂා උච්චාරණයන් තරමක් වෙනස් බැවින් ඇතැම් විට කල් උච්චාරණ යත්ම දෝෂ ඇති විය හැකි නමුත් එය ඉතා සුළුවෙන් දැක ගත හැකි තත්වයකි.

සජිනි පෙරේරා
කථන හා භාෂා චිකිත්සක