ගැස්ට්‍රයිටිස් යනුවෙන් හඳුන්වන්නේ ආමාශ ප්‍රදහයයි. ගැස්ට්‍රයිටිස් රෝගය දරුවන්ගේ බහුල තත්ත්වයක් නොවේ. නමුත් ආහාර පරිභෝජන රටාව වෙනස් වීම නිසා දරුවන්ගේ මෙම රෝගය බහුල වෙමින් පවතිනවා. නියමිත වෙලාවට ආහාර නොගැනීම, අධික තෙල් සහිත ආහාර, අධික කුළුබඩු සහිත ආහාර, පිටි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතු විය හැකියි. ආහාර පරිභෝජන රටාවට අමතරව ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතු ගණනාවක් තිබෙනවා.
හේතු මොනවාද?
ආමාශයේ ඇතුලත ආස්තරණය ප්‍රදාහයට ලක්වීම හේතු ගණනාවක් නිසා සිදු විය හැකියි. ආමාශයේ ඇති අම්ල සාන්ද්‍රණය වැඩි වීම සහ ආමාශ බිත්තියේ ඇති අස්තරණය දුර්වල වීම නිසා ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවිය හැකියි. සමහර වේදනා නාශක ඖෂධ භාවිතය, වෛරස් ආසාදන, ශාරීරික සහ මානසික ආතතිය, සමහ විෂබීජ උදා: හෙලිකොබැක්ටර් පයිලෝරායි, ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ශරීරයේ අවයව හා පටක වලට අනිසි බලපෑම් සිදු කිරීම ආමාශ බිත්තියේ සමතුලිතතාවය නැතිවී ප්‍රදාහයට ලක්වීමට හේතු විය හැකියි .
ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ මොනවාද?
මූලික රෝග ලක්ෂණ නම් උදරයේ පවතින වේදනාව, විශේෂයෙන් උදරයේ ඉහල කොටසේ ඇතිවන දැවිල්ලක් විය හැකියි. ඔක්කාරය සහ වමනය, පපුවේ දැවිල්ල සහ වේදනාව. අම්ල පිත උගුරට පැමිණීම, සහ රෝගය උත්සන්න වීම නිසා ආමාශයේ තුවාල වලින් රුධිර වහනය සිදු විය හැකියි. වමනය මඟින් හෝ මල පහ මඟින් රුධිරය පිටවීම රෝගය උත්සන්න අවස්ථාවේ දැකිය හැකියි.
ආහාර ගැනීමෙන් පසු සමහර දරුවන්ගේ රෝග ලක්ෂණ උත්සන්න වීම දැකිය හැකියි. එසේම ඉහත සඳහන් මෙම රෝග ලක්‍ෂණ එලෙසම දරුවන්ගේ දැකිය හැකි වන්නේ නැහැ. බොහෝවිට අප දකින්නේ නොපැහැදිලි ලෙස දැකිය හැකි උදරයේ වේදනාව සහ වමනයයි. එසේම දරුවන්ගේ මෙම රෝග ලක්ෂණ උදරය ආශ්‍රිත වෙනත් රෝග වලදී දැකිය හැකියි. උදාහරණයක් ලෙස පිත්තාශයේ ගල්, අග්න්‍යාශයේ ඇතිවන ප්‍රදාහය, වකුගඩුවල රෝග, අක්මාවේ ඇතිවන රෝග වලදී මෙවැනි රෝග ලක්ෂණ දැකිය හැකියි.
රෝග නිර්ණය සිදු කරන්නේ කෙසේද ?
මෙවැනි රෝග ලක්ෂණ පවතින අවස්ථාවලදී රෝගියා පරික්ෂා කිරීමෙන් සහ වෙනත් පරීක්ෂණ සිදු කිරීම මඟින් වෙනත් රෝග මූලයන් තිබේදැයි පරික්ෂා කල යුතු වනවා. ආමාශයේ අම්ල සාන්ද්‍රණය අඩු කරන ඖෂධ වර්ග මඟින් මෙම රෝග ලක්‍ෂණ සමනය වීම දක්නට ලැබෙන අතර නැවත නැවත රෝග ලක්‍ෂණ ඇතිවීම ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා වන විශේෂිත පරීක්ෂණ සිදු කිරීමට හේතුවක් වනවා. ආමාශය ඇතුලත කැමරාවක් මඟින් පරික්ෂා කිරීම සහ ආමාශ ආස්තරණයෙන් කුඩා කොටසක් ගෙන පරික්ෂා කිරීම මෙහිදී සිදු කෙරෙනවා.
හෙලිකොබැක්ටර් පයිලෝරායි බැක්ටීරියාව
හෙලිකොබැක්ටර් පයිලෝරායි යනු ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට මුලික වන බැක්ටීරියා විශේෂයක්. මෙම බැක්ටීරියාව ලොව පුරා දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර, දරුවන්ගෙන් 10% ක් සහ වැඩිහිටියන්ගෙන් 80% කට හෙලිකොබැක්ටර් පයිලෝරායි ආසාධනය ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෙම ආසාදනය නිතර නිතර ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිකිරීමට හේතුවක් වනවා.
මෙම ආසාදනය තිබෙන සෑම දරුවෙකුටම රෝග ලක්ෂණ ඇතිවන්නේ නැහැ. රෝග ලක්‍ෂණ ඇති වූ දරුවන්ගේ එම තත්ත්වය නිශ්චිතව නිර්ණය කොට ප්‍රතිකාර සිදු කල යුතු වනවා. බොහෝවිට මෙහි රෝග නිර්ණය සිදු කිරීමට එන්ඩොස්කොපි පරීක්ෂණයක් සිදු කල යුතු වනවා. මෙම ආසාදනය තවත් කෙනෙකුට බෝවීමට අවදානමක් තිබෙනවා. මෙම විෂබීජය ශරීර ගතවන්නේ අපිරිසුදු ජලය සහ අපිරිසිදු වටපිටාවක් ඇති අවස්ථාවලයි. බොහෝවිට පවුලේ සාමාජිකයින් සියලු දෙනාට මෙම ආසාදනය වැළදීමට ඉඩ තිබෙනවා. සනිපාරක්‍ෂිත වටපිටාවක් නොමැති වීම මෙම ආසාදනය පැතිරීමට හේතුවක් වනවා.
ගැස්ට්‍රයිටිස් රෝගයේ සංකුලතා මොනවාද?
ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට බලපාන ඉහත හේතු ආමාශයේ තුවාල සැදීමට දැඩි බලපෑමක් ඇතිකරනවා. අමාශයේ තුවාල කලාතුරකින් දරුවන්ගේ දකින්නට ලැබෙන සංකුලතාවයක් . බොහෝවිට මෙහිදී ආමාශයේ තුවාල වලින් ලේ වහනය වීම දැකිය හැකියි. වමනය සමඟ ලේ වහනය සහ මල පහ සමඟ තද කළු සහ ඇලෙනසුලු වෙනස්වූ රුධිරය පිටවීම මෙහිදී දක්නට ලැබෙනවා. මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීම ඉතා වැදගත්. මෙවැනි අවස්ථාවලදී ලේ වහනය නතර කිරීම සඳහා කල යුතු ප්‍රතිකාර සිදු කල යුතු වනවා.
ප්‍රතිකාර කරන්නේ කෙසේද?
ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. බොහෝවිට මෙම ප්‍රතිකාර මඟින් සිදුවන්නේ ආමාශයේ අම්ල ස්වභාවය අවම කිරීමයි. එමඟින් ආමාශ ආස්තරණයට ඇති ප්‍රදාහය අවම වනවා. එසේම මෙම රෝගය ඇතිවීමට බලපෑ හේතු ඉවත් කිරීම හෝ අවම කිරීම මෙම රෝගය නැවත ඇතිවීම වැලක්වීමට රුකුලක් වනවා.
H. Pylori ආසාදනය සඳහා වන ප්‍රතිකාර එම ආසාදනය සැදී ඇති බවට තහවුරු කිරීම මඟින් පමණක් සිදු කල යුතු වනවා. මෙම ආසාදනය සඳහා ප්‍රතිජීවක ඖෂධ කිහිපයක සංකලනයක් භාවිත කරනවා. බොහෝවිට මෙම ප්‍රතිකාරය දින 10 හෝ සති දෙකක කාලයක් සඳහා දෙනු ලබනවා.
පේරාදෙණිය වෛද්‍ය පීඨයේ
ජේෂ්ඨ කථිකාචාර්ය
සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක
විශේෂිත ළමා රෝහලේ
ළමා ශල්‍ය විශේෂඥ්‍ය වෛද්‍ය
මාතුල හෙට්ටිආරච්චි