free stats

ඔබ ඔබේ දරුවාට පණසේ ආදරය කරන සැබෑ අම්මා කෙනෙක්ද?

එසේ නොමැතිනම් දරුවාට පණසේ ආදරය කරන හෙලිකොප්ටර් අම්මා කෙනෙක්ද?

මොහොතක් සිතන්න දරුවා යමක් ඉල්ලා අඩන විට දරුවා අඩනවා බලා සිටිය නොහැකි මෙන්ම දරුවා අඬනවාට අකමැති අම්මලා දරුවා ඉල්ලන දෙය ක්‍ෂණිකව ලබාදීමට පෙළඹේ. ඉල්ලන දෙය ඉක්මනින්ම ලැබෙන දරුවන් අනාගතයේදී දුර්වල පෞරුෂයකින් යුක්තව වන්නන් බවත් දරුවන් ඉල්ලන දෙය ක්‍ෂණිකව ලබා දීමට කටයුතු නොකරන මෙන්ම දරුවාට ටික වේලාවක් ඇඬීමට ඉඩදී පසුව ක්‍රමයෙන් එය ලබා දීමට උත්සහ කරන දෙමාපියන්ගේ දරුවන් අනාගතයේදී මනා පෞරුෂයකින් යුක්ත වන්නන් බවත් මනෝ විද්‍යාඥයන් විසින් සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මාෂ්මෙලෝ පර්යේෂණය මෙයට කදිම නිදසුනකි. මෙහිදී දරුවන් කණ්ඩායමක් යොදවාගෙන ඔවුන්ට මාෂ්මෙලෝ කෑල්ලක් බැගින් දී ප්‍රකාශ කර ඇත්තේ මෙම මාෂ්මෙලෝ කැබැල්ල විනාඩි 15කින් පසුව කන දරුවන්ට තවත් කෑල්ලක් දෙන බවය. මේ අනුව කණ්ඩායමේ ඇතැම් දරුවන් ඉක්මනින් මාෂ්මෙලෝ කෑල්ල කා දමා ඇති නමුත් ඇතැම් දරුවන් එය කා නොතිබුණි. මෙහිදී කළ අධ්‍යයනයන්ට අනුව හෙලි වූයේ මාෂ්මෙලෝ කෑල්ල ඉක්මනින් නොකෑ දරුවන් අනාගතයේදී සාර්ථක පුරවැසියන් වන බවත් කෑ දරුවන් අනාගතයේදී අසාර්ථක පුරවැසියන් වන බවත්ය. එයට හේතුව මාෂ්මෙලෝ කෑල්ල ඉක්මනින් නොකෑ දරුවන්ගේ දෙමව්පියන් එම දරුවන්ට ස්වෝත්සාහයෙන් උගන්වා ඇතිබවයි.

දරුවා ඉල්ලන ඉල්ලන දෙය ක්‍ෂණයකින් දීමට දෙමාපියන් උත්සුක වන්නේ නම් එයද දරුවාගේ චිත්තවේග පාලනයට හානි සිදුවෙන බව සොයාගෙන තිබේ. දරුවා ඉල්ලන යම් දෙයක් ලබාදීම ප්‍රමාද කරන්නේ නම් ඔහු එම දෙය ඉල්ලමින් අඬන්නට පටන් ගන්නේය. එයින් මොළය තුළ රසායනික ක්‍රියාවලිය සිදුවේ. දරුවාගේ මොළයේ චිත්තවේග පාලනය කරනු ලබන කොටස මනාව වර්ධනය වේ. දරුවා තමන්ගේ චිත්තවේගයන් පාලනය කර ගැනීමට පුරුදු වේ. යම් මවක් ඉල්ලන සැනින් දෙයක් ලබාදෙන්නේ නම් එයින් ඉහත රසායන ක්‍රියාවලියට බාධා මතු වේ. කුඩා කාලයේදී දරුවා තමාගේ චිත්තවේගයන් පාලනය කර ගැනීමට පුරුදු වීම ඔහු අනාගතයේදී අධ්‍යාපන කටයුතු පමණක් නොව දෛනික ජීවන කටයුතුවලදී ද ඉදිරියෙන් සිටින පුද්ගලයෙකු වේ.

පාඩම් කරන විට අපි රූපවාහිනිය බලන්න යමුද කියා සිතන විට මොළයේ චිත්තවේග පාලන කොටසින් එය වළකාලයි. එසේ වලක්වාලීමට නම් එම කොටස දියුණු වී තිබිය යුතුය. එය දියුණු කළ හැක්කේ අම්මලාට තාත්තලාට හා වැඩිහිටියන්ට පමණි. දරුවා ඉල්ලන ඉල්ලන දෙය දීමට පුරුදු නොවී අවශ්‍ය දේ පමණක් දරුවන්ට ලබා දිමට කටයුතු කළ යුතුය.

කුඩා කාලයේදී දරුවාගේ සෑම වැඩකටම අම්මා ඇඟිලි ගහනවා (හෙලිකොප්ටර් අම්මලා) නම් උදාහරණයක් ලෙස දරුවාට කවනවා නම් නාවනවා නම (යමක් තේරෙන වයසේ ) දරුවා යමක් කරන් පෙළෙඹෙන විට එපා කියනාව නම්, වැටෙයි කියනවා නම්, ඔයාට ඕක අල්ලන්න බැහැ, ඕක කරන්න බැහැ, යැයි යන වචන දරුවාගේ පෞරුෂ වර්ධනය අඩාල කිරීමට හේතුවන ප්‍රධානතම සාධකයන් වේ. මෙම දරුවන් අනාගතයේදී පෞරුෂය හීන වූ අය වන බව සොයාගෙන තිබේ.

දරුවාට බාහිර පරිසරය හා ගැටෙමින් ජීවත් වීමට ඉඩදිය යුතුය. දරුවාට ගහකට නැග මල් ගෙඩි කඩා ගන්නා විට ”පුතා ඔයා වැටෙයි” ”පුතා ඕකකරන්න එපා” ” මඩ අල්ලන් එපා” ” ඔය මල කඩන්න එපා” වැනි දේවල් කිසිවිටෙක් නොකිව යුතුය.

පුතා දුවන්න එපා”

දඟකරන්න එපා”

ඕක බරයි ඔයාට ඕක උස්සන් බැහැ”

මෙවැනි සෘණාත්මක වචන දරුවාට නිතර නිතර ඇසීම ඔහුගේ පෞරුෂය ගොඩනගා ගැනීමට බාධාවක් වන්නේය.

සැමවිටම දරුවාට පරිසරයේ සුන්දරත්වය විදිමින් පංචේන්ද්‍රයන්ට අනුගතව තම ජීවිතය ගැටගස්වා ගැනීමට දෙමාපියන් විශේෂයෙන්ම අම්මලා ඉඩදිය යුතුය. කුඩාකාලයේදීම දරුවන්ට තමන්ගේ ඇඳුම් ඇඳගැනීමට ඉඩ දෙන්නේ නම් පාසල් යන කාලය එළඹෙන විට දරුවා ඇදුම් ඇඳගැනීම සපත්තු මේස් දා ගැනීම පමණක් නොව කුඩා කාලයේදී අතින් අනාගෙන කෑමට පුරුදු පුහුණු කිරීම පාසලේ දී විවේක කාලයේදී ආහාර ගැනීමට පරිශ්‍රමයක් දැරීමට සිදුනොවේ. දරුවා කුඩාකාලයේ සිටම ඔහුගේ වැඩ තනිවම කර ගැනීමට ඉඩ ලබා දෙන්නේ නම් දරුවාගේ පෞරුෂය ටික ටික ගොඩනගා ගත හැකිය. එවැනි දරුවන් අනාගතයේදී මනාව පෞරුෂය ගැඩගස්වා ගන්නුන් බව හෙලිව ඇත්තේය.

විශේෂයෙන්ම මෙහිදී කිව යුත්තේ අම්මාගේ තාත්තාගේ ආදරය රැකවරණය දරුවෙකුට අවශ්‍යය. එහෙත් එය ලබා දිය යුත්තේ දරුවාගේ පෞරුෂ සංවර්ධනයට හෝ චිත්තවේග පාලනයට බාධාවක් නොවන සේය.

ඒ අනුව අම්මෙකුගේ තාත්තෙකුගේ සීමාවන් හදුනාගෙන දරුවන්ට ආදරය රැකවරණය ලබා දීම අනාගතයේදී රටට හිතැති දරුවෙකු නිර්මාණය වනු ඇත.

         මනෝ වෛද්‍ය විශේෂඥ
               චමින්ද විරසිරිවර්ධන

               සටහන ශ්‍රියානි විජේසිංහ