දරුවෙකු මෙලොව එලිය දුටු ද සිට ඔවුන් වර්ධනය වන ආකාරය දෙස දෙමවුපියන් බලා සිටින්නේ ඉමහත් ආදරයකිනි. ඒ නිසාවෙන් ම දරුවා නිවැරදි වයසට අවශ්‍ය කුසලතා අත්පත් කරගනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් පසු වෙති. එමෙන්ම, ඔවුන් ඊට අවශ්‍ය පසුබිම සකස් කරන්නේද ඒ නිසාවෙනි. නමුත් වර්තමාන සමාජයේ බොහෝ කුඩා දරුවන් ගෙන් සෙල්ලම් කිරීම ඈත් වී ඒ වෙනුවට විද්‍යුත් තිර ඉදිරිපිට වැඩි කාලයක් ගත කිරීම හෝ විවිධ වූ අධ්‍යාපනික අරමුණු වලින් යුත් ක්‍රියාකාරකම් සමග කාලය ගත කිරීම සුලබ කරුණක් වී ඇත.
අද වන විට බොහෝ දරුවන් හට කුඩා කාලයේ සිට සෙල්ලම් කිරීමට තිබෙන කාලය අවම වෙමින් පවතින අතර දෙමවුපියන් ද ඊට නැබුරු වන ප්‍රමාණය අවම වෙමින් පවතී. නමුත් සෙල්ලම් කිරීම දරුවකු ගේ කුඩා කාලයේ දී සිදු කරන වෘත්තීය ලෙස නම් කල හැකිය. දරුවෙකු සෙල්ලම් කිරීම තුලින් බොහෝ කුසලතා කරා ලගා වෙති. එනම්, තම පරිසරයට සංවේදී වීම, අනුකරණය කිරීම, නිර්මාණශීලි ව කටයුතු කිරීම, ගැටළු නිරාකරණය ට ඉගෙනීම, ඔවුන්ගේ රුචි අරුචිකම් හදුනා ගැනීම, මෙන්ම ප්‍රධාන වශයෙන් බුද්ධිමය කුසලතා හා භාෂාව, කතාව වර්ධනයද සෙල්ලම් කිරීම තුලින් දියුණු වේ. දරුවෙකු ගේ වයසත් සමග ඔවුන්ගේ සෙල්ලම් කිරීම ද වෙනස් වෙයි. ඒ නිසාවෙන් ම විවිධ වර්ග වලට අයත් සෙල්ලම් කිරීමේ කුසලතා වයසත් සමග දියුණු වීමේ අවශ්‍යතාවයක් අවශ්‍ය බව වර්තමානයේ පිළිගන්නා කරුණකි.
කුඩා කාලයේ සිට දරුවෙකු ඉගෙන ගනු ලබන්නේ ඔවුන් ලබන අත්දැකීම්, පරිසරය හා අනුකරණය තුලින් ය. ඒ අනුව අලුත උපන් බිළිදෙකු සෙල්ලම් බඩු ස්පර්ශ කිරීම, ඒවා කටේ දැමීම, සෙල්ලම් බඩු වලින් නැගෙන ශබ්ධ දෙස බැලීම, වැනි දේ තුලින් ඉගෙන ගනු ලබයි. ඒ සමගම, දරුවාගේ චාලක කුසලතා දියුණු වීම ද සිදුවේ. භාෂා වර්ධනය ට අවශ්‍ය සවන් දීම දියුණු වීම ද මෙම කාලයේදී සිදු වේ. එත් සමගම දරුවා අවාචික සන්නිවේදනය ආරම්භ කරනු ලබයි. එනම්, අංග චලන, සෙල්ලම් බඩු සමග සිනා සිම, සෙල්ලම් බඩු සමග ඇස ගෙන යාම, ක්‍රමයෙන් තම සමීප පුද්ගලයන්ගේ මුණු දෙස බැලීම හා සිනා සිම අවාචික සන්නිවේදනයේ ආරම්භයයි.
ක්‍රමයෙන් දරුවා පලමු අවුරුද්ද සම්පුර්ණ කල විට තනි වචන කතා කිරීමට පටන් ගැනීම, සෙල්ලම් කරන විට සමිපතයින් සමග සන්නිවේදනයේ දීම, දෙමවුපියන් දෙනු ලබන සරල විධාන අනුකරණය කිරීම සෙල්ලමත් සමගම සිදුවන්නකි. දරුවා අවුරුදු 2 න් පසු සෙල්ලම් බඩු සමග විවධ අකාරයෙන් සෙල්ලම් කිරීම මෙන්ම ඔවුන් ඇලුම් කරන සෙල්ලම් බඩු වල ස්වරුපය වෙනස් වීම සිදුවේ. එත් සමගම සන්නිවේදනයේ තවත් අත්‍යවශ්‍යම කුසලතා වර්ධයන වන ආකාරය දැක ගත හැකිය. එනම්, ඔවුන් ට අවශ්‍ය දෙය වාචිකව ඉල්ලිම, සෙල්ලමට අවශ්‍ය ලෙස අභිනය පවත්වා ගැනීම, නිවැරදි ලෙස තමන්ගේ වාරය ගැනීම ඉන් සමහරකි.
අද වන විට බොහෝ පෙරපාසල්වල play group නමින් සුවිශේෂි සෙල්ලම් මිදුලක් දකින්නට ලැබේ. මන්ද, දරුවන් හට කුඩා කාලයේදී අවශ්‍ය සෙල්ලම් නිවසේදී නොලැබීමත් ඒ සමගම දරුවන් හට අවශ්‍ය වන බොහෝ උත්තේජක නොලැබී යාමත් සිදුවන අතර වර්තමානයේ සිදුවන බොහෝ පරීක්ෂණ වලින් කුඩා කාලයේ සිට සෙල්ලම් කිරීම දරුවෙකු ගේ සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස පිළිගෙන තිබීමත් නිසාවෙනි. එත් සමගම බොහෝ දෙමවුපියන් තම දරුවන් මෙම චක්හ ටරදමච වෙත යොමු කිරීමද වර්තමානයේ සුලබ දසුනක් වන අතර ඒ තුලින් සිදුවන්නේ ද දරුවන්ගේ සෙල්ලම් කිරීමේ කුසලතාව දියුණු කිරීම, ඊට අදාළ අබිනය පවත්වා ගැනීමට ඉගැන්වීම, ඊට අවශ්‍ය වන භාෂා භාවිතයට හුරු කරවීම මෙන්ම සෙල්ලම තුලින් දරුවාගේ සමාජීය කුසලතා හා සංවර්ධනයයි.
ඒ නිසාවෙන් ම, දෙමවුපියන් වශයෙන් තම දරුවන් සමග කුඩා කාලයේ සිට සෙල්ලම් කිරීම, දරුවාට සෙල්ලම් කිරීමට අවශ්‍ය සෙල්ලම් බඩු වයසත් සමග ලබා දීම, ඒ සමගම සන්නිවේදනයේ යේදීමත් තුලින් දරුවාගේ නිසි භාෂා වර්ධනය, බුද්ධිමය කුසලතා වර්ධනය හා පෞරුෂ සංවර්ධනය කරා ලගා විය හැකිය. ඒ නිසා දරුවන් හට කුඩා කාලයේ සිටම සෙල්ලමත් සමග ගත කිරීමට කාලය වෙන් කිරීම දෙමවුපියන් වශයෙන් ඔබගේ වගකීමක් ලෙස පෙන්වා දිය හැකිය.
සජිනි පෙරේරා
කථන හා භාෂා චිකිත්සක
BSc (SHS), Dip in Sp. Edu