free stats

පැටියෙක් ගේන්න කලින් හැමෝටම වැදගත් වන රුධිරය ගැන දැනගනිමු

මිනිස් සිරුරේ රුධිර ගණයන් කිහිපයක් තිබෙන බව අප කවුරුත් දන්නවා. වෛද්‍ය විද්‍යාත්මකව මෙලෙස රුධිර ගණ කිහිපයක් පිළිබඳව කතා කලත් සාමාන්‍ය ව්‍යවහාරයේ අප කතාබහ කරන්නේ රුධිර ගණයන් හතරක් පිළිබඳව පමණයි. ඒවා A, B, AB, O ලෙස පොදුවේ
හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම රුධිර ගණ හතර Rh ගණය අනුව නැවතත් බෙදන්නට පුළුවන්. ඒ අනුව මුලික වශයෙන් රුධිර ගණ අටක් පිළිබඳව හඳුනාගන්නවා. ලොව වෙසෙන සෑම පුද්ගලයකුම ඉහත සඳහන් කළ රුධිර ගණ හතරට අයත් වන අතර Rh ගණය අනුව ඒ ඒ රුධිර ගණයට වෙන්වෙනවා.

යම් හදිසි අවස්ථාවකදි පුද්ගලයකුට රුධිරය ලබාදීමේදි ගැලපෙන රුධිර ගණය මෙන්ම Rh ගණය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. රුධිර ගණය ගැලපුනත් Rh ගණය නොගැලපේ නම් එය රෝගියාට අනතුරුදායක තත්ත්වයන් ඇති කිරීමට හේතු වනවා. මේ නිසා කිසිම අවස්ථාවක දි හිතුමනාපයට රුධිර පාරවිලයනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම මේ ප්‍රධාන රුධිර කාණ්ඩ හතරෙන් රුධිර කාණඩ දෙකකට සුවිශේෂි රුධිර පාරවිලයන හැකියාවක් තිබෙනවා. ඒ අනුව AB කාණ්ඩයට ඕනෑම රුධිර ගණයකින් රුධිරය ලබා ගත හැකි අතර O කාණ්ඩයට ඕනම රුධිර ගණයක් වෙත රුධිරය ලබාදිය හැකියි. ඒ අනුව O රුධිර ගණය සර්ව දායකයා වන අතර AB රුධිර ගණය සර්ව ප්‍රතිග්‍රාහකයා ලෙස නම් කරනවා.

මුලින් සඳහන් කළ පරිදි උපදින සෑම පුද්ගලයකුම ඉහත සඳහන් කළ ප්‍රධාන රුධිර ගණ හතරෙන් එකකට අයත් වන අතර මවගේ හෝ පියාගේ රුධිර ගණයම දරුවාට පිහිටනවා යයි විද්‍යාත්මකව සනාත කරගෙන නැහැ. දරුවාගේ රුධිර ගණය තීරණය වන්නේ ජාන අනුවයි. නමුත් සමහර අවස්ථාවලදි මවගේ හෝ පියාගේ නොවන රුධිර ගණ පිහිටන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මව සහ පියා දෙදෙනාම A රුධිර වර්ගයේ නම් දරුවා A රුධිර වර්ගයේ වීමට වැඩි ඉඩක් පවතිනවා. නමුත් O රුධිර ගණය වීමටත් වැඩි සම්භාවිතාවක් පවතිනවා. නමුත් මව හා පියා සමාන රුධිර ගණවලින් යුතුවන සෑම අවස්ථාවකම දරුවාට මෙලෙස රුධිර ගණ පිහිටන්නේ නැහැ. මව AB රුධිර ගණයට අයත් වී පියා වෙනත් කුමන රුධිර ගණයක වුවත් දරුවාට O හැරෙන්නට වෙනත් ඕනෑම රුධිර ගණයක් ලැබෙන්නට පුළුවන්. එය 100% ක් තහවුරු කරන්නට හැකියාවක් නැහැ.

ඒ වගේම දරුවාට ලැබෙන්නේ පියාගේ රුධිර ගණයම පමණයි යන සමාජ මතයත් මිත්‍යාවක්. පියාගේ පමණක් නොවෙයි මවගේ රුධිර ගණයත් ලැබෙන දරුවන් සිටිනවා. දෙදෙනාගෙන්ම 50% ක ප්‍රතිශතයක් මේ සඳහා බලපානවා. ඒ වගේම රුධිර කාණ්ඩවල පොසිටිව් රුධිර කාණඩ වැඩියෙන් තියෙනවා වගේම නෙගටිව් රුධිර කාණ්ඩ තිබෙන්නේ ඉතාම අවම ප්‍රමාණයක්. ඒ අතරින් AB හා O යන රුධිර කාණ්ඩ තිබෙන්නේ ඉතාම අඩු ප්‍රතිශතවලින්.

දෙමව්පියන්ගේ රුධිර ගණය කුමක් වුවත් එයින් දරුවාට අනතුරුදායක අවස්ථා ඇතිවන්නේ කලාතුරකින්. නමුත් මවගේ රුධිර වර්ගය නෙගටිව් රුධිර කාණ්ඩයට අයත් වන අවස්ථාවක දරුවාගේ රුධිර වර්ගය පොසිටිව් වේ නම් එය මවට අවධානම් තත්ත්වයක් ඇති කරනවා. එනම් දරුවාගේ රුධිරය මවගේ රුධිරය සමඟ මිශ්‍ර වීමෙන් එහි ඇති පොසිටිව් කාණඩයට සංවේදි වී ප්‍රතිදේහ නිර්මාණය වීමයි. මවට රෝගම් ප්‍රතිකාරය ලබාදෙන්නේ අන්න එවැනි අවස්ථාවලයි. රෝගම් ප්‍රතිකාරය නිසි ලෙස නොලැබුණහොත් දරුවාගේ රතු සෛල විනාශ වනවා. ඒ වගේම මවගේ රුධිරයේ ඇතිවන ප්‍රතිදේහ දෙවනි දරු උපතේදි මවට සහ දරුවාට බලපෑම් එල්ල කරන්න ඉඩ තිබෙනවා. රතු සෛලවල බිත්තියේ තිබෙන ඇන්ටිජන් මඟින් මේ තත්ත්වය තීරණය වනවා. මේ අනුව A රුධිරයේ රතු සෛල Bරුධිර ගණය තුළ දි ප්‍රතිදේහ නිපදවනවා. AB වර්ගයට මෙම ප්‍රතිදේහ නොමැති අතර O වර්ගයේ රුධිර කාණ්ඩයට මේ දෙවර්ගයම පවතිනවා.

මේ හැරුණු විට මවගේ හෝ පියාගේ රුධිර ගණය කුමක්ද යන්න දරුවාට බලපෑම් එල්ල කරන්නේ නැහැ. නමුත් තැලසීමියාව ඇතුළු රුධිර සංඝටකවල ගැටළු නිසා ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. මෙහිදි ලේ ඥාතීන් අතර විවාහය සිදුවීම අවධානම් සහගත වන අතර එවැනි විවාහයක් සඳහා යොමුවනවා නම් එයට පෙර රුධිර පරීක්‍ෂාවක් මඟින් තමන් තැලිසීමියා වාහකයින් නොවන බව තහවුරු කරගැනීම වඩාත් සුදුසු වනවා. එමෙන්ම ලේ නෑයින් නොවන දෙදෙනෙකු අතර විවාහයකදි වුවත් විවාහයට පෙර තැලිසීමියා පරික්‍ෂාවක් සිදුකරගැනීම වඩාත් යෝග්‍යයි. එමෙන්ම සෑම කාන්තාවක් මෙන්ම පුරුෂයෙක්ම විවාහයට පෙර තැලිසීමියා පරීක්‍ෂාව සිදුකරගතයුතු අතර තම රුධිර කාණ්ඩය හා රුධිර ගණය පිළිබඳව අවබෝධයෙන් සිටීමත් වැදගත් වනවා.

ඒ වගේම HIV වැනි ලිංගාශ්‍රිතව බෝවන රෝග තත්ත්වයන් මවගේ රුධිරය මඟින් දරුවා වෙත සම්ප්‍රේෂණය වන නිසා විශ්වාසවන්ත එක් සහකරුවෙක් හෝ සහකාරියක් සමඟ පමණක් සබධතා පැවැත්වීම හෝ ආරක්‍ෂිත උපක්‍රම භාවිතය මඟින් මෙන්ම ගර්භණී සමයේ ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂාව සඳහා යොමු වීම ඉතාම වැදගත් වනවා. එමඟින් ආරක්‍ෂිත ක්‍රමවේද හරහා සිසේරියන් සැත්කමක් මඟින් දරුවා බිහිකළ හැකි අතර රෝගය බෝවීම වළක්වාගන්නට පුළුවන්. මේ හැරුණු විට රුධිර වර්ගය නිසා හෝ වෙනත් හේතුවක් නිසා දරුවාට හෝ මවට කිසිඳු බලපෑමක් ඇතිවන්නේ නැහැ. පියාගේ රුධිරය දරුවාගේ රුධිරය හා සමාන නොවන අවස්ථාවලදි වුවත් එයින් කලබලයට පත්නොවිය යුත්තේ එය සාමාන්‍ය තත්ත්වයක් නිසයි. එබැවින් දරුවාගේ රුධිරය හා පියාගේ රුධිරය ගැලපීමෙන් දරුවාගේ සැබෑ පියා කවුද යන්න වැනි විද්‍යාත්මක කාරණා අවබෝධ කරගැනීමට නොහැකි බව වටහා ගැනීම ද වැදගත් වනවා.

විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න

සටහන චාපා හංසිනි ආටිගල