දරුවෙකු මෙලොවට බිහි වන්නේ අඬාගෙනය. ඒ හැඬීම තරම් මවකගේ හිතට සැනසිල්ලක් නොමැත. දරුවා අඬයි නම් ඔහු නිරෝගී බව අපි දනිමු. එහෙත් දරුවා අඬන විට ඇඟ නිල්පැහැයට හැරෙන්නේ නම් හෝ සීතල පරිසරයන් තුළ දරුවාගේ තොල් අත්පා නිල්පැහැ වන්නේ නම් දරුවා කුමක් හෝ රෝගයකින් පෙළෙන බව නියතය. එය බරපතල ගණයේ රෝගී තත්ත්වයක් විය හැකිය.
එසේම දරුවා කිරි උරාබොන විට අධික ලෙස දහඩිය දමයිනම් වයසට සාපේක්ෂව දරුවාගේ වර්ධනයක් සිදු නොවන්නේ නම් නිතර නිතර දරුවා රෝගී වන්නේ නම් සංජානනීය හෘදයාබාධයක් හෝ හෘදයේ ක්‍රියාකාරිත්වයේ යම් වෙනසක් විය හැකිය. මේ පිළිබඳව වහාම අවදානය යොමු කිරීම වඩාත් වැදගත්ය. තවද දරුවා එකවර කම්පනයට පත් වෙයි නම් එය හදවත් ආබාධයක අනතුරු හැඟවීමකි.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ පෙනහළු හැර සිරුරේ අනෙකුත් අවයවයන් සඳහා අවශ්‍ය පිරිසිදු රුධිරය බෙද හරිනුයේ වම් කෝෂිකාව මගිනි. පිරිසිදු කිරීම සඳහා පෙනහළු වෙත රුධිරය ගෙන යනුයේ දකුණු කෝෂිකාව මගිනි. නමුත් කළල අවස්ථාවේදී මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ප්‍රතිවිරුද්ධවය.
දරුවෙකු මෙලොව බිහි වූ සැනින්ම රුධිර සංසරණය සාමාන්‍ය තත්ත්වයට පත් නොවී කලල අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ලෙසම ක්‍රියාත්මක වන්නේ නම් එවැනි දරුවෝ උපතින්ම යම් හෘදය ආශ්‍රිත රෝගයකින් පීඩා විදින්නන්ය.
කලල අවස්ථාවේදීම පාරධ්වනි පරික්ෂාවට මව යොමුවන්නේ නම් උප්පත්තියෙන්ම දරුවා හෘදරෝගියෙක් ද යන්න දැන ගත හැකිය. මෙහිදී හදවතේ කිසියම් ශබ්දයක් මුරුමුරුවක් හෙවත් a murmer ශබ්ධයක් හදුනාගත හැකිය.
ගර්භනී අවධියට පත්වීමෙන් අනතුරුව සති 18- ත් 20 අතර කාලයේ පටන් පාරධ්වනි පරීක්‍ෂණයක් හරහා කලලයේ පවතින අසාමාන්‍යතා හඳුනාගත හැකිය. නූතන වෛද්‍ය විද්‍යා පරීක්‍ෂණ අනුව මේ අබාධ තත්ත්වය කල්තියා හඳුනාගෙන ඊට ගැලපෙන පරිදි ප්‍රතිකාර ලබාදීමට හැකියාව පවතියි. එම අසාමාන්‍යතා වලින් බොහෝ රෝග වලට ප්‍රතිකාර ලබාගත හැකිය.
හෘදරෝග අතරින් වඩා වැදගත් රෝග ලක්‍ෂණ වන්නේ හදවතේ මුරුමුරු ශබ්දයයි. මෙම මුරුමුරු ශබ්ද අතරින් 30 % ක ප්‍රමාණයක් අහිංසක මුරුමුරු ශබ්ද වන අතර ඉන් හානියක් සිදු නොවෙයි. මුරුමුරු ශබ්ද අතරින් එයට සවන් දීමෙන් එමගින් හෘදයේ පවතින ව්‍යුහාත්මක වෙනෙස හඳුනාගත හැකිය. මුරුමුරු ශබ්දය හඳුනාගෙන ව්‍යුහාත්මක වෙනසට ප්‍රතිකාර ලබාගත හැකිය.
ශරීරය නිල්පැහැ වීමට ප්‍රධාන හේතුව පවතින හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවී යාමයි. මෙයට හේතුව හිමොග්ලොබින් සමඟ සම්බන්ධවන ඔක්සිජන් ප්‍රමාණය පහත වැටීමයි. මේ අනුව දරුවාගේ හෘදය මතට පැමිණෙන අපිරිසිදු රුධිරය පෙනහළු වලට ගමන් කිරීම අඩපණ වීම නිසා මේ අන්දමට ශරීරය නිල්පැහැ වීම සිදු වෙයි.
ඇතැම් අවස්ථා වලදී හෘදයේ කුටීර වලදී පිරිසිදු සහ අපිරිසිදු රුධිරය මිශ්‍ර වීමක් සිදු වෙයි. මෙවිට හෘදයේ පර්යන්තයට ගමන් කරන රුධිරය අපිරිසිදු රුධිරයේහේතුවෙන් නිල් පැහැයක් ගනී. සංස්ථානික රුධිරය සහ පෙනහළු වෙතට ගමන් කරන රුධිරය මිශ්‍රවීම ගැටළු රැසක් ඇති කරයි.
හෘදයේ ක්‍රියාකාරිත්වය අඩාල වීම (Heart failure) බරපතල ගැටළු සහගත අවස්ථාවයි. මෙහිදී දරුවාගේ වර්ධනය අඩාල වෙයි. හෘදය රිද්මය ඉහළ යයි. ශ්වසන වේගය වැඩි වෙයි. හෘදය හා අක්මාව විශාල වෙයි.
මේ අනුව කුඩා දරුවන්ට ඇතිවන සංජානනීය හෘදයාබාධ කල්තියා හදුනා ගැනීමට ඉහත දැක්වූ රෝග ලක්‍ෂණ ඉවහල් වන අතර එවැනි අවස්ථා වලදී නොපමාව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඉවහල් වෙයි.
කුඩා දරුවනට වැළඳෙන බොහෝ හෘද රෝග සංජානනීය වුවද ඉන් පරිභාහිරව වැළඳෙන හෘදය රෝගයද පවතියි. මේ අතර රූමටික උණට ප්‍රමුඛස්ථානය හිමි වෙයි.
සංජානතීය හෘදයාබාධ පවතින කුඩා ළමුන්ගෙන් සියයට දහයක් පහළොවක් අතර ප්‍රමාණයකට එම වර්ගයේ ආබාධයකට වඩා වැඩි ප්‍රමාණයක සංකීර්ණ රෝගී තත්ත්වයන් පවතියි. මීට අමතරව හෘදය ආශ්‍රිත රෝගාබාධ පවතින ලමුන් අතර තවත් සියයට දහයක් පහළොවක් අතර ප්‍රමාණයකට වෙනත් අවයව පද්ධති ඇසුරු කරගත් සංජානනීය රෝගාබාධ පවතියි. මේ නිසා හෘදය ආශ්‍රිත ගැටළු සහගත තත්ත්වයන් මුල් අවධියේදීම හඳුනාගත් විට අනෙක් අවයව පද්ධති කෙරෙහිද විශේෂ අවධානය යොමු කළ යුතුය.
මේ වන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමඟ හෘදයාශ්‍රිත සංජානතීය ආබාධ දරු උපත සිදුවීමට පෙර සිටම හඳුනා ගැනීමටත්, ඊට ප්‍රතිකාර ලබා දීමටත් හැකිවී ඇත.
දරු උපතට පෙර සිදු කරනු ලබන පාරධ්වනි පර්යේෂණ මගින් මෙම බොහෝ රෝග කල්තියා හඳුනාගත හැකිය. දරු උපතට පසුව සිදුකරන හෘදයේ එකෝ (Echo) පර්යේෂණය මගින් හෘදයේ පවතින රෝගී තත්වය නියමාකාරයෙන් දැකිය හැකිය. ඉතා සංකීර්ණ රෝගී තත්ත්ව වලට පවා ශල්‍යකර්ම මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකියාව ලැබී ඇත. සමහර හෘදයාශ්‍රිත රෝගවලට ශල්‍යකර්ම මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී, ඖෂධීය ප්‍රතිකාර ලබාදීම ප්‍රමාණවත් වන අවස්ථාද පවතියි.
මේ අන්දමට හෘදයාශ්‍රිත සංජානතීය රෝගාබාධ ඇතිවන්නේ කුමන හේතුවක් නිසාද යන්න ස්ථිර වශයෙන්ම පැහැදිලි නැත. එහෙත් ඇතැම් අභ්‍යන්තර හා බාහිර සාධක කිහිපයක්ම මේ කෙරෙහි හේතුවන බව කිවහැකිය.
දරුවාගේ මව, දරුවා මව්කුස තුළ වැඩෙන කාලයේදී රුබෙල්ලා වැනි රෝග හෝ ීඛෑ වැනි ප්‍රතිශක්තිකරණ පද්ධති ආශ්‍රිත ආබාධ වලට ලක්වීම මේ අතර ප්‍රධාන වෙයි. මව දියවැඩියාව රෝගයෙන් පෙළෙයි නම් එයද දරුවාට සංජානතීය හෘදයාබාධ ඇතිවීමට මාර්ගය පෑදෙති. මවට පවතින ඇතැම් කායික රෝග තත්ත්වද සංජානතීය හෘදයාබාධ වලට හේතුවක් වෙයි. මේ අතර දියවැඩියාව ප්‍රධාන වෙයි. මව විසින් දරු කුස දරමින් සිටින කාලයේදී ලබාගන්නා ඇතැම් ඖෂධ මේ කෙරෙහි හේතුවන බව සොයාගෙන ඇත.
ඇතැම් වර්ණදේහ ආශ්‍රිත රෝගී තත්ත්වයන්ද සංජානතීය හෘදයාබාධ වලට හේතුවන බව සොයාගෙන ඇත.
වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය
සටහන ශ්‍රියානි විජේසිංහ