පෙරුම්පුරාගෙන ඔබේ කුසේ සිටි පුංචි පැටියා දෝතට ගත් දා දැනුණු සතුට අපමණයි. පුංචි අමුත්තා එනතුරු ඔබ දෙදෙනා මොනතරම් නම් සිහින මවන්න ඇති ද ඒ පැටියා අනාගතයේ වඩාත් සමාජයට වැඩදායි දරුවෙක් කරන්නට ඔබ එදා සිටම සිහින දකින්න ඇති. එහෙම නම් ඒ සිහිනය වඩාත් සාර්ථක යථාර්තයක් බවට පත්කරගැනීමේ ශක්තිය ඔබ ලබාගත යුත්තේත් පැටියා කුස තුළ සිටින මොහොතේ පටන්මයි.
ළමා සංවර්ධනය යනු………………
අපි හැම කෙනෙක්ම වනාන්තර දැකලා තියෙනවා. මේ වනාන්තරවල හොඳින් වැඩුණු සාරවත් ගස් වගේම තරමක් වැඩීම දුර්වල වුණු ගසුත් තිබෙනවා. ඒ වගේම තමයි ලමා සංවර්ධන ක්‍රියාවලියත්. එය තරමක් දුරට වනාන්තරයක වර්ධනය වන විවිධ ස්වරූපයේ ගස්වලට සමාන කරන්න පුළුවන්. මේ පරිණතිය එහෙමත් නැත්නම් වර්ධනය උපතේ සිටම සිදුවන්නක්. ළමා සංවර්ධනය මෙයට වඩා වෙනස් වෙන්නේ මේ විදියටයි. වනාන්තරයක ගස් ඉබේම හැඳුණත් ගෙවත්තේ සිටුවන පැලවලට මහගස් බවට පත්වන තුරු අපේ සහය අවශ්‍ය වනවා. ළමයෙක් කියන්නේ අන්න එහෙම ගෙවත්තේ හැදෙන පැලයක් වගේ.
කුසෙන් එළියට ආපු පැටියා ඒ විදියට ඉබේම හැදෙන්න අරිනවාට වඩා පරිසරයෙන් ුසොභාදහමෙන් ගන්නා ආදර්ශත් එක්ක ආදරය, සෙනෙහස, සාරධර්ම, හොඳ සිරිත්, යහපත් ගතිගුණ, නිවැරදි භාෂා හැසිරවීම උගන්වමින් පෝෂණය කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙන ආකාරයේ දරුවෙක් නිර්මාණය වෙන්නේ
මොකද්ද මේ සංවර්ධනය
කායික සංවර්ධනයත් සමඟ සිදුවන මානසික සංවර්ධනය මේ යටතට ගැනෙනවා. එය බුද්ධිමය, මනෝ සාමාජීය හා චිත්තවේග වශයෙන් බෙදන්න පුළුවන්.
ළමා සංවර්ධන අවධි
ළමා සංවර්දනය විග්‍රහ කරන බොහෝ මනෝ විද්‍යාඥයින් විවිධ අවධි වර්ගීකරණය කරනවා.
ප්‍රාග් ප්‍රසව අවධිය
පිළිසිඳගැනීමේ සිට උපත දක්වා කාලය.
මෙය සති 40 කි.
නවජ දරුවා
උපතේ සිට පළමු මාසයක කාලය
බිලිඳු අවධිය
මාස 01 සිට අවුරුදු 02 දක්වා කාලය
පෙර ළමා විය
අවුරුදු 02 සිට 05 දක්වා
ළමා විය
අවුරුදු 05 සිට අවුරුදු 10 දක්වා
නව යොවුන් විය
අවුරුදු 11 සිට අවුරුදු 18 දක්වා
තරුණ වැඩිහිටි අවධිය
අවුරුදු 18 න් ඉහල
ළමා සංවර්ධනය සඳහා බලපාන පොදු සාධක
ආදරය හා පරිසරය
මානව සංවර්ධනයට ආරය හා පරිසරය යන සාධක දෙකම සුවිශේෂි බලපෑමක් එල්ල කරනවා. මව් පාර්ශවයෙන් සහ පිය පාර්ශවයෙන් ලැබෙන ජානමය ලක්‍ෂණ ආරය ලෙස හඳුන්වන්න පුළුවන්. පරිසර සාධක ලෙස හැඳින්වෙන්නේ දරුවාගේ ජීවිතය ගතවන ස්ථානය, ඇසුරු කරන පුද්ගලයන් සහ ආහාරමය සාධකයි.
මවගේ සිරුරේ කලලයක් පිළිසිඳගත් මොහොතේ පටන් ඒ කලලය දරුවෙක් බවට පත්වීමෙන් අනතුරුව සිදුවන මානසික සංවර්ධනය සඳහා මවක් සූදානම් වියයුතුයි. පෝෂ්‍යදායි ආහාර ගැනීම මෙහි පළමු පියවරයි. ඔබ සවන් දෙන, දකින දෙය සහ ඇසුරු කරන පුද්ගලයන් ඇතුළු සියලු පරිසර සාධක සියල්ල යහපත් ලෙස වෙනස් වියයුතුයි. ඔබ අක්‍රිය දුම්පානයට ලක්වීම, අපිරිසිදු පරිසර තත්ත්ව සමඟ ගැටීම හැකිතාක් අවම වියයුතුයි. එසේම ඔබේ අවට පරිසරය ඔබව නිතර මානසික පීඩාවට පත් කරන, ආතතියට, කේන්තියට හෝ අපහසුතාවයට පත්කරනවා නම් එවන් පරිසරයකින් ඉවත් වීම වහාම සිදුවිය යුතුයි.
පියාගේ වගකීමක්
පැටියාගේ මානසික සංවර්ධනය මවගේ පමණක් නොව පියාගේත් වගකීමක්. තම බිරිඳ ගැබිනියක් බව දැනගත් මොහොතේ පටන් ඇයට සහය වීම සැමියාගෙන් සිදුවිය යුතුයි. එය එක්තරා මට්ටමක කැපකිරීමක්. තමන්ගේ දෛනික ජීවන රටාව වෙනස් කිරීමට පවා සිදුවන්නට පුළුවන්. ඒ ක-ුමන අවස්ථාවක දී වුවත් සිය බිරිඳගේ මානසික හා පාරිසරික තත්ත්වය අයහපත් එකක් නොවන්නට වගබලා ගතයුතු වනවා.
පරිණතිය සහ ඉගෙනුම
ළමා සංවර්ධනයට පරිණතිය සහ ඉගෙනුම බලපාන බව ඔබ දන්නවා. පරිණතිය යනු වයස අනුව සිදුවන වර්ධනයයි. මෙය සමාජ හෝ පරිසර සාධකවල බලපෑමකින් තොරව ඉබේම සිදුවේ. නමුත් ආරය, පෝෂණය, ශාරිරික හේතු, සෞඛ්‍ය වැනි සාධකවල යම් බලපෑමක් නැතුවාම නොවෙයි. ඉගෙනීම යනු දරුවා විසින්ම පරිසරය ඇසුරින් ලබාගන්නා අත්දැකීම් සහ පාසල් අධ්‍යාපනයයි.
ලිංගිකත්වය
ස්ත්‍රි පුරුෂ භාවය ළමා සංවර්ධනයට බලපාන ප්‍රධාන සාධකයකි. ශරීර වර්ධනය පවා ස්ත්‍රි පුරුෂභාවය බලපෑම් කරයි. මෙහිදි පිරිමි දරුවෙකුට වඩා ඉක්මනින් ගැහැණු දරුවෙක් වර්ධනය වනු දැකිය හැකියි.
පෝෂණය
ළඳරු සහ ළමා කාලයේ ඇතිවන පෝෂණ ඌණතාවයන් ශාරිරික වර්ධනයට මෙන්ම බුද්ධිමය හා චිත්තවේග වර්ධනයට හේතුවනවා.
පවුල
පළමු දරුවා මෙන්ම අවසාන දරුවා ද පවුලේ තරාතිරම, සමාජ තත්ත්වය නිරූපණය කරයි. දරුවෙක් යනු පවුලේ ආකල්ප මොනවාද, විශ්වාස මොනවාද යන්න නිරූපණය කරන උදාහරණයකි.
ආත්ම සංකල්පය
කෙනෙක් සිතන ආකාරය එනම් තමා පිළිබඳව මවා ගන්න පින්තූරය මෙන්ම පවුල, යහළුවන් පිළිබඳව තමන් ගොඩනඟා ගන්නා දේ සමාජ සංකල්ප ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ගොඩනගා ගන්නා සමාජ සංකල්ප දරුවාගේ පෞර්ෂ වර්ධනයට බෙහෙවින් බලපෑම් එල්ල කරනවා.
පැරණි කියමනක් තිබෙනවා හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. ඒ වගේම තමයි වපුරපු තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ. ඒ නිසා වඩාත් යහපත්, නිරෝගී දරුවෙක් සමාජයට දායාද කරන්න ඔබට සුවිශේෂි වගකීමක් තිබෙනවා.
උපදෙස්
අනුෂා රාජපක්‍ෂ
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි
උපදේශණ මනෝ විද්‍යා ඩිප්ලෝමාධාරිනි
කොළඹ විශ්ව විද්‍යාලය
සටහන මහේෂානි මීගහපොල