free stats

සාමාන්‍යය ගර්භණී වීමට පෙර මෙලොවට බිහි වන්නන් නොමේරූ ළදරුවන් ලෙස හඳුන්වනු ලබයි. බිලිඳකු ඉපදුන පසු සති ගණන ඉතා වැදගත් යැයි ඔබ අසා තිබුණද ඒ ඇයි දැයි දැන සිටියාද? ළදරුවා ඔබගේ ගර්භාෂය තුළ ගත කරන සති 37 – 40 දක්වා කාලයේදී ළදරුවාගේ සියලු‍ම අවයව වල වර්ධනය හා ක්‍රියාකාරීත්වය පරිණත බවට පත්වේ.

උදාහරණ: හදවත, ස්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, සම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ගර්භාෂය හා වැදෑමහ දරුවාට අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව ලබාදීමට ස්වභාවයෙන් සැකසී ඇත.

ගර්භාෂය තුළදී දරුවාගේ වර්ධනය සිදු වන්නේ කෙසේද ?

මෙලොවට පැමිණි පසු දරුවාගේ කායික හා මානසික වර්ධනය නිසි ලෙස සිදු වීම අත්‍යාවශ්‍ය වේ. එහෙත් යම් හේතුවක් මත සති 37ට පෙර බිහි වුවහොත් එම වර්ධන ක්‍රියාවලිය අඩාල වේ.

එවැනි අවස්ථාවක කුමක් සිදුවිය හැකිද ?

දරුවාගේ බර අඩුය. එම නිසා

  1. ශරීර උෂ්ණත්වය පාලනය කිරීමේ ගැටළු මතුවෙයි.
  2. පෝෂණය ලබා දීමේ දී ගැටළු මතු වේ.
  3. විෂබීජ ආසාදන වලට ලක්වීමට ඉඩකඩ බොහෝය.
  4. පාරිසරික උත්තේජන වලින් අහිතකර බලපෑම් ඇති වීමට ඇති හැකියාව ඉහළ ය.

මෙසේ දරුවන් බිහිවන සති ගණන අඩු වු විට විවිධ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. එවන් විටක ගර්භාෂය තුළදී ලැබෙන පෝෂණය සහ ආරක්ෂාව ළදරු සත්කාර ඒකකයක් තුළ දී ඒ අයුරින්ම ලබාදීම නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝගයක්ව පවතී.

මීට අමතරව පසුකාලීන සංකූලතා ලෙස අක්ෂි දුර්වලතා, ආහාර මාර්ග ආශ්‍රිත ගැටළු, ස්වසන අපහසුතා, වර්ධනය හා ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍යතා ඇතිවීමේ අවදානමක් පවතී. දරුවා හොඳින් කිරි උරා බොන තුරු, බර ප්‍රශස්ත මට්ටමකට ළඟා වනතුරු, ශරීර උෂ්ණත්වය ස්ථාවර වී පරිසරයට අනුවර්තනය වන තුරු විශේෂ ළදරු ඒකකයක් තුළ දැඩි අවධානය හා ආරක්ෂාව මත රැකබලා ගැනීමට සිදුවනු ඇත.

දරුවාගේ ශරීර උෂ්ණත්වය පවත්වා ගන්නේ කෙසේද ?

දරුවා ගර්භාෂය තුළදී සෙන්ටිග්‍රේඩ් (C) අංශක 37ºCක්‍ ක නියත උෂ්ණත්වයක වර්ධනය වන අතර ඒ සෑම අවයවයකම නිසි ක්‍රියාකාරීත්වය සඳහා සුදුසුම උෂ්ණත්වය ද වේ. එම නිසා දරුවා මෙලොව එළිය දුටු පසු ද අංශක 37ºC කට ආසන්න උෂ්ණත්වය පවත්වාගෙන යාම ඉතා වැදගත්ය.

සාමාන්‍ය පරිසර උෂ්ණත්වය අංශක16ºC – 30ºCක්‍ දක්වා වෙනස් වන අතර දරුවා බිහි වූ පසු ගර්භාෂය හා පරිසර උෂ්ණත්වය අතර ඇති වෙනසට (10ºC – 20ºC ක්‍) අනුවර්තනය වී ශරීර උෂ්ණත්වයේ ප්‍රශස්ත අගය වන 37ºCක්‍ කට ආසන්නව පවත්වාගත යුතුය. එසේ අනුවර්තනය වීමේ දී දරුවාගේ ශරීර අවයවයන්ගේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය ලෙස තබා ගැනීම වැදගත්ය.

නියමිත කාලය සම්පූර්ණ වි බිහිවන නව බිළිඳාගේ සමට යටින් ඝන මේද ස්ථරයක් පවතින බැවින් මෙම උෂ්ණත්ව වෙනසට සාර්ථකව අනුවර්තනය වීමේ හැකියාව පවතී. නොමේරූ ළදරුවකුගේ මේද ස්ථරයක් නොමැති හෙයින් උෂ්ණත්ව පාලනය බිඳ වැටේ. දරුවා කුඩා වන තරමට මෙම අපහසුතාවය ද වැඩිවේ. මේ හේතුව නිසා ඉතා නොමේරූ ළදරුවන් උණුසුම් කරන උපකරණය (Incubator) නැමැති උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය පාලනය කළ හැකි විශේෂ උපකරණයක් තුල රැකබලා ගැනීමට සිදුවේ. දරුවාගේ වයසට සරිලන පරිදි උෂ්ණත්වය පාලනය කර පවත්වා ගත හැකි වීම මෙහි විශේෂත්වයයි. වර්ධනයත් සමඟ කෙමෙන් දරුවා විසින්ම සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගනු ඇත.

රෝහලෙන් නිවසට ළදරුවා රැගෙන ගිය පසු බලා ගන්නේ කෙසේද ?

මෙවැනි ළදරුවන්ට එම ගැටළු නිවසේ දී ද ඇතිවිය හැකි ය. එය වර්ධනය අඩාල වීමට සහ සීනි ප්‍රමාණය අඩු වීමට මෙන්ම විෂබීජ ආසාදනයට ගොදුරු වීමට ද හේතු විය හැක. ඒ නිසා දරුවා උණුසුම්ව තබා ගැනීමට පහත දැක්වෙන ක්‍රියා පහත දැක්වෙන ක්‍රියා මාර්ග අනුගමනය කරන්න.

ඔබගේ අත්ල වියළිව, උණුසුම තබා ළදරුවාගේ පතුල් ස්පර්ශ කර පැය තුනකට වරක්වත් උෂ්ණත්වය පරීක්ෂා කරගන්න.

උෂ්ණත්වය අඩු යැයි හැඟී යා නම්,

  1. හිස් ආවරණ, ජර්සි (Jersey) සහ මේස් පළඳවන්න.
  2. උණුසුම් පොරෝනයකින් දරුවා ආවරණය කරන්න.
  3. ජනේල වසා විදුලි පංකා නිවා දමන්න.
  4. නෑවීම, සේදීම ආදිය ඉතා ඉක්මනින් සිදු කරන්න.
  5. දරුවා කැන්ගරු දරු සුරැකුම් ස්ථාපිතයේ තබා උණුසුම් කරන්න.

කැන්ගරු දරු සුරැකුම් ස්ථාපිතය යනු කුමක්ද ?

පහත පියවර අනුගමනය කරන්න

  1. දරුවාගේ ඇඳුම් තෙත හෝ ශීත නම් ඉවත් කරන්න.
  2. ඉදිරිපස විවෘත කළ හැකි උණුසුම් කළ කමිසයක්, නැපියක්, හිස් ආවරණයක් සහ මේස් පළඳවන්න.
  3. දැන් ඔබ ඇඳ සිටින හැට්ටයේ ඉදිරිපස බොත්තම් නිරාවරණය කරන්න. දරුවාගේ මුහුණ පසෙකට හරවා සිටින සේ පපුවේ සමට ගැටෙන ලෙස පියයුරු අතර දරුවා තබා ගන්න.
  4. ඔබගේ ඇඳුමේ බොත්තම් පියවා උණුසුම් කර අමතර පොරවනයකින් ද දරුවා ආවරණය කරන්න.

පැයකින් පමණ පසුව දරුවාගේ උෂ්ණත්වය තවදුරටත් අඩු යැයි හැඟේ නම් අමතර පොරෝනයක් යොදා ඔතා තබන්න. දිවා රාත්‍රී දෙකෙහිම හැකිතාක් මවගේ සම දරුවාගේ සමට ගැටෙන සේ තබා ගැනීමට උත්සහ කරන්න.

ඉතා අධික උෂ්ණත්වයද අහිතකර බව සිහි තබා ගන්න.

කැන්ගරු ක්‍රමයේ වාසි මොනවාද ?

දරුවාට ඇති වාසි

  1. උණුසුම් කරන උපකරණයේ (Incubator) සිටිනා විට මෙන් ප්‍රශස්ථ උෂ්ණත්වයක් ලබාගත හැක.
  2. දරුවාට මව්කිරි උරාබීමට පහසුය.
  3. බර වැඩි වීමට ඉවහල් වේ.
  4. ආසාදනවලින් ආරක්ෂා වේ.
  5. දරුවාට ශ්වසන අපහසුතා ඇතිවීම පාලනය කරයි.

මවට ඇති වාසි

  1. දරුවා හා මව අතර බැඳීම වර්ධනය කරයි.
  2. මානසික තෘප්තිය ඇති කරයි.
  3. ආත්ම විශ්වාසය මෙන්ම කිරි ලබාදීම පිළිබඳ හැඟීම ද වැඩි කරයි.

කැන්ගරු ස්ථාපිතය මගින් ෂබජමඉ්එදර උපකරණයට වඩා දරුවාගේ ශරීර උෂ්ණත්වය පවත්වාගෙන යාමට ඉවහල් වන බව නවතම සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

දරුවාගේ පෝෂණය සහ මවුකිරි ලබාදීම සිදු කරන්නේ කෙසේද ?

දරුවා විසින් ගර්භාෂය තුළ දී වර්ධනය වීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වැදෑමහ හරහා මවගෙන් ලබාගත් බව ඔබ දනී. එනම් දරුවාගේ නිසි වර්ධනය මවගේ පෝෂණ තත්ත්වය මත මුළුමනින්ම වාගේ රඳා පවතී. මෙසේ ඔබගෙන් ලබාගන්නා පෝෂ්‍ය පදාර්ථ වලින් යම් කොටසක් වැඩෙන දරුවාගේ අක්මාවේ තැන්පත් වේ. වැඩි වශයෙන්ම ගර්භණී සමයේ අවසාන මාස තුන ඇතුලත එසේ සිදුවේ. මෙම පෝෂක කොටස් අතර පිෂ්ඨය, යකඩ හා කැල්සියම් ප්‍රධාන වන අතර එය දරුවා බිහි වූ පසුව වර්ධනයට ද ඉවහල් වේ.

එබැවින් හැකි සෑම විටම පෝෂණ ගුණයෙන් යුතු ස්වාභාවික ආහාර පරිභෝජනයට ගන්න කෘත්‍රිම ආහාර අවම කරන්න. නොමේරූ ළදරුවකුගේ මෙම ක්‍රියාවලිය නිසි පරිදි සම්පූර්ණ වී නොමැති බැවින් යකඩ කැල්සියම් මෙන්ම අනෙකුත් පෝෂණ කොටස් වල ඌණතා ඇති වීමේ අවදානමක් පවතී. එබැවින් නොමේරූ හා අඩු බර දරුවන්ගේ ප්‍රශස්ත වර්ධනය සඳහා වැඩි කැලරි ප්‍රමාණයක් මෙන්ම සුළු පෝෂක පදාර්ථ ද ලබා දිය යුතුය. එම දරුවන්ට ඉතාම ගැළපෙන ආහාර රටාව මෙතෙක් සොයාගෙන නැති නමුත් සාමාන්‍ය දරුවන්ට මෙන්ම සුදුසුම අහාරය වන්නේ මවුකිරිය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ
නොමේරු ළදරු ඒකකය භාර
විශේෂඥ්‍ය වෛද්‍ය සන්ධ්‍යා බණ්ඩාර