free stats

ලොව ලස්සන වුයේ ද තව දුරටත් ලස්සන වන්නේ ද මවගේ කිරෙන් සහ හිරු කිරණෙනි.

මැක්සිම් ගෝර්කි

ජන ජීවිතය හා බැඳී පවතින ජීවයේ පැවැත්ම කෙරෙහි හිරු එළිය කරන බලපෑම අතීතයේ සිටම මිනිසුන් අවබෝධ කරගෙන තිබුණි. පුරාණ ග්‍රික රෝම වැසියන් නිදන්ගත රෝග රැසක් සඳහා ප්‍රතිකාරයක් ලෙස හිරු එළියට නිරාවරණය වීම සිදුකර තිබේ. ඇතැම් ගෝත්‍රික ජන කණ්ඩායම් වර්ථමානයේ දී ද රෝග ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හිරු එළිය යොදාගනියි. පුරාණයේ විසු මෙක්සිකෝ ජනයා විවිධ වර්ගයේ කොළ වර්ග තුළින් පෙරී එන ආලෝකය ජලය තුළින් යවා එම ජලය පානයට ගැනීමේ ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කර තිබේ. ශාරිරික පෝෂණතය උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය දෙයක් ලෙස ද හිරු එළියට නිරාවරණය වීම වැදගත් බව ස්වාභාවික චිකිත්සාවේ නියැලෙන වෛද්‍යවරුවන්ගේ මතයයි.

අතීතයේ දී අපේ ගම්වල කාන්තා පාර්ශවය ඉර එළිය සමඟ වී වේලීම වැනි කාර්යයන් කිරීම පමණක් නොව මිදුල අතුගෑම වැනි ක්‍රියාවන් හී ද නිරත විය. මෙවැනි කටයුතු වලදී ඉර එළියේ පහස විඳ ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි විය. එසේම දරුවන් සෙල්ලම් කිරීම සඳහා යොමු වීම නිසාද ඔවුන්ට අවශ්‍ය තරම් ඉර එළිය ලබා ගැනීම අසීරු වුයේ නැත. එසේම කාන්තාවන්ගේ ප්‍රසුතියෙන් පසුව ද ඉර එළිය සමඟ සිදුකරනු ලැබු චාරිත්‍ර වාරිත්‍ර අතීතයේ දී පැවැත්විය. ඒ අනුව ගැබිනි මාතාවන් සමඟ හිරු ඔළිය සම්බන්ධ වන ආකාරය පිළිබඳව පුරාණ ආයුර්වේදයේ මෙසේ සඳහන්ය.

එහිදී ගැබිනි මවක් නීරක්තිය, ක්‍ෂය රෝගය හෝ උණ රෝගයෙන් පෙලී සුව වන විට දී හා එවැනි අවස්ථා බොහෝමයක දී හිරු රැස් ප්‍රතිකාරය වැදගත් වේ. විශේෂයෙන් ළා හිරු රැස් ඇති පෙරවරු 7 8 අතර කාලය මේ සඳහා වඩාත් සුදුසුය. සූර්යා ලෝකය කිරණ වර්ග රැසකින් සමන්විත වේ. එම එක් එක් කිරණ විසින් කරන බලපෑම ඇති කරයි. ඉන් ඇතැම් ඒවා සමේ සෛල වෙනදා තවත් කිරණ කාණ්ඩයක් ස්නායු පද්ධතිය කෙරෙහි උත්තේජනයක් ඇති කරයි.

ගැබිනි මව වෙත ඇති වන ආසාදන වලින් ආරක්‍ෂා කිරීමට හිරු එළිය ප්‍රබලම සෞඛ්‍යරක්‍ෂක හා රෝග නිවාරණ හැකියාවෙනුත් යුක්ත වේ. එහි ඇති සෞඛ්‍යරක්‍ෂක ගුණය සලකා බලන විට විවිධ රෝග ඇති කරන භයානක ක්‍ෂුද්‍ර ජීවින් විනාශ කරලීමේ අගනා හැකියාවක් සතු වේ. එම ක්‍ෂුද්‍ර ජීවින් විනා බොහෝමයක් හිරු එළියට නිරාවරණය වී විනාඩි කිහිපයකට වඩා ජීව්‍යතාවය පවත්වා ගත නොහැකි වේ. මවගේ ශරීර ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමට උපකාරි වන හිරු එළිය ගැබිනි මවගේ සම මතුපිට පමණක් නොව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වෙත ද උත්තේජනයක් ඇති වෙයි. දහදිය දැමීම පහසුවෙන් සිදු වේ. එවිට ගැබිනි මවක් හෘදයේ ක්‍රියාකාරිත්වය හා ශරීරයේ ප්‍රධාන කායික ක්‍රියාවලිය වර්ධනය වේ.

ගැබිනි මව හිරු එළියේ ස්නානය සඳහා යොමු වීම ඉතාමත් වැදගත්ය. එමඟින් දහදිය දැමීමට උත්තේජනය සපයා ගැනීම පහසු වේ. ඒ සඳහා වඩාත් සුදුසු වේලාව වන්නේ පෙරවරු දහයත් දොළහත් අතර කාලයයි. මේ සඳහා වැතිරී සිටිමේ ඉරියව්ව වඩාත් සුදුසු වේ. මෙහි දී දහදිය දැමීම සිදුනොවුනත් විනාඩි පහළවක් විස්සකට වැඩි වේලාවක් හිරු එළිය ස්නානය කිරීම සුදුසු නැත. එම වේලාවෙන් අනතුරුව සිරුර උණුසුම මදක් අඩු වු විට ගැබිනි මව ස්නානය කළ යුතුයි. ඇතැම් අයට මුල් කාලයේ දී මෙසේ හිරු එළියට නිරාවරණය වීිමෙන් දහදිය දැමීම සිදුනොවිය හැකිය. එහෙත් දින 3 4 කට පසු මවගේ දහදිය ග්‍රන්ථින් සක්‍රිය වී නිසි ලෙස ඒවා ක්‍රියාත්මක වේ.

ගැබිනි මව නෑමෙන් පසුව මිදුලේ හිරු එළිය හොඳින් වැටෙන ස්ථානයක පුටුවක් තබා එහි වාඩි වී කොණ්ඩය වේලෙන්නට සලස්වා කොණ්ඩය පීරීම සිදුකළ හැකිය. එමඟින් මවගේ ශාරීරික හා මානසික ශක්තිය වැඩි වේ. හිරු එළිය ඇතිවිට උදෑසන මිදුල අතුගෑම මඟින් මවට අවශ්‍ය ව්‍යායාම ලැබේ. එසේම වායු සමනය නොකරන ලද කාමරයක සිට හිරු එළිය වැටෙන් ආකාරය අධ්‍යනය කිරීම මවගේ ඇස්වලට අවශ්‍ය ව්‍යායාම ලැබේ. පිල මත ඉදගෙන පොත් පත් හිරු එළියේ කියවීමට ගැබිනි මවට හැකි නම් ඇයගේ ඇස් පෙනීමේ හැකියාව වැඩි දියුණු වේ. ගැබිනි මව සුව පහසු ආසනයක ඉදගනිමින් ගස් අතරින් එන හිරු එළිය සමට අවශෝෂණය වීමට ඉඩ දීම මඟින් ගැබිනි මවට හිරු එළියෙන් අවශ්‍ය විටමින් වර්ග ලබාගත හැකියි.

මව සහ දරුවා අතර මනා සම්බන්ධතාවයක් ඇතිව දරුවා අතර මනා සම්බන්ධයක් ඇතිව දරුවා මෙලොවට බිහි වීමට මෙම හිරු එළිය ප්‍රතිකාරය අපිට භාවිතා කළ හැකියි. එමඟින් මවටත් දරුවාටත් විශ්වයට ඒකාත්මික විය හැකියි.

ආයුර්වේද වෛද්‍ය
සජිත් චතුරංග අක්මීමණ මහතා

සටහන අරුණි ජයසේකර