free stats

පුංචි පැටියෙක් වුණත් ඉපදෙනකොට ලස්සන කලු‍ පාට කොණ්ඩයක් තියෙනවා නම් අපි හරි ආසයි. අපේ ඇස් අනිවාර්යෙන්ම ඒ පොඩිත්තා වෙත යොමු වෙනවා. ඉතින් මේ නිසාම අද වැඩිපුර කතාබහක් නොවෙන මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්නට අපි හිතුවා.  ඒ කියන්නේ පුංචි පැටවුන්ගේ හිසකෙස් පිළිබඳවයි.

 ගැහැණු ළමයෙක්ගේ හිසකෙස් පිළිබඳව නම් එයාගේ වර්ධනයත් එක්කම අපි වැඩිපුර අවධානයක් යොමු කරනවා. නමුත් පුංචි වයසෙදි ගැහැනු පිරිමි කියලා භේදයක් නැතිව හිසකෙස් වැදගත් කාරණාවක් වෙනවා. මේ හිසකෙස් පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපි පළමුවෙන්ම බලමු ඒ සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් ගැටළු මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි හිසකෙස් වැටීම. සාමාන්‍යයෙන් වයස අවුරුදු පහට අඩු පුංචි බබාල ගත්තම සම්පූර්ණයෙන්ම හිසකෙස් වැටීමක්නම් දක්නට ලැබෙන්නේ නෑ. නමුත් යම් යම් රෝග කාරණා නිසා හිසකෙස් වැටෙන්න පුළුවන්.

මේ විදියට එක් හේතුවක් වෙන්නේ සමෙහි ඇතිවන පුස් වර්ගයන්. මේ ලක්ෂණ ඇතැම් පුංචි පැටවුන්ගෙන් අපිට දැකගන්න ලැබෙනවා. අපි දැකලා තියනවා සමහර පුංචිම දරුවන්ගේ හිසේ සමහර තැන්වල රවුම් ආකාරයෙන් හිසකෙස් අඩු උන ස්වාභාවයක්. දෙමාපියන් එහෙමත් නැත්නම් පුංචි පැටියාගේ පරම්පරාවේ කවුරුන් හෝ කෙනෙකුට මේ විදියේ රෝග ලක්ෂණයක් තිබීම  මේ සදහා ප්‍රධාන හේතුවක් වෙනවා. පුස් වර්ගයන්  හේතුවෙන් කොන්ඩෙ යාම එක වරම සිදු වන්නේ නෑ. හිසේ සමහර තැන්වල කොන්ඩෙ ඝන වීමක් පළමුවෙන්ම දැකගන්න ලැබෙනවා. අනතුරුව ඒ විදියට ගන වුණු හිසකෙස් වැටිලා යනවා. ඒ විදිහට හිසකෙස් වැටුන ස්ථානයේ සම සාමාන්‍ය සමට වඩා තරමක් හයිය ගතියකින් යුක්ත වෙනවා. ඇතැම්විට කොරපොතු විදියට සම ගැලවී යාමක් මේ ස්ථානවල අපිට දැකගන්න පුළුවන්. මේ වගේ තත්ත්වයකින් පස්සෙ එන අලු‍ත් හිසකෙස්  උනත් හරිම පහසුවෙන් කැඩිලා යන්න බලනවා. ඉතින් මේ වගේ පුස් ඇති වීමක් හේතුවෙන් පුංචි බබාගේ හිසකෙස් යන්න ගත්තොත් අපි මොනවද කරන්න අවශ්‍ය. ඒ උපදෙස් ලබා ගැනීම වැදගත්. මේ වගේ අවස්ථාවක සුදුසු ආලේපන ද්‍රව්‍ය නියම කිරීම බොහෝ විට වෛද්‍යවරුන් විසින්  සිදු කරනවා. මේ පිළිබඳව අනවශ්‍ය කලබල වීමක් ඇති කරගත යුතු වෙන්නේ නෑ.

මීළඟට බෝ නොවන රෝගී තත්ත්වයක් හේතුවෙනුත් හිසකෙස් යන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ වගේ තත්ත්ව ඇඟේ ප්‍රතිශක්තිය එක්ක ඇතිවන රෝගී තත්ත්වයන්.  හිසකෙස් වල මුල් කොටසට තමයි මේ අවස්ථාවේදී බලපෑම් සිදුවන්නේ. මේ අවස්තාව උඳුගොව්වන් කෑම කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා අපි අහලා තියෙනවා. ඉතින් මේ විදියට බෝ නොවන රෝගයක් නිසා හිසකෙස් ගියොත් ඒ වගේ තැන්වල සම හරිම සිනිඳු විදියට තමයි දැකගන්න ලැබෙන්නේ. පුස් වර්ගයන් හේතුවෙන් හිසකෙස් යාමකදී වගේ ගොරෝසු සමක් ඇති වෙන්නේ නෑ. මේ තත්වය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තත් නැතත් කාලෙත් එක්ක අඩු වෙලා යනවා. මොකද මේ ප්‍රතිශක්තියත් එක්ක ඇතිවන දෙයක් නිසා.

පුංචි පැටවුන් ඉතින් කොහොමත් කරන්නෙ දඟකාරයි. මේ දඟකාරකම් නිසාම අපි දැකල තියෙනවා සමහර පුංචි පැටව් කොන්ඩෙත් එක්ක ඔට්ටු වෙනවා. ඒ කියන්නෙ එයාල එයාලගේ කොණ්ඩෙ ඇද ගන්නවා, එහෙමත් නැත්නම් කොණ්ඩෙ එකට එකම තැන අඹරවනවා,එකම තැන කසනවා, උගුල්ලනවා. මෙන්න මේ වගේ කාරණා නිසාත් පුංචි බබාලාගෙ කොන්ඩෙ ගැලවෙන්න පුළුවන්. මේ වගේ

අවස්ථාවකදී නම් දෙමාපියන් විදියට සැලකිලිමත් වෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ අපේ පුංචි පැටවුන්ට මොනවා හරි ගැටලු‍වක් තියෙනව ද කියලා විශේෂයෙන්ම මානසික ප්‍රශ්නයක් වගේ දෙයක් තියෙනවද කියලා. අම්මා තාත්තා අතර ප්‍රශ්න තියෙනවාද  එහෙමත් නැත්නම් සමීප කෙනෙක් මිය ගිහින්ද වගේ කාරණා එක එල්ලේම පුංචි දරුවෙක්ට බලපෑම් කරන්න පුළුවන්. එහෙම මානසික ප්‍රශ්නයක් හේතුවෙන්  පුංචි පැටවුන්ගේ ආතතිය පෙන්වන එක් ලක්ෂණයක් විදියට තමන්ගේ කොණ්ඩෙට හානි කරගන්න පුංචි බබාල පෙලබෙනව. මේ දේ කරන්නේ පුංචිම වයසේ දරුවෝ නම් නෙමෙයි. ඒ කියන්නේ වයස අවුරුදු තුන වගේ වයසෙ දරුවන්.

ඒ වගේමයි කලාතුරකින් සෑදෙන රෝග තත්ත්ව වලින් පස්සේ හිසකෙස් යෑමේ හැකියාවක් තියෙනවා. නියුමෝනියාව එහෙමත් නැත්නම් විශාල ශල්‍යකර්මයකින් පඩුව වගේම විශාල අනතුරක් සිදු වී තිබීමෙන් අනතුරුව හිසකෙස් යාම සිදුවෙන්න අවකාශය තිබෙනවා.

මීළඟ කාරණාව තමයි වැදගත්ම කාරණාව වෙන්නෙ. ඒ පෝෂණ ඌණතාවයයි.මොකද අපි අපේ පුංචි දරුවන්ට කොයි තරම් විටමින් වර්ග ඖෂධ වර්ග දුන්නත් ආහාර වලින් ලැබෙන පෝෂණය ලැබෙන්නේ නෑ. මේ නිසා විටමින් බී අඩංගු ආහාර වර්ග, එළවළු,පලතුරු සහ පලා වර්ග වගේ දේවල් වැඩිපුර ආහාරයට ගත යුතු වෙනවා. මේ දේවල් අඩු වුණොත් පොඩිත්තාගේ හිසකෙස් වර්ධනය අඩු වෙන්න වගේම හිසකෙස් වැටෙන්නත් පුළුවන්. ඉතින් අපේ අම්මලා දැනගන්න අවශ්‍යයි පුංචි පැටවුන්ට ක්ෂණික ආහාර ලබා දීමට වඩා නැවුම් එළවළු පලතුරු වර්ග හැකිතාක් ලබා දෙන්න. එහෙම වුනොත් පුංචි කාලේ ඉඳන්ම එයාලගේ නිරෝගී බව ආරක්ෂා කරගන්න පුළුවන්.

පුංචි දරුවන්ගෙ හිසකෙස් සම්බන්ධව මේ විදියේ සුවිශේෂී කාරණා වගේම විරල කාරණාත් බලපෑම් කරනවා. හෝමෝනවල ඇතිවන බලපෑම නිසා ඉතාමත් කලාතුරකින් පොඩිත්තන්ගෙ හිසකෙස් වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තයිරොක්සීන් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වීම ඒ අතුරින් එක් හේතුවක්. වෙනවා මීට අමතරව මලබද්ධය ඇතිවීම දරුවන්ගේ වර්ධනය අඩුවීම සහ මොලයේ වර්ධනය අඩු වීමත් මේ හරහා සිදුවෙන්න ඉඩ තිබෙනව.

ඒ වගේමයි අපි දැකල තියෙනවා සමහර පුංචි පැටවුන් ඉපදෙනකොට එයාලගේ හිසකෙස් නැහැ. එහෙමත් නැත්නම් තිබෙන හිස කෙස් ගස් දෙක තුනත් වැටිලා යනවා නමුත් අපි දැකලා තියෙනවා පුංචි දරුවන්ගේ උත්පත්තියේදී තියෙන හිසකෙස් බොහෝවිට වැටිල ගියත් නැවත හිසකෙස් වර්ධනය වෙනවා. මේ නිසා මේ සම්බන්ධව අනවශ්‍ය කලබල වීමක් ඇති කරගැනීම අවශ්‍ය වෙන්නේ නෑ.

මේ විදිහේ කරුණුවලට අමතරව ගර්භණී සමයේ දී මව යම් රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් එහෙමත් නැත්නම් පෝෂණ ඌනතාවයකින් පෙළෙනවා නම් පැටියාගේ අස්ථි වර්ධනය අවම වීමත් එක්කම හිස කෙස් වර්ධනයත් අවම වෙන්න අවකාශය තියෙනවා ඉතින් අපි පුංචි පැටවුන්ගේ හිසකෙස් සම්බන්ධව ඉපදුනා ඉන්පස්සෙ විතරක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් වෙන්නේ නෑ පුංචි දරුවා මවුකුස තුල සිටියදී ම ඒ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. නිවැරදි පෝෂදායී ආහාර රටාවක් ගැනීම වගේ හිතකර සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් පුහුණු කරගත යුතුයි. එහෙම වුනොත් අපිට පුංචි පැටියාගේ වර්දනය එක්කම  හිසකෙස්වල

නිරෝගීබව ආරක්ශාකර ගැනීම අපහසු වෙන්නේ නෑ.