free stats

අලුත දරුවෙක් බිහිකල මවකට නැවත දරු පිළිසිඳගැනීමක් සඳහා සුදානම් වීමට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වනවා. එයට හේතු කිහිපයක්ම පෙන්වා දෙන්න පුලුවන්. එයින් එකක් තමයි ඇයට නැවත පෙර පරිදි සෞඛ්‍ය සම්පන්න වීමට කාලය අවශ්‍ය වීම. ප්‍රසුතියෙන් පස්සේ මවක් සෞඛ්‍ය සම්පන්න වීමට කාලයක් ගත වෙනවා. විශේෂයෙන්ම ඇය විදි අධික ප්‍රසුත වේදනාව එයට හේතුවක්.

ආහාර අරුචිය මේ කාලෙදි එන තවත් ප්‍රශ්නයක්. දරුවෙක් බිහිකල අලුත ආහාර පාන ගන්න අමාරුයි. වෙනදා කාපු කෑම වුණත් අප්‍රිය වෙන එක සාමාන්‍යයි. මේ නිසා ඇගේ ශක්තිය ටිකෙන් ටික හීන වෙනවා. මව්කිරි දීමත් ඇය කල යුතුයි. තවමත් ඇය අලුත් ජීවිතයට හුරුවෙමින් ඉන්නේ. ඒ නිසා ඇයට තවත් දරු උපතක් ගැන හිතන්නවත් බැහැ. ඒ වගේම ප්‍රසුතිය මොහොතේ විදි වේදනාව නිසා එන මානසික කම්පනය සමනය කරගන්න කාලය උවමනායි. අන්න ඒ නිසා නැවත ගැබ් ගැනීමකට සුදානම් වෙන්න කාලය අවශ්‍ය වනවා.

මේ කියන කාලය ලබාගන්න උපක්‍රමයක් විදියට නවීන විද්‍යාව උපත් පාලන ක්‍රම කිපයක්ම හඳුන්වා දී තිබෙනවා. එයින් එක් උපත් පාලන ක්‍රමයක් තමන්ට පහසු ලෙස පාවිච්චී කරන්න පුලුවන්. මේ අතරින් කාන්තාවන් අතර ජනප්‍රියම උපත් පාලන ක්‍රම කීපයකි. ජඩෙල් ඒන්නත, උපත් පාලන පෙති භාවිතය කොන්ඩම් භාවිතය හා ලුපය පැළදීමයි. මෙයින් කාන්තාවන් අතර ජනප්‍රියම උපත් පාලන ක්‍රමය වන්නේ ලූපයයි.

උපත් පාලන ක්‍රමයක් භාවිත කිරිමේ තවත් ප්‍රධානම වාසියක් වන්නේ දරුවන් අතර පරතරය තබාගැනීමට හැකිවීමයි. මේ නිසා සංකිර්ණ ප්‍රශ්න කිහිපයක්ම විසඳාගන්න පුලුවන්. උපත් පාලන ක්‍රමය නිසා වැඩිහිටි දරුවා තනිව වැඩ කරගැනීමට පටන් ගන්නා කාලසීමාව දක්වා තවත් දරු උපතක් සිදුවන්නේ නැහැ. එක ලඟ උපත් දෙකක් සිදු වීමෙන් මවට එන සෞඛ්‍ය ගැටලු ද අවම වනවා. උපත් දෙකක් නිසා ඇය රක්තහීතාවයට ලක්වන්න පුලුවන්. එයට හේතුව ප්‍රසුතියේ දි සිදුවන රුධිර වහනයයි. එකම ලඟ දෙවතාවක් රුධිර වහනය වීමෙන් මවට පෝෂණ ඌණතා වුවත් ඇතිවිය හැකියි. ඒ අතර යකඩ ඌණතාව හා කැල්සියම් ඌණතා ප්‍රධානයි.

දරුවන් අතර වයස් පරතරය අඩු වු විට දෙදෙනාම රැකබලා ගැනීම අපහසු වන්නට පුලුවන්. මේ නිසාත් ඔවුන් අතර පරතරය ඉතාම වැදගත් වනවා. අඩුම වශයෙන් වසර තුනක පමණ පරතරයක් තිබීම මවට පහසුවක්. කිරි බොන වයසේ දරුවෙක් සිටින මවක් නැවත ගැබ් ගැනීමෙන් සිදුවන්නේ දරුවාට නිසි ලෙස අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව ලබාදීමට නොහැකි වීමයි. පිළීසිඳ ගැනීමත් සමඟම මවට එන සංකූලතා නිසා අනෙක් දරුවාගේ අවශ්‍යතා මඟහැරෙන අතරම අවශ්‍ය ආදරය රැකවරණය පවා මඟහැරෙන්නට පුලුවන්. මේ නිසා සුදුසුම ක්‍රමය වන්නේ සෑම ප්‍රසුතිකින්ම පසු උපත් පාලන ක්‍රමයකට යොමු වීමයි.

දරු ප්‍රසුතියක් සිදු වු දිනයේ දිම උපත් පාලන ක්‍රමයකට යොමු වීමේ විශේෂ වාසි රැසක් තිබෙනවා. එනම් ප්‍රසුතිය නිසා යෝනි මාර්ගය විස්තාරණය වී ඇති බැවින් ලූපය පැලදීම වැනි උපත් පාලන ක්‍රමයකට යොමු වීම පහසුයි. ඒ අනුව වැදැමහ ඉවත් කල සැනින් හෝ දරුවා ඉපදි පැය 48 ක් ඇතුලත එය පලදින්නට හැකියාව තිබෙනවා.

ප්‍රසුතියෙන් සති කිහිපයක් හෝ මාසයක් ගත වු පසුව මෙය පැළදීම අපහසුතාවට පත්විමට හේතුවක් වනවා. සමහර විට වේදනාවක් ඇතිවන්නට පුලුවන්. අනෙක් අතට ඒ වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරනන්ට සිදුවෙනවා. දරු ප්‍රසුතියෙන් පැය 48 ක් තුළ ලුපය පැලදීම සුදුසු බව වෛද්‍යවරුන් පවසන්නේ මේ නිසායි. මෙය ස්වභාවික දරු ප්‍රසුතියට මුහුණදුන් කාන්තාවකට මෙන්ම සිසේරියන් සැත්කමක් කල කාන්තාවකටත් පලදින්න පුලුවන්. ප්‍රසුතියත් සමඟම පැලදිමෙන් කිසිඳු වේදනාවක් දැනෙන්නේ නැහැ.

තාවකාලික උපත් පාලන ක්‍රමයකින් කිසි විටෙක වද භාවයට පත් වන්නේ නැහැ. එය මිත්‍යාවක්. සිදුවන්නේ අවශ්‍ය කාල සිමාව දක්වා ගැබ් නොගැනීම පමණයි. උපත් පාලන ක්‍රමයක් භාවිත කිරිම ආරම්භ කල පසුව ලිංගිකව එක් වීමට ද බාධාවක් මතුවන්නේ නැහැ. ලිංගික අවශ්‍යතා පාලනය කිරිමකින් තොරව ඔබට අවශ්‍ය කාලයකට ගැබ් ගැනීම් පමා කරන්න පුලුවන් වීම අතිරේක වාසියක්.

උපත් පාලන ක්‍රම කෙතරම් සුදුසු වුවත් වෛද්‍ය උපදෙස් ගැනීමකින් තොරව ඒවාට යොමු වීම සුදුසු නැහැ. එය විවිධ අතුරු ආබාධවලට හේතු වනවා. බොහෝ ක්‍රමවලින් සිදුවන්නේ අතිරේක හෝර්මෝන පිටින් ලබාදීමක් නිසා එය සිරුරට අහිතකර වන්නට පුලුවන්. මේ නිසා සුදුසුම ක්‍රමය තෝරාගත යුත්තේ වෛද්‍යවරයාගේ උපදෙස් මතයි.

සෑම උපත් පාලන ක්‍රමයක්ම නිර්මාණය වී ඇත්තේ කාන්තාවන් සඳහා වුවත් කොන්ඩමය නිර්මාණය වී ඇත්තේ පිරිමි පාර්ශවයටයි. මෙය භාහිර භාවිතය පිණීස පමණක් නිර්මාණය වී ඇති නිසා භාවිතය වඩාත්ම සුදුසු බව නිර්දේශ කල හැකියි. මේ නිසා කාන්තාව පමණක් විවිධ උපත් පාලන ක්‍රමවලට යොමු කරනවා වෙනුවට පිරිමි පාර්ශවය කොණඩම් භාවිතයට හුරු වීම වැදගත්ය. එයින් කාන්තාවන් අනවශ්‍ය හෝර්මෝන ශරීරගත කරගැනීම වලක්වාගන්න පුලුවන්.

චාපා හංසිනි ආටිගල