free stats

අප සැමදෙනාම දන්නා පරිදි ජීවයේ පැවැත්ම සඳහා ජලය අවශ්‍ය වේ. ජලය නොමැති තැන ජීවයක් නොමැත. ජීවයේ පෝෂණය සඳහා අවශ්‍ය පෝෂ්‍ය සංඝටක ප්‍රවාහණයට, පෝෂක ද්‍රවණයන් අවශෝෂණය කරගැනීමට, අපද්‍රව්‍ය බැහැර කිරීමට, සමේ තෙතමනය පවත්වාගෙන යාමට, පරිවෘත්තීය ක්‍රියා පාලනයට වඩාත් අත්‍යාවශ්‍ය වේ. මිනිස් සිරුරෙන් 70% ක ප්‍රමාණයක් පවතින්නේ ජලයයි. මේ නිසාම නිසි පරිදි ජලය පානය කිරීම, නිතර සිරුර වියලීමෙන් තොරව පවත්වාගැනීම ද අවශ්‍ය වේ. එසේ නැතිනම් හදිසි විජලන තත්ත්වයන් පවා ඇතිවීමට ඉඩ තිබේ.

මෙවැනි විස්මිත ගුණාංගවලින් හෙබි ජලය මාතෘත්වයට පෙරුම් පුරන මවක් පානය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ආයුර්වේදයේ සඳහන් වන්නේ කෙසේ ද යන්න සොයා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

මෙහිදි ගැබිනි මව ජලය පානය කිරීමට ප්‍රථම එය පිරිසිදු කරගත යුතුය. ඒ සඳහා වතුර පෙරා ගැනීම අත්‍යාවශ්‍ය වේ. ජලය උණු කර නිවාගැනීම මෙන්ම, වතුරට තෝරමල්ලි දැමීම, බීමට ගන්නා ජලය තඹ භාජනයකට දමා තැබීම, මෙන්ම වර්ථමානයේ නම් විවිධ රසායන ද්‍රව්‍ය දමා තිබීම ද සුදුසු වේ.

බීමට ගන්නා ජලය උණු කර නිවා ගුරුලේත්තුවක, තඹ භාජනයකට හෝ මැටි භාජනයක දමා තැබීමෙන් අවශ්‍ය විට පිරිසුදු ජලය පානය කළ හැකිය. ගැබිනි මවට පානය කිරිම සඳහා ජලය ලබාදෙන විට ප්ලාස්ටික් කෝප්පයක් වෙනුවට තඹ හෝ මැටි භාජනයකට දමා පානය කිරීම සුදුසු වේ. ජීවත් වන පරිසරය හා ඒ පරිසරයේ පවතින පරිසර තත්ත්වයන්ට අනුකූළව ජලය ලබාදීම කළ යුතුය. කාර්යාලයට යන ගැබිනි මවක් නම් අතරමගදී පානය කිරිම සඳහා ජලය රැගෙන යාමට සුදුසු බදුනක් සකස් කරගත යුතුවේ. එසේම මේ කාලයේ පිපාසය දැනීමට පෙර ජලය පානය කිරිම කළ යුතුය. එසේම නිසි අයුරින් ජලය පානය කිරිම නිසා වාසි රැසක් ඇතිවනබව මතක තබාගත යුතුය.

මව උදෑසන අවදි වු විට උණු වතුර පානය කිරීම ඉතාමත් ගුණදායකයි. එයට හේතුව ආයුර්වේදයට අනුව ආහාර දිරවීමේ අපහසුතා වැලැක්වීමට උණු වතුරට ඇති හැකියාවයි. එසේම දිරවු ආහාර ඇති කල ජලය පානය කිරිම නිසා කාය බලය සලසා දෙයි. තව ද ආහාර ගන්නා අතරතුර උණු වතුර බීමෙන් ආයුෂය වර්ධනය වේ. ආහාර ලබාගැනීමෙන් පසුව ජලය පානය කර ඉන් අනතුරුව නැවත නැවත ජලය පානය කිරීම අවශ්‍ය නොවේ. එසේම රාත්‍රි කාලයේ ජලය පානය කිරීම අවශ්‍ය නැත. කාශ්‍යප සංහිතාවට අනුව උණු වතුර යනු වේදනා, කප, වායු පිපාසා, ඉක්කා, අරුචි, මල බද්ධය හා ගුල්ම නාශක වේ. ධාතු මෘදු බවට පත්වන අතර දීපන ද වේ.

පරිවෘත්තීය ක්‍රියා හෙවත් ආහාරවල පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරයට අවශෝෂනය වීම සඳහා හිස්බඩ ජලය පානය කිරීමෙන් 24% ක දායකත්වයක් ලැබේ. එමඟින් ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරි වන නිසා ආහාර ජීර්ණ අපහසුතාද අවම වේ. ආහාරයට ගන්නා කෑම ඉතාම ඉක්මනින් දිරවන නිසා ආහාර ගැනීමෙන් පසුව ඇතිවිය හැකි හිසේ අමාරුව, බඩ පිපුණු ගතිය, නිදිමත ආදිය ද අවම කරගත හැකිය. එය ගැබිනි මවගේ දෛනික වැඩකටයුතුවලට ලැබෙන පහසුවකි. එසේම ආහාරවල පෝෂක කොටස් ඉතාම ඉක්මනින් ඇඟට අවශෝෂණය වන නිසා ගන්නා ආහාර වල උපරිම ප්‍රයෝජන ද මවට ලබාගත හැකි වේ. මෙසේ හොඳින් ආහාර ජීර්ණය වීම නිසා මළ පිට කිරීම ද පහසු වේ.

ශරීරයේ ඇති අහිතකර ද්‍රව්‍ය ඉවත් කරයි. ජලය පානය කරන විට එමඟින් ස්වාභාවිකවම බඩවැල් ක්‍රියාකාරිත්වයට පත්වේ. නිදාගන්නා විට ශරීරයේ අලුත්වැඩියා කිරීම් ඇරඹෙන අතර එහිදීත් ශරීරයට අනවශ්‍ය හා අහිතකර කොටස් නිපදවීම සිදුවේ. මේ නිසා උදේම හිස් බඩ ජලය පානය කල විට මේ සියලු විෂ ද්‍රව්‍යයන් ඉවත් කරන අතර ඉන් නැවුම් සහ නිරෝගී සිරුරක් හිමිවේ.

එයට අමතරව පේශී, සෛල සහ නව රුධිර සෛල නිපදවීමේ ප්‍රමාණය ද ඉහල යයි. මෙය ජලයේ තිබෙන අපූර්ව හැකියාවකි. සමහර විට එය අවකාශායේ ඉඩක් අත්පත් කරගැනීම නිසා ඇතිවන තත්ත්වයක් ද විය හැකිය. කෙසේ වෙතත් අපි උදෑසන සහ අනෙකුත් කෑම වේල් වලට පෙර ජලය ස්වල්පයක් පානය කිරීමෙන් අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් සිරුරට උරාගැනීම පාලනය වේ. ජලයෙන් උදරය පිරී ඇති නිසා වැඩිපුර ආහාර ගැනීමක් සිදුනොවීම එයට හේතුවයි. මේ තත්ත්වය රසය නිසා ආහාරවලට වැඩි කැමැත්තක් දක්වන මව්වරුන්ට හොඳ ආරංචියකි.

ගැබිනි සමයේ හටගන්නා සමෙහි වියළි බව පාලනය නොකිරීම නිසා සමෙහි පිපිරුම් ස්වභාවයක් හා රැලි වැටුණු ගතියක් දක්නට ලැබේ. එම නිසා හොඳින් ජලය පානය කර විජලනය වළක්වා ගැනීමෙන් ගැබිනි මවට එම තත්ත්වය පාලනය කල හැකි වේ. එසේම ගැබිනි සමයේ හිසකෙස් ගැලවී යාම, කැඩි යාම විශාල ලෙස සිදුවේ. හොඳින් ජලය පානය කිරිම මඟින් දීප්තිමත් කොණ්ඩයක් හිමි වේ.

මුත්‍රා ගල් සහ මුත්‍රාශයේ ආසාදන වැලැක්වීම සඳහා අවදි වුණු වහාම ජලය පානය කළ යුතු වේ. එයින් උදරයේ ඇති හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය වැනි අම්ලකාරි තත්ත්වයන් තනුක කරලන නිසා වකුගඩුවල ගල් ඇතිවීම වළකී. එසේම නිතර ජලය පානය කිරීමට පුරුදු වීමෙන් විවිධ අහිතකර ද්‍රව්‍ය නිසා මුත්‍රාශයේ ඇතිවිය හැකි ආසාදන තත්ත්වයන් මඟහැරේ. පසුකාලයේ සිදුකීරිමට වන සැත්කම් රාශියක් මින් වළක්වාගත හැකිය. මුලින් සඳහන් කළ පරිදි සිරුරෙන් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ජලය නිසා එහි ක්‍රියාකාරිත්වයට ජලය අවශ්‍ය වේ.

එම නිසා ගැබිනි මවට ජලය පානය කිරිමට අවශ්‍ය වු විට කුමන අවස්ථාවක දි වුවත් පැණි බීම බෝතලයක් වෙනුවට ජලය පානයට ඉඩ සැලසිය යුතුය

ආයුර්වේද වෛද්‍ය
සජිත් චතුරංග අක්මීමන

සටහන අරුණි ජයසේකර