free stats

ගර්භණි සමයේ ඇතිවන අක්‍රමවත් මුත්‍රා පිටවීම් ගැන ඔබත් කනස්සල්ලෙන් ද ?

  1. ගැබිනි සමයේ කාන්තාවන්ට මුත්‍රා පිටවීමේ විශේෂ වෙනසක් සිදුවෙනවද?

ගර්භණී කාලයේ මුත්‍ර පිටවීම සම්බන්ධයෙන් මව්වරුන්ට සුලබ ප්‍රශ්න කිහිපයක් ඇතිවනවා. මේ තත්ත්වය ආසන්න වශයෙන් මව්වරුන්ගෙන් 50% පමණ ප්‍රමාණයකගේ දකින්න පුලුවන්. ඒ වගේම මෙය සාමාන්‍ය තත්ත්වයක්. කැස්ස සමඟ හෝ සිනාසෙන විට මුත්‍රා පිටවීම, කිවිසුම් යනවිට මුත්‍රා පිටවීම, නොදැනුවත්ව මුත්‍රා පිටවීම, නිතර නිතර මුත්‍රා පිටවීම, මුත්‍රා පිටකිරීමට නිතර අවශ්‍ය වීම, මුත්‍රා වැඩි ප්‍රමාණයක් පිටවීම, වැනි තත්ත්වයන් දකින්න පුළුවන්. මුත්‍රා සම්බන්ධ ගැටලුවක් ඇතිවුණාම එයින් කාන්තාවන් බොහොම අපහසුතාවයට පත්වනවා. මුත්‍රා මාර්ගයේ පිහිටීම හා කෙටි බව නිසා නොදැනුවත්ව මුත්‍රා පිටවීම වැනි අවස්ථාවක දී පිරිමි අයට වගේ කාන්තාවන්ට මුත්‍රා පිටවීම පාලනය කරන්න අමාරුයි.

  1. මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතු මොනවාද?

දරු ගැබ විශාල වීම නිසා මුත්‍රාශය තද වීම මෙයට එක් හේතුවක්. මුත්‍රාශය පිහිටන්නේ දරු ගැබට පහලින් නිසා දරු ගැබ විශාල වන විට මුත්‍රාශයට එහි පීඩනය දැනෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවනවා සේ දැනෙන්න පුළුවන්. ඒ වගේම කුස තුළ සිටින දරුවාගේ බර වැඩි නිසා එය ශ්‍රෝණි මේකලාවේ මාංශමය පටක කොටසට දැනෙනවා. මේ මාංශමය පටක කොටසින් සිදුකරන්නේ මුත්‍රා පිටකිරීමේ ක්‍රමවේදය පාලනය කිරීමයි. ඒ නිසා දරුවා ගේ පීඩනය හේතුවෙන් මුත්‍රාශය තද වීම නිසා නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඇතිවනවා.

  1. මෙලෙස මුත්‍රා කිරීමේ වෙනසක් ඇතිවීමට බලපාන වෙනත් හේතු මොනවාද?

ගර්භණී සමයේ එන දියවැඩියාව මේ සඳහා බලපාන තවත් හේතුවක්. මෙහිදි මුත්‍රා පිට කිරීමේ ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ත්වයේ දී වැඩි මුත්‍රා ප්‍රමාණයක් පිටනොවුණත් දියවැඩියා තත්ත්වයක දී පිටවන මුත්‍රා ප්‍රමාණය වෙනස් වනවා. එහිදි වැඩි මුත්‍රා ප්‍රමාණයක් නිතර නිතර පිටවෙන්න පුළුවන්. එයට හේතුව නිතර නිතර මුත්‍රාශය පිරීම. ඒ වගේම දියවැඩියාව තිබෙන අයට නිතර වතුර පිපාසය ඇතිවෙනවා.

  1. මුත්‍රා ආසාදනවලින් මේ තත්ත්වය වෙන්කර හඳුනාගන්නේ කොහොමද?

මුත්‍රා ආසාදනවලදී මේ ලක්‍ෂණ මතුවෙන්න පුලුවන්. නමුත් ගර්භණී සමයේ සුලභ මුත්‍රා වෙනස්කම් ඇතිවන නිසා අම්මලාට මේ තත්ත්ව දෙක අතර වෙනස හඳුනාගන්න අමාරුයි. ගර්භණී සමයේ මුත්‍රා ආසදන කියන්නේ සුලබ රෝගී තත්ත්වයක්. මුත්‍රා ආසාදනය වඩාත් නරක නම් උණ ගතිය ඇතිවෙනවා. ඒ සමඟම මුත්‍රා දැවිල්ල, නිසි ලෙස මුත්‍රා පිටනොවීම, මුත්‍රා පිටකලත් නිසි පරිදි මුත්‍රා පිට නොවුණු බව දැනීම ආදී ලක්‍ෂණ මතුවෙනවා. ඒ වගේම වෙනත් රෝග ලක්‍ෂණ නැතිව වුණත් මුත්‍රා ආසාදන එන්න පුළුවන්. ගර්භණි සමයේ මුත්‍රා පරීක්‍ෂාවක් සිදුකරන්නේ මේ නිසයි.

  1. යම් දියර පිටවීමක් සිදුවන්නේ මුත්‍රා පිටවීමක දී පමණ ද?

උල්බ තරලය පිටවීම සමහර අවස්ථාවල මව්වරුන් මුත්‍රා පිටවීම ලෙස වරදවා වටහා ගන්නවා. නමුත් මෙහිදි දියරයේ ලක්‍ෂණ අනුව වෙනස හඳුනාගන්න පුළුවන්. වෝටර් බෑගයට හානි වී උල්බ තරලය පිටවෙනවා නම් ඒවා කැබලි වශයෙන් යට ඇඳුමේ දකින්න ලැබෙනවා. ඒවා ගන්ධයෙන් තොරයි.

  1. මේ තත්ත්වය වළක්වාගන්නේ කොහොමද?
    රෝග තත්ත්වයක් නිසා නොවුණත් මේ තත්ත්වය නිසා කාන්තාවන්ට සමාජීය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය වළක්වාගන්න කළ යුතු හොඳම දේ වෙන්නේ තේ සහ කෝපි පානයෙන් වැළකීමයි. මේ නිසා තත්ත්වයේ දරුණු බව යම්තාක් දුරකට හෝ අඩුකරගන්න පුළුවන්. ඒ වගේම නිතර නිතර තේ කෝපි පානය රුධිරයේ සීනි වැඩි කරන්නත්, යකඩ උරාගැනීමේ ගැටළු ඇති කරන්නත් හේතු වෙනවා.
  2. ප්‍රසූතියෙන් පසුවත් දිගින් දිගටම මේ තත්ත්වය පැවතුනොත් මොකද කරන්නේ?

එවිට ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්න සිදුවෙනවා. ප්‍රසුතියෙන් පසුව පවතිනවා නම් එයට හේතුව වෙන්නේ මුත්‍රාශ මුඛයේ තිබෙන කපාටයකට හානි සිදුවීම. මේ නිසා මුත්‍රා පාලනය අපහසු වෙනවා. මේ තත්ත්වය ඇතිවෙන්නේ අමාරු ප්‍රසවයකට පස්සේ. දරුවා බිහිවීමේ දී වැඩි වේදනාවක් දැනුනා නම් අධික තෙරපුමක් සිදුවුණා නම්, මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

  1. ගර්භණී සමයේ ඇතිවන අසාමාන්‍යතාවය සාමාන්‍ය තත්ත්වය පත්වෙනවද?

ඔව් මේ තත්ත්වයට හේතුව දරු පිළිසිඳ ගැනීමෙන් උදර විශාල වීම නිසා එන පීඩනය. දරුවා ලැබීමෙන් පස්සේ මේ තත්ත්වය ඉවත් වන නිසා මුත්‍රා පිටවීමේ විශේෂතා සියල්ල ක්‍රමවත් වෙනවා.

විශේෂඥ වෛද්‍ය
අශෝක කරුණානන්ද

සටහන චාපා හංසිනි ආටිගල