free stats
  1. නිරක්තිය යනුවෙන් හඳුන්වන්නේ මොන විදියේ රෝගී තත්ත්වයක්ද?

සිරුරට අවශ්‍ය ඔක්සිජන් පරිවහනය සිදුවන්නේ රුධිරයේ තිබෙන හිමොග්ලොබීන් මඟින්. ඒ සඳහා රුධිරයේ හිමොග්ලොබීන් අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතුයි. ඒ අනුව හිමොග්ලොබීන් අඩුවීම රක්තහීනතාවය හෙවත් නීරක්තිය විදියට හඳුන්වනවා. වයස අනුව ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. ගර්භණි සමයේදී රුධිරයේ උකුගතිය අවම වෙලා දියාරු ගතියක් ඇතිවෙන නිසා හිමොග්ලොබීන් මට්ටම අඩුවෙන් පෙන්වන්න පුළුවන්. එයින් මවට ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. නමුත් රුධිරය මිලිලීටරයක ග්‍රෑම් 11 ට වඩා හිමොග්ලොබීන් පහල මට්ටමට තිබෙනවා නම් එය නිරක්තිය තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්.

  1. නිරක්ති තත්ත්වය ඇතිවීමට බලපාන හේතු මොනවද?

නිරක්තිය ඇතිවෙන්නේ සිරුරේ තිබිය යුතු රුධිර ප්‍රමාණය අඩුවුණාමයි. මේ සඳහා බලපාන හේතු තුනක් තිබෙනවා. එක්කො රුධිරයේ සංඝටක මදිවීම, රුධිරය නිපදවන ඇට මිඳුළුවල ඇතිවන ප්‍රශ්න, පෙනි පෙනි හෝ නොපෙනි සිදුවන අනවශ්‍ය රුධිර වහනය. මෙහිදි පෙනි පෙනි සිදුවන රුධිර වහනය ලෙස අධිකව සිදුවන ආර්තවය සහ නොපෙනි සිදුවන රුධිරවහනය ලෙස සිරුර අභ්‍යන්තරයේ බඩවැල් අතර සිදුවන රුධිර වහනය පෙන්වා දෙන්න පුළුවන්. මෙයින් බඩවැල් අතර සිදුවන රුධිරම වහනය ප්‍රධානයි. එයින් බඩවැල වෙත යන රුධිරය ජීර්ණය වීම සිදුවෙනවා.

  1. හඳුනාගන්නේ කොහොමද?

කෙනෙකුට මේ තත්ත්වය හඳුනාගන්න ලැබෙන්නේ රෝගය හුඟක් දුරදිග ගියාට පස්සේ. පුද්ගලයෙක් රුධිරය දන් දීමේදි රුධිරය පයින්ට් එකක ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්. එයට හේතුව එවැනි ප්‍රමාණයක් දුන්නත් ඒ අඩුව සම්පූර්ණ කරන්න තරම් රුධිරය අපේ සිරුරේ තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරය තිබෙනවා. නමුත් රුධිරය විශාල ලෙස අඩුවුණාම ඒ කියන්නේ හිමොග්ලොබීන් ප්‍රමාණය ග්‍රෑම් 7 -8 අඩු වුණාම කෙඩෙත්තුව, පපුවේ මහන්සිය, කාන්සිය, පපුව ගැහෙන තත්ත්වය ඇතිවෙනවා. පොඩි වැඩක් කලත් අධික මහන්සියක් දැනෙන්න පුළුවන්. නමුත් වේදනාවක් නොදැනෙන නිසා බොහො දෙනෙක් ගණන් ගන්නේ නැහැ.

  1. මේ තත්ත්වය අවධානම් වෙන්නේ මොන විදියටද?

රුධිරයේ හිමොග්ලොබීන් ප්‍රමාණවත් නැති නිසා ඔක්සිජන් පරිවහනය නිසි ලෙස සිදුවෙන්නේ නැහැ. ඒ හේතුවෙන් හෘදය වස්තුවට වැඩියෙන් වැඩ කරන්නට සිදුවෙනවා. මෙයින් හෘදය වස්තුව විශාල වෙලා එයට හානි වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරය අඩුවීමේ හේතුව අනුවත් රෝගයේ අවධානම වැඩි වෙනවා. ඇට මිදුළුවල ඇතිවෙන රෝග තත්ත්ව, ලියුකේමියාව වැනි රෝග තත්ත්ව නිසා රුධිරය අඩුවුණා නම් අවධානම වැඩියි.

  1. ගර්භණී මවකට මේ තත්ත්වය බලපාන්නේ කොහොමද?

ගර්භණී කාලෙදි මේ තත්ත්වය වෙනස් වෙනවා. මේ කාලෙදි හදිසි රුධිර වහනයක් සිදුවෙන්න පුළුවන්. ගර්භණී වීමේදී, ගර්භණී කාලය අතරතුරදි වගේම දරු ප්‍රසූතියෙදී මේ රුධිර වහනයන් සිදුවෙනවා. එවැනි අවස්ථාවක මවට මරාන්තික තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මුල් කාලයේ ඉදලම නිරක්තියට ගොඳුරු වුණු කෙනෙක් නම් එයින් මවට ඇතිවන බලපෑම වැඩියි. මේ නිසා මරණයට පත්වෙන්නත් ඉඩ තිබෙනවා. එවැනි කාන්තාවක් මව්පදවියට කලින්ම රෝග තත්ත්වය හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් සුදුසුයි.

  1. දරු ගැබට මෙයින් අනිසි බලපෑමක් ඇතිවෙනවද?

ගොඩක් අය හිතනවා බබාට අම්මාගේ රුධිරය ලැබෙන නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවෙනවා කියලා. නමුත් ඒ සඳහා මවට තිබෙන රුධිරය ප්‍රමාණවත්. ඒ වගේම බබාට අවශ්‍ය හිමොග්ලොබින් එයාගේ සිරුරේ නිෂ්පාදනය වෙනවා. ඒ නිසා බබාට හානියක් වෙන්නේ නැහැ. බබාට ප්‍රමාණයෙන් කුඩා වෙන්නෙත් නැහැ. බබාට බලපාන තරම් රෝගය බරපතල වෙන්නට පෙර මවට එයින් හානි සිදුවෙනවා.

  1. මෙය ප්‍රවේණී රෝගයක් ලෙස දරුවාටත් ඇතිවෙන්න පුළුවන්ද?

ගැටළුව තිබෙන්නේ ඇට මිඳුළු සම්බන්ධව නම් එය දරුවාට ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලියුකේමියා රෝගී තත්ත්වය මවට තිබෙනවා නම් දරුවාටත් තිබෙනවාද කියලා පරීක්‍ෂා කර බලනවා. ඒ වගේම තයිරොයිඞ් ආශ්‍රිත ගැටළුවක් නිසා රුධිරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වෙනවා නම් පැටියාටත් තයිරොයිඞ් ආබාධ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. දරුවා බිහිවුණු වහාම සිදුකරන පරීක්‍ෂණවලින් ඒ තත්ත්වය හඳුනාගන්න පුළුවන්. මවට තිබෙන තයිරොයිඞ් ඌණතාවය නිසා සමහර විට දරුවා ආබාධිත තත්ත්වය පත්වෙන්න පුළුවන්.

  1. රෝග තත්ත්වය සඳහා ලබාදිය හැකි ප්‍රතිකාර මොනවාද?

රුධිරය අඩු වීමට හේතුවන ප්‍රධාන කාරණා හඳුනාගැනීමකින් තොරව ප්‍රතිකාර ලබාදීමෙන් පලක් නැහැ. රුධිරය වැඩි වීමට ප්‍රතිකාර කරලා පළක් නැහැ. ප්‍රධාන හේතුවට ප්‍රතිකාර නොකලොත් මොනතරම් මහන්සි වුණත් රෝගය සුව කරන්න බැහැ. නමුත් යම් කාන්තාවකට යකඩ ඌණතාවය නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවෙනවා නම් පමණක් ඒ සඳහා පමණක් යකඩ පෙති ලබාදෙන්න පුළුවන්. යකඩ පෙති ගන්නා අවස්ථාවේ තේ හෝ කෝපි පානය කිරිමෙන් යකඩ උරාගැනීමේ ප්‍රමාණය අවම වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. විටමින් සී පෙත්තක් සමඟ යකඩ පෙති ගැනීම වඩාත් සුදුසුයි.

  1. යම් කාන්තාවක් දරු ප්‍රසුතියට පෙර මේ තත්ත්වය හඳුනාගැනීමේ වාසි මොනවාද?

රෝගයට නිසි ප්‍රතිකාර ලැබෙන නිසා මුලින් සඳහන් කල ගර්භණි සමයේ ඇතිවන අවධානම් තත්ත්ව වලින් ගැලවෙන්න පුළුවන්. තයිරොයිඞ් සම්බන්ධ තත්ත්වයක් නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවුණා නම් නිසි ප්‍රතිකාර මඟින් තයිරොයිඞ් ග්‍රන්ථියේ ගැටළුව වළක්වා ගන්නත් අවස්ථාව ලැබෙනවා. මුල් කාලයේ සිටම වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීමෙන් නිරෝගී දරු සම්පතක් ලබාගන්නත් පුළුවන්.

  1. නිර්මාංශ මව්වරුන් නිරක්තියට ගොඳුරු වෙනවද?

නැහැ. මස් මාංශ නැතිවුණත් යකඩ තිබෙන ආහාර ඕන තරම් තියෙනවා. නමුත් මස් මාළු වලින් යකඩ වැඩියෙන් ඉක්මනින් උරාගන්න පුළුවන්. ශාක ආහාරවල තිබෙන යකඩ සංඝටක උරාගැනීම එයට වඩා අපහසුයි. ඒ වුණත් නිර්මාංශ අයට බයවෙන්න දෙයක් නැහැ.