free stats

සෑම විවාහක කාන්තාවකගේම ඊලඟ වටිනා බලාපොරොත්තුව දරු සම්පත ලබාගැනීමයි. ගර්භණී වියේදී මව අවධානය යොමු කල යුතු කරුණු කාරණා රැසක් තිබෙනවා. ඒ අතරින් නින්ද හරි වැදගත් කාරණයක්.  ”‍මට හරියට දැන් නින්ද යන්නෙත් නෑ.”‍,  ”‍ නිදා ගන්න අමාරුයි”‍  මේ වගේ නිදා ගැනීමේ අපහසුතා ගැන ඔබ ස්වාමියා එක්ක එහෙම නැත්තම් මව සමඟ, මිතුරියක් සමග කතා කරනවා ඇති.  නැතිනම්  ඔබ තනිවම සිතනවා වෙන්නත් පුළුවන් . කොහොම වුනත් නින්ද කියන්fුන මිනිස් සිරුරට අත්‍යාවශ්‍යම දෙයක්. ගැබිණි සමයේදී මවට සුව නින්දක් ලබා ගැනීම ඉතා වැදගත්. එහෙත් පවතින ශාරීරික අපහසුතා නිසා ඔබට සුව නින්දක් ලබා ගැනීම ගැටළුකාරී විය හැකියි . ඒ සුව නින්ද ලබා ගන්න අනුගමනය කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රියාමාර්ග ටිකක් ගැන අද ඔබව දැනුවත් කරනවා

     මුලින්ම ඔබේ සුව නින්දට බාධා කරන හේතු මොනවාදැයි කියා දැනගත යුතුයි .

* හුස්ම ගැනීමේදි ඇති වන අපහසු බව.

* කොන්දෙ ඇති වන වේදනාව

* නින්ද නොයාම, මානසික ආතතිය

* උදරය ක්‍රමයෙන් විශාල වීම

* බඩ  පපුවේ ඇති වන දැවිල්ල

ගැබිනි වියේදී පහසු නිදා ගැනීමේ ඉරියව්වක් සොයා ගැනීම තරමක් අපහසුයි. ඊට හේතුව ක්‍රමයෙන් විශාල වන උදරයයි. නමුත් පහසු නින්දක් ලබා ගැනීමට උපකාරී වන ඉරියව් කීපයක් තිබෙනවා.  වෛද්‍ය නිර්දේශය වන්නේ එක් ඇලයකට හැරී නිදා ගැනීම ඉතා සුදුසු බවයි.  උඩු අතට නිදා ගැනීම කිසිසේත් යෝග්‍ය වන්නේ නැහැ. කොන්දෙ වේදනාව , හුස්ම ගැනීමෙ අපහසුතා හා රුධිර පීඩනය වැනි රෝග තත්වයන් ඇතිවීමේ අවධානමක් මේ උඩුබැලි ඉරියව්ව නිසා ඇතිවෙනවා.  මල දරු උපත් සිදුවීමටත් මේ තත්වය බලපෑමක් ඇති කරනවා.

උඩුබැලි අතට නිදා ගැනීමෙන් මවගෙන් දරුවාට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නිසා මවට නැවත රුධිරය සපයන රුධිර  නාලිකා වලට බාධා ඇතිවෙනවා.  මේ ඔක්සිජන් ලැබීමේ අඩු තත්වය නිසා එය දරුවාට මරණය පවා ගෙන ඒමට පුළුවන් . ඒ නිසා වම් හෝ දකුණු ඇලයට හැරී වරින් වර පහසු ලෙස දෙපස මාරු වෙමින් නිදා ගැනීම වඩාත් සුදුසුයි

  සුව නින්දකට මවට වැදගත් වන දේ මොනවාද?

1 ව්‍යායාම

ශාරීරික හා මනසේ ආතතිය , පීඩනය අඩු කිරීමට ව්‍යායාම උපකාරී වෙනවා. ඔබ කැමති ගීතයක් ඇසීම, පොත්, පත්තර කියවීම වගේම ඔබ කැමති මනසට සුවයක් ගෙනෙන ක්‍රියාකාරකම් හරහා මනසට සුවයක්, නිදහසක් ලැබෙනවා . සෘණාත්මක අදහස් දුරු වී යහපත් සිතුවිලි වලින් මනස පුරවා ගෙන ඔබ  නින්දට යන්න .

2 පෝෂ්‍යදායී ආහාර කෑමට එකතු කරගන්න.

එලවළු පලතුරු වර්ග වැඩිපුර කෑමට එකතු කර සමබල ආහාර වේලක් ලබා ගන්න. ක්ෂණික කෑම වර්ග, පිටි, තෙල් අධික ආහාර වලින් ඈත් වී නැවුම් හා ස්වභාවික ආහාර කෑමට ගැනීමෙන් හොඳ නින්දක් ඔබට ලබා ගන්න පුළුවන් .

3 දවල්ට වැඩියෙන් වතුර බොන්න, රෑට අඩු කරන්න.

මේ මගින් රාත්‍රි කා⁣ලයේ වරින් වර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඔබට ඇතිවන්නේ නැහැ. වරින් වර නින්ද කැඩීම ඉන් වැලකෙනවා.

4 උදරයට යටින් මෘදු කොට්ටයක් තබා ගන්න.

මේ මගින් ඔබට ඇතිවන කොන්දෙ වේදනාව අවම කර ගැනීමට පුළුවන් .මෙහිදී දණ හිස ප්‍රදේශයටත් කොට්ටයක් අවශ්‍ය නම් තබා ගත හැකියි. මේ තුලින් නිදා ගන්නා ඉරියව්ව සඳහා මනා පහසුවක් ඇති කරනවා.

5  දහවල් කෙටි නින්දක් ලබා ගන්න.

වරින් වර රාත්‍රියට ඔබ ඇහැරෙනවා නම් සුව නින්දට එය බාධාවක්. මේ නිසා දහවල් කාලයේදී කෙටි වෙලාවක් නිදා ගැනීමෙන් රාත්‍රියේ ඔබගේ නින්දට බාධා වීමෙන් ඇතිවන වෙහෙසකර නිදිමත ගතිය මගහැරේවි.

ගැබිනි වියේ ඉන්න ඔබට වගේම කුසේ ඉන්න දරු පැටියාටත් ඔබේ නින්ද වැදගත් නිසා මේ කියා දුන් පුංචි පුංචි පියවර අත්හදා බලන්න. ඔබට සුව නින්දක් ලබා ගන්න මේ දේවල් මනා පිටිවහලක් වනු ඇති.

T.C නිශාන්ති මෙනවිය
පල්ලෙකැලේ පවුල් සෞඛ්‍ය නිලධාරිනි,
පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

සටහන   කුමුදිකා ඩී. සපුතන්ත්‍රි