free stats

අලුත් බබෙක් ආවාම හැමදේම වෙනස් වෙනවා. ඔයාලා අම්මලා තාත්තලා වෙන්නෙ පළවෙනි වතාවට නම් මේ තත්ත්වය තවත් වෙනස්. අත්දැකීමක් නැතිව ජීවිතේ පළවෙනි වතාවට අම්මෙක් තාත්තෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. නෑදෑයන්ගේ, යලුවන්ගේ, සහෝදර සහෝදරයන්ගේ බබාලා බලාගෙන තිබුනට, නලවලා තිබුනට, වඩාගෙන තිබුණට තමන්ගේ අතට මුලින්ම දරුවෙක් ලැබුනාම ඔය කිසිම දෙයක් අදාළ වෙන්නේ නෑ.

අංක එකටම ඔයාලා සෑහෙන්න බය වෙනවා.

ඒ නිසා අද ලිපියෙන් කතා කරන්නේ අලුත් අම්මලා තාත්තලා ගැන…

බබා බලාගන්න හැටි…

ප්‍රධානම දේ තමයි බබා බලා ගන්නේ කොහොමද කියන එක. බබා බලාගන්නවා නම් ඔයා ඔයාව බලාගන්නත් උනන්දු වෙන්න ඕන. ඔයාව අමතක කරලා බබාව විතරක් බලාගන්න බෑ. අම්ම තාත්තගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් උදව් ලැබුණට කමක් නැහැ. අපිට මේ වෙලාවේ එයාලව අතාරින්නත් බෑ. අනිත් එක එයාලගේ අත්දැකීම් අපිට සමහර වෙලාවට වැදගත් වෙනව.

අත්දැකීම් දෙන්න ගියාම එයාලා සමහර වෙලාවට ඔයාගේ හිත රිදෙන විදිහට උපදෙස් උනත් දෙන්න පුළුවන්. ඒ වගේ ගැටලුවලටත් සාමකාමීව මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕනේ.

බබාව නීරෝගීව තියා ගන්නේ එක ඉතාම වැදගත් කාරණාවක්. එයාගේ වයසට අදාළ සියලු එන්නත් ලබාදීම අනිවාර්යයි. හැබැයි ඔයාට කාගෙවත් උදව් ඕන නෑ මේක තනියෙන් කරගන්න පුළුවන් කියල හිතෙනවා නම්, උදව් ඕන නෑ කියලා කිව්වට කමක් නෑ.

බබාව හරියට හසුරවන්නෙ කොහොමද?

එයාව අල්ලන්න කලින් හැම වෙලාවෙම අත් දෙක පිරිසිදුවට තියාගන්න. අලුත උපන් බබාලට ශක්තිමත් ප්‍රතිශක්තිකරන පද්ධතියක් නැහැ. ඒ නිසා එයාලා වයිරස් සහ බැක්ටීරියා වලට නිරාවරණය වීමේ විශාල අවධානමක් තියෙනවා.

බබා වඩා ගන්නකොට, එයාගේ හිසට සහ බෙල්ලට අත්තියලා හොඳ සහයක් ලබාදෙන්න ඕන. කිසිම වෙලාවක එයාගේ බෙල්ල කඩාගෙන වැටෙන්න බෑ. ඒ වගේම පිටුපසට සහ පිටට අත තියලා හොඳ සපෝට් එකක් දෙන්න ඕනේ.

බබාව හොල්ලන්න හොඳ නෑ. සමහර අය බබාව නලවනවා කියලා කරන්නේ එයාව හොලවන එක. එහෙම හෙල වෙද්දී එයින් මොළයට හානි වෙන්න පුළුවන්. බබාව ඇහැරවන්න ඕන නම් එයාව හොල්ලන්න එපා.

බබත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

එයා එක්ක නිතරම කතා කරන්න. බබාට කතා කරන්න බැරි බව ඇත්ත. ඒත් එයා එක්ක කතා කරද්දි හිනා වෙද්දි එයා ඔයාව අඳුනගන්නවා. මේ විතරක් නෙමේ ස්පර්ශය හරිම වැදගත්. අම්මගෙ සමට බබාගේ සම ස්පර්ශ වීම එයාට ලොකු ආරක්ෂිත හැඟීමක් ඇති කරන්න හේතුවක්. මව්කිරි දෙන වෙලාවට බබාව හොඳට පපුවට තුරුලු කරගන්න. එතකොට එයාට ලොකු සනීපයක් එක්ක අම්මා පිළිබඳව හැඟීමක් ඇතිවෙනවා.

මේ වගේ වෙලාවට සැර සුවඳ විලවුන් වර්ග, බබාට අහිතකර ක්‍රිම් වර්ග ගල්වන්න එපා.

හොඳ සුවපහසු පුටුවක වාඩිවෙන්න. පුටුවක නැති උනත් කමක් නැහැ ඔයාට පහසු විදියට ඉඳගන්න.

බබා එක්ක කතා කරන්න, එයාට ලස්සන සින්දුවක් කියන්න, එයා එක්ක හිනාවෙන්න, පුංචි කතන්දරයක් කියන්න.. එතකොට බබා නිකන් ම ඔයාට සමීප වෙනවා.

පෙකනි වැල…

බබාගේ පෙකණිවැල එයා ඉපදිලා සතියක් ඇතුලත අයින් වෙනවා. උණුකර නිවා ගත් පිරිසිදු වතුරෙන් එයාගේ පෙකනි වැලේ තෙත මාත්තු කරාට කමක් නැහැ. පෙකණිවැලේ වර්ණය කහපාටින් ගුරු පාටට හැරිලා කළු පැහැ වීම සාමාන්‍යයි. නමුත් රතු පාට වෙලා, ඉදිමිලා, සාරයක් ගලනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා.