free stats

පරිකල්පන ශක්තියෙන් යුතු දරුවෙක් තනන හැටි

පරිකල්පන ශක්තිය දියුණු වන අයුරින් දරුවන්ට කතන්දර කීම වැදගත් වන්නේ ඇයි?

පරම්පරාවන් ගණනාවක් තිස්සේ නින්දට යාමට පෙර දරුවන්ට කතන්දර කීමේ සුන්දර සම්ප්‍රදායක් පවතිනවා. මෙය දරුවා නින්දට යනතුරු කාලය ගතකිරීම සඳහා පවතින හුදු උපක්‍රමයක් පමණක් නොවෙයි. දරුවාගේ සංජානනීය, චිත්තවේගීය හා සමාජයීය සංවර්ධනය පිණිස මහත් කාර්‍යභාරයක් ඒ තුළින් ඉටුවෙනවා. සාමාන්‍යයෙන් දිනය තුළ දරුවා ඔබ සමග ගතකරන මොහොතවලින්, වඩාත් ප්‍රීතිමත් අවස්ථාවක් ලෙස “කතන්දර අසන වේලාව” සලකන්නට පුලුවන්. මෙම ක්‍රියාවලිය දරුවා තුළ පාලුව, කාංසිය, තනිකම වැනි ඍණාත්මක චිත්තවේගයන් ඉවත්වීමට හේතුවන අතර, සතුට, ප්‍රීතිය, සුරක්ෂිත බව පිළිබඳ හැඟීම වැනි ධනාත්මක චිත්තවේගයන් වර්ධනය සඳහා උපකාරී වෙයි. නාට්‍යානුසාරයෙන් කතන්දර රඟදැක්වීම, දරුවන්ට වඩාත් රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි අපූරු උපක්‍රමයක්. කතන්දරයේ සඳහන් චරිත අනුව කටහඬ වෙනස් කිරීම, සුළු වශයෙන් හෝ නාට්‍යානුසාරයෙන් රඟදැක්වීම, අවස්ථානෝචිතව හඬ උස්-පහත් කිරීම, මුහුණේ ඉරියව් වෙනස් කරමින් කතන්දරය විස්තර කිරීම මේ සඳහා අනුගමනය කරන්නට පුළුවන්. කතන්දර කීම තුළින් ලැබෙන ප්‍රතිලාභ පහත පරිදි පෙළගස්වන්නට හැකියි.

  1. මාපිය-දූදරු සබඳතාව ශක්තිමත් වීම.

“කතන්දර කීම” දරුවාටත්, මාපිය/වැඩිහිටි ඔබටත් ඉතා සුන්දර අත්දැකීමක්. දරුවන් උස්මහත් වූ කාලයක පවා ඔබ දෙපාර්ශවයටම ආවර්ජනය කළහැකි මිහිරැති මතකයක්. මෙම අත්දැකීම, දරුවාටත් ඔබටත් එකිනෙකා වෙනුවෙන් අවධානය යොමුවන කාලයක් ගත කිරීමට අවස්ථාව සලසනවා. ඔබේ කාර්‍යබහුල දෛනික ජීවිතයේ දරුවා වෙනුවෙන් වෙන්කෙරෙන සාපේක්ෂව “කුඩා” කාල ප්‍රාන්තරය පවා “ගුණාත්මක” බවින් වැඩි එකක් බවට පත්කරන්නට මේ අගනා පුරුද්ද හේතුවෙනවා.

  1. දරුවාගේ පරිකල්පනය හා නිර්මාණශීලිත්වය දියුණු වීම.

“කතන්දර” ඔබේ දරුවාගේ පරිකල්පනය හා නිර්මාණශීලිත්වය ඉතා තියුණු ලෙස මුවහත් කරනවා. මෙම කුසලතාවන් අද සමාජයේ බොහෝ සෙයින් විරල හෙයින් දරුවා තුළ මේවා වර්ධනය කරලීම, පසුකාලීනව ඔවුන්ට බොහෝසෙයින් වාසිදායක වනවා. ඔබ කතන්දරයක් කියන විට දරුවා ඊට අදාළ චිත්තරූප මැවීමට නිතැතින්ම පෙළඹෙනවා. මීට අමතරව, යම් කතන්දරයක් එක්තරා සීමාවක් දක්වා දරුවාට පවසා එහි අවසානය කෙබඳු වන්නට ඇත්දැයි, දරුවාගෙන් විමසන්නට පුලුවන්. එවිට දරුවා විවිධාකාරයේ අවසානයන් ඔබට ඉදිරිපත් කරනු ඇති. මෙය දරුවාගේ නිර්මාණශීලිත්වය වර්ධනය කිරීමෙහිලා බොහෝසෙයින් උපකාරී වනු ඇති.

  1. භාෂා හා සන්නිවේදන කුසලතාවන් සංවර්ධනය වීම.

කතන්දරවලට සවන්දීම, දරුවාව අලුත් වචන, වාක්‍ය රටා හා ප්‍රකාශනයන්ට නිරාවරණය කරනවා. ඒ තුළින් දරුවා ඉගෙන ගන්නවා. දරුවාගේ භාෂා හා සන්නිවේදන කුසලතාවන් වැඩෙනවා. කාලයත් සමග දරුවාගේ වචන මාලාව දියුණු වනු දැකිය හැකියි. දරුවා නිසි වයසට පැමිණි පසු කියවීම සඳහා පොත් ගෙනැවිත් දෙන්න. දරුවා කියවීමට හුරුකරන්න. සිංහල මෙන්ම ඉංග්‍රීසි පොත්පත්ද කුඩා කාලයේ සිටම දරුවාට සමීප කරවන්න. හැකිනම්, පුස්තකාලයක සාමාජිකත්වය දරුවාට ලබාදෙන්න. පොතපතින් උගත හැකි සුවිසල් ලෝකයක් පවතිනවා. එය ටිකෙන් ටික, සුදුසු පරිදි, දරුවාට නිරාවරණය කරන්න. මේ සඳහා අඩිතාලම සපයනුයේ “කතන්දර කීම” යි.

  1. ජීවිතයට අගනා පාඩම් හා වටිනාකම් ඉගෙන ගැනීම.

කතන්දර තුළ බොහෝවිට අර්ථාන්විත පණිවිඩයක් අන්තර්ගත වෙනවා. ඒවා ජීවිතයට උකහා ගත හැකි අගනා පාඩම්ද වනවා. කතන්දර තුළින් ජීවිත වටිනාකම් ගොඩනගනවා. සාර්ධර්ම, යහගුණදම්, යහපත් බව පිළිබඳ ආදර්ශය ගොඩනැගෙන කතා තෝරාගෙන ඒවා දරුවාට ඉදිරිපත් කරන්න. හොඳ-නරක වෙන්කරගැනීම සඳහා කුඩා අවධියේදීම, මූලික මගපෙන්වීමක් කතන්දර තුළින් දරුවාට කෙරෙනු ඇති.

  1. චිත්තවේගීය බුද්ධිය ගොඩනැංවීම.

කතන්දර තුළ එන චරිත වටහාගැනීමට දරුවා නිතැතින්ම පෙළඹෙනවා. කතන්දරය තුළදී එකී චරිතවල හැඟීම්, සිතුම්-පැතුම් හා ඔවුන් විඳින අත්දැකීම් කෙරෙහි සංවේදී වන්නට දරුවාව උනන්දු කෙරෙනවා. සහකම්පනය, අනෙකා පිළිබඳව සංවේදී වීම, අනෙකාව දැනීම වැනි චිත්තවේගීය බුද්ධියට අදාළ කලාපයන් වර්ධනය කරලීමෙහිලා කතන්දර තුළින් කෙරෙන බලපෑම සුළුපටු නැහැ. මෙම කුසලතාවන් වර්ධනය කරගත් දරුවාට අනෙකා සමග කටයුතු කිරීම අපහසු නැහැ. එනිසා “කතන්දර කීම” දරුවාගේ සමාජයීය කුසලතාවන් වර්ධනය සඳහාද දායකත්වය සපයනවා.

  1. සෞඛ්‍ය සම්පන්න නින්දට යාමේ පුරුද්දක් ස්ථාපිත වීම.

“නින්ද” පුද්ගලයෙකුට අත්‍යාවශ්‍යයි. පමණට වඩා නිදාගැනීම මෙන්ම, නිදිවැරීමත් (නිදානොගෙන සිටීම) අහිතකරයි. කතන්දර අසමින් නින්දට යාම දරුවාව නිරෝගී නින්දට යාමේ පුරුද්දකට යොමු කරනවා. කතන්දර ඇසීමේ වෙලාව එළඹෙනවා යනු, තවත් මඳ වේලාවකින් තමා නින්දට යායුතු බව අවිඥානිකව දරුවාට සන්නිවේදනය වනවා. එපමණක් නොව, කතන්දර අසමින්ම නින්දට යාම, දරුවාගේ පරිකල්පන ශක්තීන් අවදි කිරීමට හේතුවක්.

මේ අනුව සලකා බැලීමේදී, “කතන්දර කීම” දරුවා මත කරනු ලබන සුබවාදී බලපෑම සැලකියයුතු ලෙස විශාලයි. කතන්දර තෝරාගැනීමේදී, එහි අවසානය සුබවාදීද, සතුටුදායකද හා දරුවාගේ අවබෝධයට උචිතද යන කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න. තවද, “කතන්දර කීම” ජීවිත කාලය පුරාවට ඔබටත්, දරුවාටත් එකතුවන අපූරු මිහිරැති මතකයක්. ඉතින්, නින්දට යාමට පෙරාතුව, දරුවාව ඔබට තුරුලු කරගෙන කතන්දර කීම පුරුද්දක් කරගන්න.

වෛද්‍ය අරුණි ලියනමාන.