දරුවෙක් නිවැරදිව සමාජ ගත කරන්නේ කොහොමද කියන කාරණය අපි හිතනවට වඩා බරපතලයි. මෙහෙම කියන්න බලපාන කාරණා කීපයක්ම තියෙනවා. අද සමාජය එක්ක කතා කරද්දී මේ කාරණා මත කරන්න වෙන්නේ සමහර උදාහරණ එක්කමයි. එක වතාවක් මිතුරිය ක් කියපු අපූරු කතාවකින් ලිපිය ආරම්භ කරන්න හිතුවේ ඒ නිසා.
” දවසක් මම කෝච්චියේ එනකොට එක පවුලක් ආවා. එයාලා එක්ක පොඩි දුවක් හිටියා. මේ කට්ටියම හිටියේ හිටගෙන. එයාලගේ අතේ ගොඩක් බෑග් එහෙම තිබුණා. මමත් උදවූවක් විධියට බෑග් කීපයක් ගත්තා. ඒ අතරේ ඒ දුවගේ අම්මා කියලා හිතන්න පුළුවන් කාන්තාව එතන ජනෙලේ අයිනෙ වාඩ් වෙලා හිටිය තරුණ පිරිමි ළමයා පෙන්නලා කිව්වා “පුතේ අර මාමාගේ ඔඩොක්කුවේ වාඩි වෙන්න කියලා”
ඇත්ත ට ම ඒ පිරිමි ළමයා හරිම හොඳ කෙනෙක්. එයා ඒ ගැහැණු ළමයාගේ අතින්වත් අල්ලාගත්තේ නෑ.
ටික වෙලාවකින් ඒ පවුලේ අයට අනිත් පැත්තේ සීට් හම්බුනා. හැබැයි එයාලා අර දුවට කතා කාලේ නෑ එයාලා ලඟට එන්න කියලා. එයා බහිනකල්ම හිටියේ අර පිරිමි ළමයා ගාව.
මට ඒ සිද්ධිය හරි අමුතුයි. ඒ පිරිමි ළමයා හොඳ වෙන්න පුළුවන්. එකේ කතාවක් නෑ. හැබැයි ඕන මිනිහෙක් ගේ ඔඩොක්කුවෙ ගිහින් වාඩි වෙන එක හරිම සාමාන්‍ය දෙයක් කියලා අර දුවට හිතෙයි කියලා හිතෙනකොට මට ඒ ගැන ලොකු දුකක් දැනුනා. “
මේ කතාව ඇහුවා ට පස්සේ අපිට මතක් වෙන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ළමා ලිංගික අපචාර. මේවා සිදුවෙන්නෙ ගොඩක් වෙලාවට එහෙම දෙයක් කරන්නේ නැතිවෙයි කියලා අපි හිතන සමාජයෙන් වීම හරිම අභාග්‍ය සම්පන්නයි. විශේෂයෙන් ඉතාම සමීප නෑයින් අතින් තමයි දරුවන් කායික,මානසික හා වාචික අපචාරයට ලක් වෙන්නේ.
දරුවෝ කියන්නේ ඕනම කාරණයක් දෙපාරක් නොහිතා වැළඳගන්න පිරිසක්. ඒ නිසා තමයි හැමතිස්සෙම එයාලට වගකීමක් සහිත කෙනෙකුගේ ආරක්ෂාව ඕන වෙන්නේ. මෙන්න මේ කාරණාව ටිකක් බැහැර වුණාට පස්සේ දරුවන් සමහර විට නැවත හරවන්න බැරි විධියට ඉතාම දරුණු ආකාරයේ සමාජ ගොදුරු බවට පත් වෙනවා.
“පුතේ අර මාමාට කිස් එකක් දෙන්න”
“කෝ flying kiss එකක් දෙන්න”
වගේ දේවල් සාමාන්‍ය වුණාට ඒ ඔයාගේ පැත්තෙන් විතරයි. සමහර විට දරුවෙක් බිලිගන්න බලාගෙන ඉන්න මානසික රෝගියෙකුට ඒ එක සිප ගැනීම, එහෙමත් නැත්නම් අර flying kiss එක විතරක් ප්‍රමාණවත්. සමහර විට දරුවාත් මීට කලින් ඔහුව සිපගෙන තියෙන නිසා flying kiss දීලා තියෙන නිසා එතනින් එහා ට සිදුවෙන හානිය සාමාන්‍ය කරණය වෙන්න පුළුවන්.
“අම්මේ අර අංකල් මට kiss එකක් දුන්නා” කියලා එයා නොකියා ඉන්න තියෙන ඉඩ තියෙනවා. මොකද එයාට මේ අත්දැකීම හුරු නිසා.
අන්න ඒ නිසා සමහර දේවල් අපි දරුවන්ට හුරු කරද්දී අපි ජීවත් වෙන සමාජය ගැන, අහන්න දකින්න තියෙන දේවල් ගැන, වඟවිභාගයකින් තොරව හැසිරීම හරිම භයානකයි. දැන් තියෙන තාක්ෂණික සමාජයත් එක්ක කායික, වාචික හානි විතරක් නෙවෙයි ඒවා සමාජගත වීමේ හැකියාවත් ඉතාම ඉහළයි. ඒ වගේම විවිධ වීඩියෝ දර්ශන, ඡායාරූප මගින් දරුවන්ව වරද ට පොළඹවා ගන්න තියෙන ඉඩකඩත් ඉතාම වැඩියි.
ඒ නිසා ඔයාගේ දරුවාට, එයා දුවෙක් ද පුතෙක් ද කියන එක නෙවෙයි කවුරු වුණත්, එයාට වැරදි ස්පර්ශයන් ගැන කියලා දෙන්න, හැම කෙනාම වඩාගන්න හැම කෙනාම සිපගන්න දරුවෙක් නොවී අම්මා තාත්තා හෝ ඉතාම සමීප පවුලේ අය සමග පමණක් හැදෙන්න ඉඩ දෙන්න. තමන්ට සාමාන්‍ය නෑ කියලා හිතෙන ඕනම අවස්ථාවක ඒ ගැන විවෘතව කතා කරන්න පුළුවන් විධියේ බැදීමක් දරුවා එක්ක තියාගන්න.
මුලින්ම ඔබ විශ්වාස කරන්න ඕන ඔබේ දරුවාව. එයාට ඇහුම්කන් දෙන එක ඔබේ වගකීමක්. නැත්නම් දරුවන් තමන්ගේ ප්‍රශ්න කතා කරන්න පිට මිනිස්සු තෝරාගන්නවා. අපේ දුක අහන හැම කෙනාම ඒ දුක අහන්නේ අපිව බේරගන්න නෙවෙයි. ඒ නිසා දරුවෙක් එතනදී නැවත තවත් පුද්ගලයෙකුගේ ගොදුරක් වෙන්න තියෙන ඉඩ ඉහළයි.
මෙතනදී ඕන කරන්න ඕන ලිංගික කාරණා සාමාන්‍යකරණය කිරීම නෙවෙයි. ඒ පිළිබඳව දැනුවත් කිරීම පමණයි. නමුත් ඒ කාර්ය නිවැරදිව කරන්න ඔබට හැකියාවක් නැත්නම් ඒ සදහා වෛද්‍යවරයෙක්, හෙද නිලධාරිනියක්, පවුල් සෞඛ්‍ය නිලධාරීනියක් හෝ උපදේශන ලබා දෙන බලයලත් කෙනෙක් වෙත යොමුවීම වැදගත් වෙනවා.