free stats

වෛද්‍ය චන්ද්‍රානි ගුණසේකර

මව්කිරි දොවා ගන්නේ කොහොමද? 

පළමුවෙන්ම අපි බලමු මව් කිරි දොවා ගත යුත්තේ කුමන අවස්ථා වලදීද කියා. අලුත උපන් දරුවාගේ ප්‍රධානම සහ එකම ආහාරය මව්කිරි බව අපි දනිමු. පියයුරේ සහ තන පුඩුවේ ස්වභාවය අනුව දරුවාට කිරි උරා බීමට අපහසු නම් දොව ගත් මව්කිරෙන් දරුවා පෝෂණය කළ යුතුයි. තවද පියයුර සහ තන පුඩුව ස්වභාවික පරිදි තිබුණත් දරුවාගේ රෝගී තත්ත්වයක් මත හෝ නොමේරූ තත්ත්වයක් මත කිරි උරා බීමට අපහසු නම් මව කිරි දොව ගත යුතුයි. මුල් දින කිහිපය තුළදී ශ්‍රාවය වන කොලෙස්ට්‍රම් දියාරු බවෙන් අඩු නිසා දරුවාට උරා බීමට අපහසු වීමට පුළුවන. එවිට මවට කිරි දෙවීමට සිදු වේ. කුඩා කෝප්පයකට හෝ හැන්දකට කොලෙස්ට්‍රම් බිංදු කිහිපය බැගින් වරකට දොවා ගැනීමෙන් මවගේ කිරි නිපදවීමේ හැකියාව වැඩි දියුණු වන අතරම දරුවාගේ පෝෂණය නිසි පරිදි පවත්වා ගැනීමට ද එය උපකාරී වෙයි. 

තවත් අවස්ථාවක් වන්නේ යම් කිසි අවශ්‍යතාවයක් හේතු කොටගෙන දරුවාගේ මව ඈත් වීමක් සිදු වුවහොත් දරුවාට මවගේ කිරි පෙවීම සඳහා මවට කිරි දෙවීමට සිදු වනු ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් දරුවා හෝ මව දැඩි සත්කාර ඒකකයක පසුවීම. 

මුල් කාලයේදී දරුවාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් කිරි නිපදවීමක් සිදු වුවහොත් පියයුරේ තද ගතිය අඩු කර ගැනීම කිරි දෙවීම සිදු කළ යුතුයි. දරුවාට ඇරියෝලාව මුඛය තුළට ඇතුළු කරගැනීමට පහසු කිරීම සඳහා කිරි දීමට ප්‍රථම කිරි ස්වල්පයක් දෙවීමෙන් ඇරියෝලාව ලිහිල් කර ගත හැක.

කිරි වේලකට පසුව දරුවාට ගුඩුස් යැවීමට බොහෝ වේලාවක් ගත කරයි නම් දොවාගත් කිරි ස්වල්පයක් කෝප්පයක හෝ හැන්දක ආධාරයෙන් දරුවාට පෙවීමෙන් ඉක්මණින් ගුඩුස් යවා ගත හැක. මෙම අවස්ථාව මව හඳුනාගත යුත්තේ දරුවා එක දිගටම බොහෝ වේලාවක් පියයුර අල්ලාගෙන සිටීම සහ පියයුරෙන් ඉවතට ගත් විට දරුවා හැඬීමට පටන් ගැනීමෙන්ය.

තවත් වැදගත් අවස්ථාවක් වන්නේ දරුවාගේ බර නිසි පරිදි වැඩි නොවීමයි. සෑම කිරි වේලකටම පසුව දොවාගත් කිරි ටිකක් දරුවාට දීමෙන් ටික කලකින් බර වැඩි කරගත හැක.

සති කිහිපයකට පසුව කිරි නිපදවීම අඩු වීමේ තත්ත්වයක් පෙන්නුම් කරයි නම් දිනකට කිහිප වතාවක් මිනිත්තු 20-30 ක් පමණ කිරි දෙවීමෙන් කිරි නිෂ්පාදනය වැඩි කරගත හැක. මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණක් නම් මව විසින් දොවාගත යුත්තේ කිරි වේලකට පසුව දරුවා පියයුරේ ඉතුරු කරන ලද කිරි ස්වලපයයි. මීළඟ කිරි වේලට පැය දෙකකට කලින් කිරි දෙවීම නතර කර මව ජලය හෝ යම් කිසි සුදුසු දෙයක් පානය කළ යුතුය.

මීට කලින් ලිපියේ සඳහන් කළ පරිදි පැලුණු තන පුඩුව සුව වෙන තුරු හෝ කිරි නාල අවහිර වීම නිසා ඇතිවන ගැටිත්තක් ඇත්නම් එය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමට කිරි දෙවීම සිදු කළ යුතුය.

මව රැකියාවට යාම ආරම්භ කරන විට දරුවාගේ පෝෂණය රැකගැනීමට දොවාගත් මව් කිරි දරුවාට දීමට පුළුවන. එමෙන්ම මව රැකියා ස්ථානයේ සිටින කාලය තුළ පියයුරුවල කිරි තද වීම වැළැක්වීමට කිරි දෙවීම කළ යුතුය. නැතහොත් කිරිවල අඩංගු වන නිශේදක මගින් නිපදවන කිරි ප්‍රමාණය අඩු වීමක් සිදු වේ.

නිවැරදිව මව් කිරි දොවන්නේ කොහොමද?

පළමුවෙන්ම මවට මේ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මුල් කාලයේදී එනම් මව රෝහලේ ගත කරන කාලයේදී සෞඛ්‍ය සේවිකාවන් මවට සහාය වනු ඇත. ලබාගන්නා කිරි තමාගේ දරුවාගේ ආහාරය සඳහා උපයෝගී කරගන්නා බව මව දැනගත යුතුය. මව වේදානාකාරී අවස්ථාවක පසුවන්නේ නම් වේදනා නාශක භාවිත කර එය සමනය කරගත යුතුය. මවට බීමට ජලය හෝ වෙනත් සුදුසු ආකාරයක උණුසුම් පානයක් දීමෙන් ඔක්සිටොසින් ප්‍රතීකය ක්‍රියාත්මක වනු ඇත. එවිට කිරි දොවා ගැනීමට පහසු වෙයි.

ඇඟිලි තුඩු මගින් පියයුර සම්භාහනය කර ඉහළ සිට පහළට එනම් ඇරියෝලාව දෙසට වටේටම සෙමෙන් පිරි මැදීම ඔක්සිටොසින් ප්‍රතීකය උත්තේජනය කරගැනීමට පහසු වේ. (ඔක්සිටොසින් ප්‍රතීකය පිළිබඳව මුල් ලිපිවල සාකච්ඡා කර ඇත) වාඩි වී සිටීමට පුළුවන් මවක් නම් පුටුවක වාඩි වී පියයුර පහතට එල්ලෙන සේ මදක් ඉදිරියට නැමීම කිරි ගලා ඒමට පහසු කරයි.

මුල් දින කිහිපය තුළ කොලෙස්ට්‍රම් බිංදු කිහිපයක් පමණක් ස්‍රාවය වන නිසා කිරි එකතු කිරීමට කුඩා කෝප්පයක් හෝ හැන්දක් භාවිත කළ හැක. කිරි බෝතලයක සූප්පුව වසන කුඩා කෝප්පය මේ සඳහා වඩාත් සුදුසු වේ. නමුත් දරුවා ක්‍රමයෙන් වැඩෙන විට ශ්‍රාවය වන කිරි ප්‍රමාණය වැඩි වන නිසාත් කිරි විදීමක් සිදු වන නිසාත් කට පළල් භාජනයක් කිරි එකතු කිරීමට භාවිත කළ යුතුයි. නිවසේ තේ පානය සඳහා භාවිත කරන අඩු කෝප්පයක් හෝ ඵමට එකක් වුවද මේ සඳහා භාවිත කළ හැක. භාජනය කුමක් වුවත් එය ඉතා පිරිසිදු විය යුතුය. හොඳින් සේදීමෙන් පසුව උණු වතුරේ ගිල්වා තම්බා ගත යුතුය. මෙහිදී මතකයේ තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ කිරි එකතු කිරීමට ප්‍රථම භාජනය හොඳින් සිහිල් විය යුතු බවයි. එනම් තම්බා ගත් භාජනයේ රස්නය තිබෙද්දී කිරි එකතු කිරීම නොකළ යුතුයි. මන්ද රස්නය නිසා කිරිවල ඇති සෛල විනාශ වන බැවිනි. 

කිරි දොවන තැනැත්තා එනම් සෞඛ්‍ය සේවිකාව හෝ මව හොඳින් අත් සෝදා පිරිසිදු කර ගත යුතුයි. මව පිරිසිදුව සිටින අවස්ථාවකදී නම් පියයුර සේදීමක් අවශ්‍ය වන්නේ නැත. මව පහසු පරිදි වාඩි වී හෝ හිටගෙන සිටීමට පුළුවන.

පිරිසිදු කරගත් භාජනය පියයුර ආසන්නයට ගෙන ආ යුතුය.

අතින් කිරි දෙවීම සිදු කරන විට මවගේ අත්ල පියයුර යටට තබා පියයුර මවගේ අත්ල මතට වැටෙන්නට සලස්වන්න.

මහපටැඟිල්ල පමණක් ඇරියෝලාවට මදක් පිටතින් උඩට ගෙනෙන්න. අනෙක් ඇඟිලි ඇත්තේ පියයුරට යටින්ය. තද කිරීමට භාවිත කරන්නේ මහපටඟිල්ල, දෙවෙනි සහ තුන්වෙනි ඇඟිලි පමණයි. තෙරපීම කළ යුතු වන්නේ ක්‍ෂිරධර කෝඨරක බව සිහියේ තබාගත යුතුයි. කිසි විටෙකත් පියයුර ඇඳීමක් හෝ ඇඟිලි තදින් පියයුරේ උඩට පහතට ඇඳීමක් සිදු නොකළ යුතුයි. එසේ කළහොත් පියයුරේ සම ගැලවී යනු ඇත. මුලින්ම කිරි වෑස්සීම සිදු නොවේ. විනාඩි කිහිපයක් නොනවත්වා තෙරපීම සිදු කරන විට පළමුව කිරි බිංදු කිහිපයක් ඒමට පටන් ගනී. දිගටම තෙරපීම සිදු කරන විට කිරි වෑස්සීමට පටන් ගනී. මිනිත්තු කිහිපයක් මෙසේ සිදු කර ඇරියෝලාවේ දෙපසින්ද තද කර දෙපැත්තේ ඇති කිරි ද එකතු කරගන්න. කිරි වෑස්සීම අඩු වන විට අනෙක් පියයුරට මාරු වෙන්න. එම ක්‍රියාවලියම පෙර පරිදිම සිදු කර කිරි වෑස්සීම අඩුවන විට පළමු පියයුරට නැවත එන්න. මෙසේ දෙපැත්ත මාරු වෙමින් ඔබට අවශ්‍ය කිරි ප්‍රමාණය එකතු කරගන්න. කිරි දෙවීමට ගතවන කාලය මිනිත්තු 20-30 ක් පමණ වේ. දළ වශයෙන් මෙය දරුවා කිරි උරා බොන කාලයයි. මෙයට වඩා කෙටි කාලයකින් කිරි දොවා අවසන් කළ නොහැක.

මව විසින් දරුවාගේ අවශ්‍යතාවය පරිදි දිනකට කිහිප වරක් මෙය සිදු කළ හැක. කිරි දෙවීමෙන් පසුවත් මව විසින් වතුර වීදුරු 2-3 ක් බීම සිදු කළ යුතුයි.

මුල් කාලයේදී අතින් කිරි දෙවීම වඩාත් සුදුසු වුවත් මව රැකියාවකට යන්නේ නම් කාර්ය බහුල නම් කාලය ඉතිරි කර ගැනීමට අවශ්‍ය නම් වෙළඳපොලේ ඇති කිරි දෙවීමේ උපකරණයක් භාවිත කිරීමට පුළුවන.