වෛද්‍ය චන්ද්‍රානි ගුණසේකර
අනේක විධි දුක් ගැහැට සිනාමුසු මුහුණින් විඳ දරා ගනිමින් දස මසක් පුරාවට මව් කුස තුළ, පෝෂණය කර මෙලොවට බිහිකරන දරු සිඟිත්තා නිරෝගීව මෙන්ම බුද්ධිමත්ව වැඩෙනු දැකීම සියලුම මව්වරුන්ගේ එකම බලාපොරොත්තුවයි. එම කාර්යය සාර්ථක ලෙස සිදු කිරීමට අදින් ආරම්භ වී කොටස් වශයෙන් පල කෙරෙන මෙම ලිපි පෙල සෑම මවකටම ඉමහත් පිටිවහලක් වනු නොඅනුමානය.මූලික වශයෙන් මව්කිරි සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම ලිපි මාලාවේදී මව්කිරි නිපදවෙන ආකාරය, කිරිදෙන මව්වරුන්ට මෙන්ම බිළිඳාට මුහුණපාන්නට සිදුවෙන ගැටලු සහ ඒවා නිරාකරණය කරගන්නා අන්දම ගැන ඔබව දැනුවත් කරනු ඇත.
ඕනෑම කටයුත්තක් සාර්ථකව සිදු කරීම සඳහා පෙර සූදානමක් තිබීම අත්‍යවශ්‍ය වේ. පූර්ව ප්‍රසව අවධියේද එනම් දරුවා බිහිවීමට පෙර මේ සම්බන්ධයෙන් මව ලබාගන්නා දැනුම තවදුරටත් වර්ධනය කරගැනීමට ඉතා සරල බසින් පලවෙන මෙම ලිපි පෙල ඔබට අත්වැලක් වෙනු ඇත.මුලින්ම බිළිඳා මව් කුස තුළ වැඩෙන කාලයේ පෝෂණ කොටස් ජීරණය වී මවගේ රුධිරයට උරාගෙන පෙකණිවැල හරහා කුස තුළ වැඩෙන දරුවාට (කලලයට) ලැබෙන බව අපි දනිමු. එමෙන්ම කලලය වටා ඇති ගර්භාෂ තරලය එකේ තියෙන දියරය) දරුවා පානය කරන බවත් අපි දනිමු. මෙම දියරයේ නොයෙකුත් ලවණ වර්ග අඩංගු වන අතර දරුවාගේ ශරීරයෙන් ගිලිහී වැටෙන සමේ සෛල යම් ප්‍රමාණයකුත් ඇත. දරුවා ගර්භාෂයේ වැඩෙන අවධියේදී මෙය පානය කළ විට ආහාර මාර්ගයේ ඇති නොයෙකුත් එන්සයිම මගින් ජීරණය වීම හේතුවෙන් දරුවා මෙලොව බිහිවන විටත් මලපහ යම් ප්‍රමාණයක් නිපදවී ශරීරයේ ඇත. ඉපදුණු විගස හෝ ඉපදී පැය කීපයක් ඇතුළත කළු පාටට හුරු තද කොළ පැහැති තලපයක් වැනි මෙම මලපහ නිපදවූයේ මවගෙන් උරා බොන කිරි ජීර්ණය වීමෙන් නොවන බවත් ගර්භාෂය තුළ වැඩෙන කාලයේදී පානය කළ ගර්භාෂ තරලය ජීර්ණය වීමෙන් බවත් වැටහෙනු ඇත. බිළිඳා බිහි වීමත් සමගම පෙකෙණි වැල කපා මවගෙන් වෙන් කරන දරු පැටියාට ආහාර, ජලය ලබාදෙන්නේ කෙසේද? ඒවා අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණහොත් සිදු වන්නේ කුමක්ද? ඉතාමත් සරල උදාහරණයකින් ගෙන හැර දැක්වුවහොත් ලස්සන මලක් ගසෙන් කඩා වතුර නොමැති පෝච්චියකට දමා තිබීම වැනිය.
වැඩිහිටි අපට ආහාර නොගෙන ජලය පමණක් පානය කිරීමෙන් දින කිහිපයක් ජීවත් විය හැකිය. ඒ කෙසේද යත් සමහර දිනවල අප ගන්නා ආහාරයේ ප්‍රමාණයට සරිලන වැඩක් නොකළහොත් අමතර ශක්තිය (කැලරි ප්‍රමාණය) අක්මාව, මාංශ පේෂී වැනි ශරීරයේ නොයෙකුත් ස්ථානවල තැන්පත් කර තබා අවශ්‍ය විටකදී ප්‍රයෝජනයට ගතහැකි බැවිනි. නමුත් අලුත උපන් බිළිඳාගේ ඇඟේ එසේ තැන්පත් ශක්තිය ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. පැය කිහිපයක් නිරාහාරව තැබීමෙන් බිළිඳා මලානික තත්ත්වයට පත්වන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ වැටීම හේතුවෙනි. නිදිමත ගතිය, අඩුවෙන් අත් පා සෙලවීම, කිරි උරා නොබීම, ක්‍රියාශීලී බව අඩු වීම එහිදී පෙන්නුම් කරන ලක්ෂණයි. මෙම තත්ත්වය තවදුරටත් පැවතුන හොත් ශාරීරික අපහසුතා සහිතව පසුවන මවට කිරිදීම සඳහා මහත් ගැටලුවකට මුහුණපාන්නට සිදුවේ. තවද දරුවාගේ ශරීරයේ සීනි මට්ටම අඩුවීම මොළයේ සෛලවලට අහිතකර ලෙස බලපාන බැවින් කාර්ය මණ්ඩලය මේ ගැන අවධානයකින් සිටිය යුතුයි.
අලුත උපන් ළදරුවා මුල් වරට කිරි උරා බීම කළ යුත්තේ කුමන වේලාවේදීද?
මේ සඳහා නියමිත කාල වේලාවක් නැත. දරුවා මවගෙන් වෙන්කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් පිරිසිදු කර හෝ නොකර මෙය සිදු කළ යුතුය. බොහෝමයක් දරු උපත් සූතිකාගාරය තුළ සිදුවන නිසාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ ගැන දැඩි අවධානයක් දක්වන නිසාත් මවට මේ ගැන නිසි උදව් උපකාර ලැබෙනු ඇත. නිවැරදිම කාලය වනුයේ උපතේ සිට පැය ½ ක් ඇතුළත බිළිඳා මවගේ පියයුරට යොමු කිරීමයි. මෙය වැදගත් වන්නේ දරුවාගේ ක්‍රියාශීලීත්වය උපරිම වශයෙන් ඇත්තේ මෙලොවට බිහිවුණ විගස බැවිනි. කුස පිරෙන්න කිරි පියයුරේ නොමැති වුවත් මෙම අවස්ථාවේ දරුවා තනපුඩු ඉරීමත්, සම මවගේ සම මත ගැටීමත්, මවගේ තනපුඩු උත්තේජනය වී කිරි නිපදවන හෝමෝනය ශ්‍රාවය වීමට පටන් ගැනීමය.කොලොස්ට්‍රම් දරුවා බිහිවීමෙන් මුල් දින දෙක තුන කාලයේදී මවගේ පියයුරුවලින් ස්රාවය වන දියරයකි. මෙය ඇලෙන සුළු උකු දියරයකි. සමහරවිට අවර්ණ හෝ ලා කහ පැහැයෙන් යුක්තය. ප්‍රමාණයෙන් ස්වල්පයකි. බිංදු කිහිපයක් හෝ තේ හැඳි එකක් හෝ දෙකක් විය හැකිය. ඒ කෙසේ වෙතත් එය දරුවාට ප්රමාණවත්ය.
මොනවද මෙහි අඩංගු වන්නේ?
සරලව දැක්වුවහොත් ජලය, සීනි (ලැක්ටෝස්) 53%, ප්‍රෝටීන් 37%, මේදය 2.9% සහ සෛල වර්ග (මවගේ රුධිරයේ ඇති රතු රුධිරානු හැර ඉතිරි සෛල වර්ග) මෙහි අන්තර්ගත වේ. එනම් සුදු රුධිරානු, රුධිර පට්ටිකා යනාදිය වේ. කලාතුරකින් රතු සෛල ද ස්වල්ප වශයෙන් පැවතිය හැක. මෙවිට මෙම දියරය ලා රෝස පැහැයක් ගනී. මෙහි සංයුතිය පසුව ශ්‍රාවය වන සුදු පැහැති කිරිවල සංයුතියට වඩා වෙනස්ය. මෙහි වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුය. ප්‍රෝටීන්, ඛනිජ ලවණ හා විටමින් වර්ග අන්තර්ගතය.
මෙම කොලොස්ට්රම්වලින් දරුවාට ඇති ප්‍රයෝජනය කුමක්ද?
මුල් දින දෙක තුනේදී දරුවාගේ එකම ආහාරය මෙය වේ. කොලොස්ට්‍රම් ග්‍රෑම් 100 ක් මගින් දරුවාට කැලරි 58 ක ශක්තියක් ලබාදෙයි. මේ මගින් බිළිඳා ජීවත් කරවීමට අවශ්‍ය ශක්තිය එනම් පෙනහලු, හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය, ආහාර ජීර්ණය, වකුගඩු, මොළය වැනි ශරීරයේ වැදගත් අවයවවල ක්‍රියාකාරීත්වයට අත් පා සෙලවීම වැනි අංග චලනවලට මෙම ශක්තිය යොදාගනී. දරුවාගේ සම වියලීම වැළැක්වීමට මෙන්ම වකුගඩු මගින් මුත්‍රා පෙරීම යනාදියට අවශ්‍ය කරන ජලය ද මෙමගින් ලබාදේ. බිළිඳා ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ප්‍රතිදේහ විශාල වශයෙන් කොලෙස්ට්රම්වල ඇති ප්‍රෝටීනවලින් ලබාදෙයි.
තවද කොලෙස්ට්රම්වල ඇති ප්‍රෝටීන බිළිඳාගේ නොමේරූ බඩවැල තුළ ආස්තරයක් මෙන් තැන්පත් වීමෙන් අනවශ්‍ය අන්තරායකාරී ප්‍රෝටීන ශරීරයට උරාගැනීම වළකාලයි. එමගින් බිළිඳා ආසාත්මිකතාවලින් ආරක්ෂාකර දෙයි.කොලෙස්ට්රම්වල බහුලව ඇති විටමින් ් බිළිඳා ලෙඩරෝග වලින් ආරක්ෂා කරයි.තවද මෙය හොද විරේකයක් වෙයි. බිළිඳාගේ කළු පැහැති මලපහ ශරීරයෙන් බැහැර කිරීම සඳහා මෙය උපකාරී වෙයි. ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරයි. කොලෙස්ට්‍රම් ස්වභාවධර්මයේ දායදයකි. රන් මෙන් වටිනා මෙම දියරය කිසිවෙකුටවත් කෘතිමව නිපදවීමට නොහැක. එබැවින් මෙම දියරය බිළිඳාට ලබාදීම සියලු මව්වරුන්ගේ වගකීමයි. මව්කිරි නිපදවීමේ ක්‍රියාවලිය පිළිබඳව ඊලඟ කලාපයේ සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.
වෛද්‍ය චන්ද්‍රානි ගුණසේකර