free stats

වෛද්‍ය අරුණි ලියනමාන

සාමාන්‍යයෙන් ගැබ් ගැනීම හා දරු ප්‍රසූතිය ආදී කාරණා අදාළ වන්නේ කාන්තා පාර්ශවයට. ඊට සමගාමී වූ කායික හා මානසික වෙනස්කම් රාශියකුත් කාන්තාව තුළ සිදු වෙනවා. මේ ගැන කතිකාව සුලබ නිසා බොහෝ දෙනෙක් ඒවා ගැන දැනුවත්. නමුත් වඩාත් සිත්ගන්නාසුළු කරුණ තමයි දරුවෙකු පිලිසිඳ ගැනීමේ සිට බිහි කිරීම දක්වා වූ කාලය තුළ පුරුෂයින්ගේත් යම් වෙනස්කම් කිහිපයක් සිදුවෙනවා.

මෙතෙක් කල් සාමාන්‍ය පිරිමියෙක් වූ අදාළ පුද්ගලයා “පීතෘත්වය” නම් උතුම් පදවිය දැරීමට සුදුසු “තාත්තෙකු” බවට සොබාදහම පත්කරවන අයුරු අපූරුයි.

1). “ටෙස්ටොස්ටෙරෝන්” මට්ටම පහළ යාම.

ටෙස්ටොස්ටෙරෝන්” කියන්නෙ පිරිමින්ගේ මූලික ලිංගික හෝමෝනය. පිරිමින් තුළ, ටෙස්ටොස්ටෙරෝන් ප්‍රජනක පටක වර්ධනය කිරීම, මාංශ පේශි හා අස්ථි ස්කන්ධය වැඩි කිරීම හා ශරීර හිසකෙස් වර්ධනය වැනි ද්විතියික ලිංගික ලක්ෂණ ප්‍රවර්ධනය කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මීට අමතරව, පිරිමින්ගේ කාන්තා ආකර්ෂණ හා සහකාරියක් සොයා ගැනීම සඳහා වූ තරඟය, ආක්‍රමණශීලීත්වය වැනි දෑ උත්තේජනය කරන්නෙත් මේ හෝමෝනය. මෙම හෝමෝන මට්ටම පහළ යාම ඉහත ලක්ෂණ අඩුවී අදාළ පුරුෂයාගේ පූර්ණ අවධානය හා සිතිවිලි දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන තම බිරිඳ වෙත යොමුකරවනවා. අධ්‍යයන මගින් පෙනීයන කරුණක් තමයි තවමත් දරුවන් නොමැති හෝ තවමත් සහකාරියක් සොයන තනිකඩ පිරිමින් සතු ටෙස්ටොස්ටෙරෝන් මට්ටමට සාපේක්ෂව දැනටමත් සහකාරියක් සිටින හෝ දරුවන් සිටින පිරිමියෙකුගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම සාපේක්ෂව අඩු බව. කාලයාගේ ඇවෑමෙන් පුරුෂ ප්‍රමුඛතාවන් වෙනස්කර බිරිඳ, දරුවන් හා පවුල වෙනුවෙන් කැපවූ පියවරුන් බවට පත්කරවීමට ඇති හෝමෝනමය බලපෑම එලෙසය.

2). ඔක්සිටොසින් හා ඩොපමින් මට්ටම් ඉහළ යාම.

ඔක්සිටොසින් හා ඩොපමින් කියන්නෙ දරුවා හා දෙමාපියන් අතර සම්බන්ධතාව දැඩි කරලීම සඳහා වගකියන රසායන ද්‍රව්‍යයන්. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් පහළ යත්ම, ඔක්සිටොසින් වැනි ඒවායේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරනවා. එමගින් පියවරම් ලබන්නට බලාපොරොත්තු වන තැනැත්තා තුළ දරු සෙනෙහස, රැකවරණය, ආදරය පිළිබඳ හැඟීම් ජනිත කරවනවා. මෙතෙක් කල් දැඩි හා රළු පුද්ගලයෙකු වුවත් අදාළ කාලසීමාවේදී ඉතා සෞම්‍ය (දරුවන් සමග එකට සෙල්ලම් කරන, දරුවාව හුරතල් කරන මට්ටමට පවා) අයෙකු කරවන්නට මෙකී රසායනික වෙනස්කම් වලට පුළුවන්.

03). පශ්චාත් ප්‍රසව මානසික පීඩනය.

දරු ප්‍රසූතියකින් පසුව කාන්තාවන් තුළ ඇතිවිය හැකි පශ්චාත් ප්‍රසව මානසික පීඩනය පිළිබඳ බොහෝ දෙනෙක් දැනුවත්. එතරම් ප්‍රසිද්ධ කාරණාවක් නොවුනත් පිරිමින් තුළත් මීට සමාන තත්වයක් ඇතිවන්නට පුළුවන්. අදාළ හෝමෝනමය වෙනස්කම් නිසා (විශේෂයෙන් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහළ යාම) තරුණ පියවරුන් මානසික අවපීඩනයට ගොදුරු වන්නට හැකියි. නව පියවරුන්ගේ හෝමෝනමය වෙනස්කම් හා ඔහුට පැවරෙන අලුත් වගකීම්වල ස්වභාවය අනුව මානසික සෞඛ්‍ය කෙරෙහි ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති කරවනවා. ඒ නිසා නව පියවරුන්ගේ ශරීරවල හෝමෝන හා චර්යාත්මක වෙනස්කම් සිදුවන බව දැන සිටීම වැදගත්.

04). මොලයේ සිදුවිය හැකි වෙනස්කම්.

අලුතින් පිය පදවියට පත්වූ පුද්ගලයන් කණ්ඩායමකගෙ මොළයේ සිද්ධ වෙන වෙනස්කම් විද්‍යඥයින් විසින් නීරීක්ෂණය කර තිබෙනවා. දරු උපතින් පසු මුල් මාස හතර තුළ ඔවුන් මොළය තුළ කැපී පෙනෙන වෙනස්කම් නිරීක්ෂණය වුණා. මේ වෙනස්කම් පියවරුන්ට තම දෙමාපිය කුසලතා හා සිඟිත්තා සමග දැඩි බැඳීමක් වැඩිදියුණු කර ගැනීමට බොහෝ සෙයින් උපකාර වෙනවා. මෙම මුල් කාලීන පියා සහ ළදරුවා අතර වූ අන්තර්ක්‍රියා අනාගත දෙමාපිය-ළමා සම්බන්ධතාවය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගන අතර දරුවන්ගේ සංජානන හා සමාජ සංවර්ධනය සඳහාද විශාල කාර්යභාරයක් ඉටු කරනවා.විශේෂයෙන්, නව පියෙකුගෙ වගකීම හා වගවීම, ගැටලු විසඳීම, අවදානම් හඳුනාගැනීම ආදි දේ සඳහා අදාළ මොළයේ ප්‍රදේශ සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව අධික ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනවා.

05). වගකීම් හා සම්බන්ධ වූ මානසික ආතතිය.

දෙමාපිය වගකීම් හා සම්බන්ධයෙන් (තරමක් නුපුරුදු හා ප්‍රවේශම්කාරි අත්දැකීමක් හෙයින්) ආතතියක් හා කාංසාවක් නව පියවරුන් තුළ ගොඩනැගෙන්න පුලුවන්. වඩාත් අයහපත් දේ තමයි, තමාට දැනෙන දේ ප්‍රකාශ කිරීමට හෝ උදව් ඉල්ලා සිටීමට මේ පියවරු ඉදිරිපත් නොවීම. ඔවුන් එසේ කිරීමට මැලිවන්නේ සහකාරියගේ ගැටලු හා උවමනාවන් පිලිබඳ අවධානය යොමු කිරීම ඊට වඩා වැදගත් යැයි ඔවුන් සිතන නිසා.මේ නිසා තමයි සහකරු හා සහකාරිය දෙදෙනාම එකිනෙකා සමග තමා අත්විඳින, දැනෙන හැඟෙන දේ හුවමාරු කරගත යුතු වන්නේ. කතාබහ කරමින් එකට ගත කිරීමට යම් කාලයක් වෙන් කළ යුතුයි. එය අවංක හා නිර්ව්‍යාජ කතාබහක්ද විය යුතුයි.

06). ගර්භණී ලක්ෂණ.

මෙය නිල වශයෙන් වෛද්‍යමය තත්වයක් ලෙස දැනට හඳුනාගෙන නැති නමුත්, සහකාරිය ගැබ් ගෙන සිටින කාලයේදී පියෙකු වීමට බලාපොරොත්තු වන පුද්ගලයා තුළ දැකිය හැකි තත්වයක්. සහකාරිගේ ගර්භණී සමයේදී පිරිමින්ට ඔක්කාරය, ආහාර රුචිය වෙනස් වීම, ඉදිමීම සහ පසුපස කැක්කුම වැනි ගර්භණී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. (අදාළ ලක්ෂණ ගැබිනියකගේ සුලබව නිරීක්ෂණය කළහැකි ලක්ෂණ වේ.) මෙම තත්වය “අනියම් ගැබ් ගැනීම” ලෙස හඳුන්වනවා.