කොවිඩ් කියන්නේ මේ ලෝකෙට පැමිණි අලුත්ම අලුත් වයිරස් රෝගයක්. මේ රෝගකාරක වයිරසයේ හැසිරීම දවසින් දවස වෙනස් වීම් වලට ලක්වෙන නිසා විද්‍යාඥයින්ට මේ පිළිබඳව නිවැරදි මතයක් ස්ථීරවම ප්‍රකාශ කරන්න තවමත් නොහැකි වෙලා තියෙනවා. කොහොම නමුත් කොවිඩ් වයිරසය වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම එක හා සමානව ජීවිත හානි සිදුකරන බව නම් අපි කවුරුත් දන්නා කරුණක්. කොරෝනා ආසාදනයත් සමඟ දරුවන් අතර තවත් අලුත් රෝගී තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ රෝගී තත්ත්වය අප හඳුන්වන්නේ සයිලන්ට් හයිපොක්සියා silent hypoxia යනුවෙන්. මෙම රෝගී තත්ත්වය ඉතාමත් භයානකයි. දරුවා නිරෝගීව හොඳින් සෙල්ලම් කරමින් සිටියත් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වාම දරුවාගේ සිරුරේ පවතින ඔක්සිජන් ප්‍රමාණය පහත බැසීමක් සිදුවෙනවා. මේ කෙරෝනා ආසාදිතව සුව වූ පසුව පැමිණෙන තවත් එක් සංකූලතාවක්.
විශේෂයෙන්ම මෙහිදී දෙමාපියන්ට කියන්න ඕනේ කරුණක් තමයි ඔබේ දරුවා කොවිඩ් ආසාදිතයෙකු වී සුවය ලැබූ පසුව එම දරුවාට “දැන් සුවයි” යන්න කිසිවිටකත් නොසිතන්න. සුවය ලැබීමෙන් පසුව විවිධ සංකූලතාවන් හට ගන්න පුළුවන්. වෛද්‍යවරුන් විදිහට අපිත් තවමත් මේ රෝගයේ සංකූලතාවන් මොනවද කියා දන්නේ නැහැ. අපිත් අධ්‍යනයන් කරමින් සිටින්නේ.
දරුවා කොවිඩ් වයිරසය ආසාදනය වී සුවය ලැබූ පසුව ඒ දරුවාගේ එදිනෙදා කටයුතු පිලිබදව දෙමාපියන් වෙනදාටත් වඩා විමසිලිමත්ව සිටින්න. ඇතැම් විට දරුවා හොදින් ආහාර ගන්නවා විය හැකිය. වෙනසක් නොමැති වෙනදා මෙන් සෙල්ලම් කරනවා විය හැකිය. කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වාම දරුවාගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණයේ යම් අඩුවක් සිදුවෙන්න පුළුවන්. මේක දරුවන් කරා නිහඬවම පැමිණෙන මාරයෙක්.
කොවිඩ් රෝගය සෑදී සුවය ලැබූ දරුවෙකු සෙල්ලම් කරමින් දුවපැන ඇවිදිමින් සිටින විට වෙනදාට නොඑන හතියක් කථා කිරීමේ අපහසුවක් අමාරුවෙන් හුස්ම ගැනීමේ තත්ත්වයක් ඇති වන්නේ නම් වහාම වැඩිහිටියන් ලෙස ඔබ ක්‍රියාත්මක විය යුතුයි. දරුවාගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බැලීම ප්‍රධාන වශයෙන්ම කළ යුතු දෙයක්. මේ සඳහා Pulse Oximeter (පල්ස් ඔක්සිමීටර්) භාවිත කළ හැකියි. දරුවාගේ දඹර ඇඟිල්ල හෝ මැදඟිල්ල ඔක්සිමීටරය විවෘත කර ඒ මත තබා රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලිය හැකිය. මෙහිදී ඔක්සිමීටරය මඟින් දරුවාගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය සියයට 95 ට වඩා අඩු අගයක් පෙන්වයි නම් වහාම රෝහල් ගත කිරීමට ප්‍රමාද නොකරන්න. විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතව සුව වූ දරුවෙකුගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනකට දෙතුන් වතාවක් හෝ මැන බැලීම වඩාත් හොඳයි.
එහෙත් නිවසේ ඔක්සිමීටරයක් නොමැති නම් ඔබ දරුවාගේ හුස්ම ගැනීමේ වෙනස හොඳින් නිරීක්ෂණය කර මෙවැනි තත්ත්වයක් වෙනදාට මතු නොවන්නේ නම් වහාම රෝහල් ගත කිරීම වැදගත්ය.
අප බාහිරින් ගන්නා හුස්ම, ස්වසන මාර්ගය ඔස්සේ පෙනහළු කරා ගමන් ගනියි. පෙනහැල්ලේ පවතින් කුඩා කොටස් වන ගර්ථ දක්වා වාතය ගමන් කර අදාල රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අප හුස්ම මඟින් ලබාගත් ඔක්සිජන් වායු හුවමාරු වීමක් සිදු වේ. එහෙත් ශ්වසන රෝගවලදී පෙනහළුවලට යම් බලපෑමක් ඇතිව තිබේ නම් ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවේ. කොවිඩ් වයිරසය මගින් බලපෑම් එල්ල කරන ප්‍රධානතම අවයවය ලෙස හඳුනාගෙන ඇත්තේ පෙනහැල්ලය. මෙවන් වසංගත කාලයේදී පෙනහැල්ල ආරක්ෂා කරගැනීම ඉතාමත් වැදගත්.
මේ කාලයේදී හතියට ප්‍රතිකාර ගන්නා දරුවන්, ඉන්හේලර් ප්‍රතිකාරය ගන්නා දරුවන් තමන්ගේ ප්‍රතිකාර නියමිත පරිදි ලබා ගැනීම ගැන අවධානය යොමු කළ යුතුයි. එසේම හතිය ඇති රෝගී දරුවන් උදෙසා විශේෂයෙන් හඳුන්වා දී ඇති හුස්ම ගැනීමේ ව්‍යායාම් ක්‍රම දිගටම සිදු කළ යුතුවේ. හතිය කල් අල්ලා පවතී නම් ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
විශේෂයෙන්ම මෙහිදී දෙමාපියන්ට දිය යුතු පණිවිඩයක් වන්නේ අපේ දරුවන් කොවිඩ් රෝගයට ගොඳුරු වුවත් ඒ බව කිසිවෙකුත් නොදැන සිටීමයි. මොකද කිසිඳු රෝග ලක්ෂණයක්හෝ දරුවාට අපහසුතාවක් හෝ පෙන්නුම් නොකර වයිරසය ආසාදනය වී නොදැනීම සුවවී යාමයි. මෙවැනි දරුවන්ද සයිලන්ඩ් හයිපොක්සියා තත්ත්වයට පත්විය හැකිය. එහෙත් දෙමාපියන් මේ පිලිබදව කිසිඳු විශ්වාසයක පළ නොකරන අවස්ථාවන්ද තිබේ. කොවිඩ් රෝගයට ගොඳුරු නොවූ දරුවෙකුට කොහොමද මෙවැනි රෝගී තත්ත්වක් ඇති වන්නේ යන්න ඔවුන් නඟන පැනයකි. නමුත් දෙමාපියන් හෝ දරුවා හෝ නොදැනීම කොවිඩ් වයිරසය දරුවාට ආසාදනය වී සුව වූ දරුවන් අප හඳුනාගෙන තිබේ. මෙම දරුවන්ට සිදුකරන ප්‍රතිදේහ පරික්ෂා වලදී කොවිඩ් වයිරසය ආසදනය වී ඇති බව සනාථ වේ.
එම නිසා ඔබේ දරුවා කොවිඩ් ආසාදිතයෙකු වුවත් නැතත් මේ දිනවල දරුවා පිළිබදව මනා විමසිල්ලෙන් පසුවිම ඉතාමත් වැදගත්. දෙමාපියන්ගේ විමසිලිමත්භාවය දරුවාගේ ජීවිතය රැක දෙන්නකි යන්න කිවොත් එය වඩාත් නිවැරදි වේ.
දරුවාගේ ප්‍රතිශක්තිය ද මේ මොහොතේදී ඉතාම වැදගත් සාධකයකි. ඒ අනුව ඔහුට හැකි තරම් දියර ජාති ලබා දෙන්න. බත් කැඳ, සුප් වතුර, ස්වාභාවික පළතුරුවලින් සකසා ගත් පාන වර්ග, වතුර දෙන විට බීමට හැකි මඳ උණුසුමෙන් පානය කිරීමට ඉඩ හරින්න. කිසිම විටෙක සීතල වූ කෑම රෝගී දරුවන්ට ලබා දීම සුදුසු නොවේ. කොවිඩ් රෝගයට සේම පසුව ඇතිවන රෝගී තත්ත්ව ආදියටත් ප්‍රතිශක්තිය වඩවා ගැනීම ඉතාම වැදගත්ය. විවිධ රෝගවලින් සුරැකිව සිටීමට මෙන්ම සංකූලතා සහ මරණ වලක්වා ගැනීමටත් ප්‍රතිශක්තිකරණය වැදගත්ම සාධකයකි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
දීපාල් පෙරේරා
සටහන – ශ්‍රියානි විජේසිංහ