මරණය සෑම දෙනාටම පොදු වූ සදාතනික සත්‍යයකි. මේ දවස්වල නම් කොරෝනා ව්‍යාප්තිය නිසාම දවසේ මරණ සංඛ්‍යාව කණින් කොනින් ඇසෙන්නේ තුන්හිතම සලිත කරවමිනි. දරුවන් සමග ගණුදෙනු කරන ඔබ මරණය ගැන කතා කිරීමේදී ප්‍රවේසම් විය යුත්තේ එය ඔවුන්ගේ මනසට සෘජු ලෙස බලපෑමක් එල්ල කරන නිසයි.
ජීවිතය බෙදාගත් අපගේ කඳුළට සතුටට උරුම කම් කියූ ආදරණීයන්ගේ ක්‍ෂණික වෙන්වීම වියෝව අපගේ හදවත්වලට නොවුසුලන තරම් ප්‍රබලය. ඔහු හෝ ඇය අප අතරින් වෙන්වූවත් තවදුරටත් ඔවුන් ජීවත් වෙනවා යැයි හැඟෙන්නේ ඔවුන්ගේ වෙන්වීම හිත පිළිගැනීමට සූදානම් නොමැති නිසයි. වයසින් පරිනත වූ අපට එවන් හැඟීමක් දැනෙනවා නම් කයින්, මනසින් පරිනත නොවූ පුංචි දරුවන්ට කෙසේ දැනෙනවා විය යුතු දැයි මොහොතක් කල්පනා කිරීම වැදගත්ය.
“අනේ පව් ! කිරිසප්පයෝ මොනා තේරෙනවාද මේ අසරණයින්ට” කුඩා දරුවන්ට මරණය පිළිබඳ කිසිදු හැඟීමක් නැතැයි බොහෝ දෙනා සිතුවත් එසේ වන්නේ නැත. සාමාන්‍යයෙන් වයස අවුරුදු හතර සීමාව වනතෙක් මරණය පිළිබඳ කිසිඳු හැඟීමක් දරුවන්ට දැනෙන්නේ නැත. ඔවුන් වයස අවුරුදු 4ක් 5ක් අතර වයසේ සීමාව තුළ මරණය යන සංකල්පය පිළිබඳ අදහසක් නොමැති වුවත් යම් කම්පනික හැඟීමක් දරුවාට ඇති වීමට පුළුවන.
හදිසියේ අපගෙන් ආදරණීයන් වෙන්වීම තුළ අපගේ සිතේ ඇතිවන ව්‍යාකූලත්වය දරුවන්ව අමතක වීමට පවා හේතුවෙයි. නමුත් අපගේ සිතේ ඇතිවන වේදනාව කාලයත් සමඟ මැකී ගියත් දරුවන්ගේ මනසට ඇතිවන පීඩනය ඔවුන්ගේ අධ්‍යාපනයට වගේම පෞරුෂයේ වර්ධනයටද දීර්ඝකාලීනව බලපෑම් කරයි.
මරණය පිළිබඳ අත්දැකීම් දරුවන්ට ආගන්තුකය. කුතුහලයෙන් පිරුණු එම දරුවන්ගේ ලෝකය තුළ මෙම අත්දැකීමත් ඔවුන්ට ආගන්තුකය. ඒ නිසා දරුවා මරණය යන සංකල්පය තේරුම් ගැනීමට උත්සහ දරන්නේ ප්‍රශ්න ඇසීම තුළිනි. “අම්මේ අත්තම්මා පොළව ඇතුලේ ඉඳන් හුස්ම ගන්නේ කොහොමද ?” “සීයා නිදියන පෙට්ටියට අපි බුලත් පුවක් ටිකක් දාමුද ?” වගේ දරුවන් නොනවත්වා ප්‍රශ්න කරමින් මරණය පිළිබඳ සංකල්ප පිළිබඳව ඉගෙන ගනියි. එසේ දරුවා ප්‍රශ්න කරන විට ඔහුට හෝ ඇයට තේරෙන අකාරයට සරලව, පැහැදිළිව වගේම නිවැරදිව පැහැදිළි කිරීම වැදගත්ය. එසේ පැහැදිළි කරන විට පවුලේ සංස්කෘතික පදනම, ආගමික විශ්වාසය මත තේරුම් කිරීම වඩාත් සුදුසුය.
“අපේ අත්තම්මා නැතිවෙලා ආයෙත් අපි අතරම ඉපදෙයි.” මගේ දුවේ අම්මා ස්වර්ගයට ගිහින් අපි දිහා බලාගෙන ඉන්නේ” මෙසේ ආගමික විශ්වාසය අනුව දරුවාට තේරුම් කිරීමෙන් එකී සංකීර්ණ කරුණු පිළිබඳ දළ අදහසක් දරුවාගේ මනස තුළ ගොඩනැගෙයි.
එසේ දරුවාට මරණය පිළිබඳ සංකල්පය නිවැරදි ලෙස තේරුම්කර නොදුන්නොත් ඔහුගේ හෝ ඇයගේ සිත තුළ භයංකාර හැඟීමක් පවා ඇති වීමට පුළුවන “අපේ සීයව පණපිටින් වළලනනවනේ මෙයාලා..” “ආච්චි අම්මා මා ළඟට ආවේ නැත්තේ එයාව පොළව ඇතුළේ හිරකරපු නිසයි.” මෙසේ භයංකාර සිතිවිල්ලක් දරුවාගේ මනසට ඇතුළු වුවහොත් ඔහුගේ පෞරුෂ වර්ධනයට මෙය සාජුවම බලපායි.
දරුවාගේ මනසට යම් පීඩනයක් දැණුනු විට ඔහු යම් යම් කාර්යයන්ට යොමු වී එකී පීඩාකාරී තත්ත්වය පහකරගැ ගැනීමට උත්සහ දරයි. සෙල්ලම් කිරීම, කාටුන් බැලීම, චිත්‍ර ඇදීම, එකී ක්‍රියාකාරකම් අතර ප්‍රධානයි. එවන් විටකදී එකී ක්‍රියාකාරකම්වලින් දරුවා ඈත්කර වෙනත් දෙයකට අවධානය යොමු කිරීම කිසිවිටකත් සුදුසු නැත.
“අනේ පුතේ සීයා නැති වෙලා හත්දවසේ යන්නත් කලින් වීඩියෝ ගේම් ගහනවාද ?” එසේ දරුවා තම පීඩනය පහකරන ක්‍රියාකාරකම් වලින් ඈත් කිරීමෙන් සමනලතටුවන් මෘදු වූ හදවත තව තවත් වේදනාවට පත් වීමට පුළුවන.
අපගේ සංස්කෘතියට අනුව අවමංගල්‍ය උත්සවයකදී සිදු කරන චාරිත්‍ර වාරිත්‍රවලට දරුවාගේ සාභාගීත්වයත් එක් කිරීමෙන්, සහනකාරී හැඟීමක් දරුවාට ඇතිවෙයි. ඒ වගේම අහිමි වූ ආදරය, රැකවරණය එලෙසින්ම ලැබිය හැකි සමීප ඥාතියකුගේ රැකවරණයට දරුවාව ටික කාලයක් නතු කිරීමෙන් දරුවාට ඇතිවන කාන්සිය, පාළුව පහවී යාමට හේතුවෙයි.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
විශ්මි ජයනිකා