free stats

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මලා වෙනත් අය වගේ නෙවෙයි බොහෝම පිරිසිදුවට ඉන්න ඕනේ. මොකද අම්මාගේ පිරිසිදුකම අම්මගේ වගේම දරුවගෙත් නිරෝගිකමට හේතුවක් වෙනවා. ඒත් අපේ බොහෝ අම්මලා දරුවා ලැබෙන්න ඉන්න කාලේ හොදට පිරිසිදුව හිටියට දරුවා ලැබුණට පසුව පිරිසිදුකම ගැන ඒ හැටි තැකීමක් කරන්නේ නැහැ. බොහෝ අම්මලා එහෙම වෙන්නේ ගෙදරදෙර වැඩ අධික වුණාමයි. තමන්ගේ සෞඛ්‍යයේ නිරෝගිකම ගැන හිතන්නේ නැතැව දරුවන්ගේ නිරෝගිකම ගැන පමණක් හිතන්න බොහෝ අම්මලා පුරුදු වී සිටින නිසයි. ඒත් ඒ දේ කොහෙත්ම නිවැරදි නැහැ. මොකද අම්මා හොද සනීපෙන් නැතිනම් පවුලම රෝගී වුණා වගේ. ඒ නිසා අම්මා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන පිරිසිදුකම ගැන මුලින්ම හිතන්න ඕනේ.

අපේ අම්මලාගෙන් සමහර අය දරු ප්‍රසූතියෙන් පසුව නෑම ඉතාමත් අඩුයි. මේකට ප්‍රධානතම හේතුව තමයි සමහර වැඩිහිටියන් අපේ අම්මලාට ලබා දෙන වැරදි උපදෙස්. මේවා වැරදිම නෙවෙයි. යම් යම් මිත්‍යා විශ්වාසයන්. දරුවා ලැබුණට පසුව ඇල්වතුර නාන්න තියා අල්ලන්නවත් ඇතැම් මව්වරුන්ට දෙන්නේ නැහැ. මොකද අපේ සමහර වැඩිහිටියන් අතර විශ්වාසයක් තියෙනවා දරුවෙකු ලැබුණ මවක් ඇල්වතුර නෑවොත් හරි ඇල්වතුර වෝත් ඇල්ලුවොත් හරි ’සන්නිය’ හැදෙනවා කියලා. ඒ මිත්‍යා විශ්වාසයන් නිසා අපේ මව්වරුන් බොහෝ දෙනෙක් විශාල අපහසුතාවන්ට ලක්වෙනවා.

රෝහලේදී දරුවා ලැබුණාට පසුව මවට ඇදෙන් බැහැලා යන්න පුළුවන් වෙනකොට අනිවාර්යයෙන්ම ඇල්වතුරෙන් හොදට නාගන්න කියලා අපි කියනවා. ඒත් සමහර අම්මලා කොණ්ඩේ විතරක් හෝදගෙන නෑවා කියලා කියනවා. එහෙම වෙන්න හොද නැහැ. මොකද දරුවා ලැබෙන අවස්ථාව කියන්නේ අම්මෙකුට අතිශයින්ම වේදනාකාරී අවස්ථාවක්. දරු ප්‍රසූතියේදී අම්මලාට මුත්‍රා පිටවෙනවා. මළ පිටවන අවස්ථාවන්ද තියෙනවා. රුධිරය පිටවෙනවා. ඒ වගේම තමයි ඇතැම් අම්මලාට වතුර පිටවෙනවා. ඒ නිසා දරු ප්‍රසූතියෙන් පසුව හොඳට පිරිසිදුවෙන එක තමයි වැදගත්ම දේ.

මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න කරුණක් තියෙනවා. දරුවා ලැබෙන විට හිස එළියට පැමිණෙන යෝනි මාර්ගයේ විවරය කුඩානම් එහිදි කරන්නේ යෝනි විවරයේ පොඩි කැපුමක් කරනවා. එහෙම කිව්වාම අම්මලා බය වෙන්න එපා. ඒ කැපුම අම්මට තේරෙන්නෙවත් නැති තරම්. එහෙම කැපුමක් කළ යෝනි විවරය පසුව මැහුම් යොදා මහනවා. මේ මැහුම් යෙදූ නූල උණුවතුරට විෂ සබන් වර්ගවලට කැඩෙන්න බලනවා. ඒ වගේමයි විවිධ කොළවර්ග තම්බා නාන්න ගියාම මේ මැහුම් කැඩෙන්න පුලුවන්. එහෙම වුණොත් නැවතත් මැහුම් දාන්න වෙනවා. එතකොට අම්මට ලොකු වේදනාවක්. ඒකයි අපි කියන්නේ දරු ප්‍රසූතියකින් පසුව ඇල් වතුරම නාන්න කියලා. අනික ඇල්වතුර ඇගට හොඳ ජිවයක් ලැබෙනවා.

තව දෙයක් තමයි අපේ වැඩිහිටියක් අතර තියෙනවා අගහරුවාදාට සිකුරාදාට අම්මවත් බබාවත් නාන්න හොඳ නැහැ කියලා මතයක්. ඒ දවස්වල නෑවාම අසනීප වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි කියලා කියනවා. මේ මිත්‍යා මතවල කිසිම සත්‍යයක් නැහැ. අපි කියන්නේ අම්මටයි බබාටයි හැමදාම නාන්න කියලයි. තවත් දෙයක් තමයි බොහෝ වැඩිහිටියන් අතර මතයක් තියෙනවා කිරිදෙන අම්මා කෙනෙක් නානවා නම් උදේ වරුවේ නාන්න ඕනේ කියලා. අම්මට නාන්න එහෙම වෙලාවක් වෙන්කරන්න අවශ්‍ය නැහැ. නමුත් උදේ අම්මට නාන්න පුළුවන් නම් දවසම අම්මා හොද ප්‍රබෝධයෙන් ඉන්න පුළුවන්.

තවත් සමහරු කියනවා අම්මාගේ කොණ්ඩේ හොදට තෙත හිදෙනකල් දරුවට කිරි දෙන්න හොද නැහැ කියලා. අම්මා කොණ්ඩේ තෙත පිටින් දරුවට කිරි දුන්නොත් දරුවට සෙම හැදෙනවා කියනවා. ඒවා මිත්‍යා මත විතරයි. කිසිම සත්‍යයක් නැහැ. හැබැයි තෙත පිටින් දරුවට කිරි දෙන්න එපා කියන්නේ අම්මාගේ තෙත කොණ්ඩේ වතුර දරුවාගේ පෙකණියට වැටුණොත් එය පැසවන්න පුළුවන්. ඒ නිසා තෙත කොණ්ඩේ
රෙදිපටක් ඔතාගෙන හොදට බැදගෙන කිරි දෙනවා නම් ගැටළුවක් මතු වෙන්නේ නැහැ. අපි මාතෘ සායනයට පැමිණෙන සියලුම මව්වරුන්ව හොදින් දැනුවත් කරනවා. යම් යම් මිත්‍ය මත හා විශ්වාසයන් තවමත් සමාජයේ මුල්බැසගෙන තියෙන නිසා. ඒත් සමහර නිවෙස්වල වැඩිහිටි කාන්තාවන්ගේ මතටය ඉහළින් යන්න බැරි අවස්ථාවන් තියෙනවා. එවන් විටකදී අම්මලාව අපි කොතරම දැනුවත් කරත් පලක් නැති වෙනවා.

කොහොම නමුත් මිත්‍යා මතවලින් ඈත්වෙලා අලුත උපන් දරුවාව මනාව හදාවඩා ගැනීමට අලුත් දැනුමින් මව්වරුන්ගේ සිත පොහොසත් කර ගන්න ඉඩ ලබා දීම අප කාගේත් වගකීමක් හා යුතුකමක් වෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි
නිලුක්ෂි තිලකසිරි


සටහන ශ්‍රියානි විජේසිංහ