free stats

කාර්යබහුල වීම සහ ඒ නිසාම නිවැරදි ඉරියව් පිළිබඳව අවධානය යොමු නොවීම නිසා කාන්තාවන් කොන්දේ ආබාධ තත්ත්වයන්ට මුහුණ දෙන බව වර්ථමානයේ පෙනෙන්නට තිබෙනවා. බොහෝ වෙලාවට මේ සඳහා බලපාන්නේ ඔවුන් අතින් සිදුවන වැරදි සහ අතපසුවීම් බව කියන්න පුළුවන්. යම් දෙයක් ගැනීම සඳහා පහත් වීමේ දී නැවිය යුතු නිවැරදි ආකාරය පිළිබඳව උනන්දුවක් නොදැක්වීම, කාර්යාලයේ දී භාවිත කරන පුටුව, මේසය හෝ පරිගණකය තබා ඇති ආකාරය, කොන්දේ ආබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක්. ඒ වගේම කාන්තාවන් අතර කොන්ද ආබාධ හෙවත් තුනටියේ ආබාධ ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ශාරිරික ව්‍යුහයන් වැඩි වශයෙන් භාවිත කිරීමයි. ඒ තත්ත්වය මේ විදියට පෙන්වා දෙන්න පුළුවන්. එමෙන්ම වකුගඩු ආශ්‍රිත යම් ආබාධ තත්ත්වයක් තිබේ නම් එහි රෝග ලක්‍ෂණයක් ලෙස කොන්දේ කැක්කුම ඇතිවනවා. අවධානය යොමු කොට ප්‍රතිකාර ලබාගත යුත්තේ මේ නිසයි.

කොඳු ඇට පෙළ ආශ්‍රිත මාංශ පේශීන්, ඛණ්ඩරා, සන්ධි මතුපිට අනව්‍යශ ලෙස භාවිතයට ගැනීම නිසා ඒවාගේ ව්‍යුහයන් ගෙවී යාම සිදුවනවා. එසේම ක්‍ෂණිකව සිදුකරන ක්‍රියා නිසා ඇතිවන ක්‍ෂණික ආබාධ දිර්ඝකාලීන කොන්දේ වේදනාවට හේතුවන්නේ අපි නොසිතන ආකාරයෙන්. එසේම ගර්භණි සමයේ සිරුරට අමතරව තවත් බරක් දරා සිටින නිසා උකුල් ප්‍රදේශය කැරකීමෙන් ඇතිවන ආබාධ තත්ත්වයයි. එසේම ගර්භණී සමයේ ඇතිවන හෝර්මෝන වෙනස්වීම නිසාත් මෘදු පටක වඩාත් මෘදු වී ඇදීමට ලක්වීමෙන් ආබාධවලට ලක්විය හැකියි.

නමුත් ගර්භණී වීමට පෙර, විවාහයටත් පෙර සිටම කොන්දේ ආබාධයකින් පීඩාවිදින කාන්තාවකට ගර්භණී සමය හෝ ප්‍රසූතිය බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළයුතු වනවා. සාමාන්‍ය කොන්දේ වේදනාව කිසිම අවස්ථාවක ගර්භණි වීමට බලපාන්නේ නැතිබව වෛද්‍ය මතයයි. ඒ වගේම ගර්භණී සමයේ ඇතිවන කොන්දේ වේදනාව ගර්භණී සමයෙන් පසුව පවතින්නේ නැහැ. ඉතාම කළාතුරකින් පැවතිය හැකි වුණත් සාමාන්‍යයෙන් එවැනි අවධානමක් නොමැති බව ස්ථිරයි.

නමුත් මෙහිදි ගර්භණී සමයට ඇතිවන කොන්දේ කැක්කුම පිළිබඳව අවධානය යොමු කිරීමත් වැදගත් වෙනවා.

  1. පෙර පවතින සාමාන්‍ය කොන්දේ කැක්කුමක් ගර්භණී සමයට හෝ ප්‍රසූතියට බලපාන්නේ නැහැ. නමුත් දරු ප්‍රසූතිය ආසන්නයේ ප්‍රසූතිය පහසුකරවීම සඳහා කොන්දේ ඛණ්ඩරා බුරුල් වීම නිසා අස්ථි පද්ධතිය බුරුල් වීමෙදී කොන්දේ වේදනාවක් ඇතිවන්නට පුළුවන්.
  2. උදරයේ බර වැඩිවීම නිසා කොන්දේ වක්‍රය තීව්‍ර වනවා. එයින් තිබෙන කොන්දේ වේදනාව තවත් වැඩිවෙන්න පුළුවන්.
  3. කොඳු ඇට අතර ඩිස්ක් එකක් තිබෙනවා. එවා එහෙට මෙහෙට වෙලා කොන්දේ ගෑවෙන්න පුළුවන්. මේවා කොඳු ඇට අතරින් පිටතට යන ස්නායු සහිත ඒවා නිසා වේදනාව තීව්‍රර වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී ජීවිතයේ එදිනෙදා පුරුදු පුහුණු වූ යම් යම් ක්‍රිකාරකම්වල වෙනසක් සිදු කිරීමට මව්වරුන් වගබලා ගතයුතුය. එක්වරම ඇඳෙන් නැගිටීම, උඩු අතට නිදාගැනීම, ශරීරය අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදීමට ද සැලකිලිමත් වියයුතුය. ගර්භණී සමයේ මව්වරුන් සෑම විටම කෙලින් සිට ගැනීමට උත්සහගත යුතුය. ඉඳගෙන සිටින විට පවා පිට ඍජුව තබා ගැනීම වඩාත් සුදුසු වන අතරම කකුල් තබා ගැනීමට කුඩා බංකුවක් වැනි යමක් භාවිත කිරීමේ හැකියාවක්ද පවතී. වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකීමටද මව්වරුන් උත්සහ ගැනීම වඩාත් යහපත් වේ. නිදා ගැනීමේදී ද වම් පසට හැරී උදරයට සහ කකුලට කොට්ට තබා ආධාර කර ගැනීම ද වඩාත් යෝග්‍ය වේ. මෙලෙස දිගින් දිගටම නිවැරදි ඉරියව් පවත්වාගැනීම ගර්භණී සමයේදී ඇතිවන කොන්දේ වේදනාවලින් ඔබව ඈත් කිරීමට උපකාරීවන බව මතක තබාගැනීම වඩාත් යහපත් වේ. ගර්භණී සමයේදී උස අඩි සහිත පාවහන් පැළඳීම ඇද වැටීම්වලට පමණක් නොව මෙවැනි කොන්දේ වේදනාවලටද හේතුවන බව මතක තබා ගත යුතුය. බිම ඇති යමක් ගැනීමට නැමෙන අවස්ථාවකදී නම් නැමිය යුත්තේ දණිස් දෙකෙන් පහළට මිස කොන්දෙන් නොවේ. නැවත නැගී සිටීමේදී පළමුව බර උඩට ඔසවා නැගී සිටිය යුත්තේ දෙවනුවයි. ගර්භණී මවක් නම් මොප් කිරීම, වැකියුම් කිරීම වැනි කාර්යන් තනිව නොකිරීමට වගබලා ගත යුතු අතර ඒ සඳහා අන් අයගේ උපකාර ලබා ගත යුතුය.

ශක්තිමත් ඇඳක නිදාගැනීමත් වඩාත් වැදගත්. මෙට්ටය එබෙන සුළු එකක් නම් කොන්දේ වේදනාව වැඩිවෙන්න පුළුවන්. බිම ඇති යමක් ගැනීම සඳහා කොන්ද නැමීම වෙනුවට දණහිස නැමීම කළයුතු වනවා. ලිස්සා හෝ කුඳු වී හිදගැනීම සුදුසු නැහැ.

මෙයට අමතරව පෙන්වාදිය යුතු වඩාත් වැදගත්ම කරුණ වන්නේ කොන්දේ අමාරුවක් සමඟ යම් හිරියක් මතුවනවා නම් ඒ තත්ත්වය භයානක බවයි. කකුලේ පැත්තකින් ඇතිවන හිරියක් නම්, විළුබ, කෙන්ඩ ආදි ප්‍රදේශ වේදනාවට පත්වනවා නම් හෝ හිරි වැටෙනවා නම් ශල්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වනවා. ක්‍රීම් වර්ග හිතුමතේ ආලේප කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.

විශේෂ වෛද්‍ය අශෝක කරුණානන්ද

සටහන චාපා හංසිනි ආටිගල