free stats

අලු‍ත උපන් දරු පැටියාගේ යහපත් සෞඛ්‍යය ට අම්ම⁣ගෙ මනා පිරිසිදු බව වැදගත් සාධකයක්. රෝහලේදී ව⁣ගේම නිවසේදීත් පිරිසිදු බව අත්‍යාවශ්‍ය වෙනවා.

සාමාන්‍යයෙන් දරුවා ප්‍රසූත කලාට පස්සේ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටිනවානම් පැය 24 ක් ගත වුනාට පසු මව ස්නානය කිරීම ඉතා වැදගත්. ඊට හේතුව ගර්භාෂයෙන් පිටවන ස්‍රාවයන් ව⁣ගේම දරුවා බිහිවීමේදී පිටවන රුධිරය ආදිය සෝදා හැරීමට මේ ස්නානය වැදගත් වීමයි. සීසර් සැත්කමක් හෝ සාමාන්‍ය ප්‍රසවයක් හෝ මේ කුමන ආකාර⁣යේ දරු ප්‍රසූතියක් සිදු වුවත් ස්නානය අනිවාර්යයි. මව දිනපතා ස්නානය කිරීම හෝ ඇග සේදීම හෝ සිදු කිරීම අනිවාර්යෙන්ම කල යුත්තක්. ස්නානයෙන් පසුව ඇතැම් මව්වරුන් දරුවාට කිරි දීම ප්‍රමාද කිරීම දකින්න ලැබෙනවා. වර්තමාන⁣ය වන විට පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ හා වෛද්‍ය උපදෙස් නිසා ඒම තත්වය බොහෝ දුරට අවම වීමක් දක්නට ලැබෙනවා. මෙසේ මව ස්නානයෙන් පසුව දරුවාට කිරි නොදී සිටීමට හේතුව වන්නේ කොණ්ඩයේ ඇති තෙත් ගතිය නිසා කිරි දීමෙන් දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවේ යැයි යන පදනම් විරහිත අදහස නිසයි. නමුත් ඝන රෙදි කඩකින් හෝ තුවායකින් තෙත හිස කෙස් ආවරණ ය කරගෙන ලදරුවාට කිරි දීමට හැකියි. එමගින් දරුවාට යම් රෝග තත්වයක් වැලදීමේ අවදානමක් නැහැ.

සාමාන්‍ය ප්‍රසූතියේදී මවගේ ප්‍රසව විවරයේ (යෝනි කැපුම්) කැපුම් වලට දමනු ලබන මැහුම් දෙක තුන පැසවීමට ඇතැම් අවස්ථාවල ඉඩ තියෙනවා. සීසර් සැත්කමකදී වුවත් මේ තත්වය ඇතිවන්නට ඉඩ තිබෙනවා. සැත්කම් තුවාල මත විෂබීජ තැවරී විවිධ ආසාදන සිදුවීම නිසා මවටත් , දරුවාටත් එය අහිතතකර ලෙස බලපාන්නට හැකියාවක් පවතිනවා. මේ නිසා එවැනි අවස්ථාවකදී ප්‍රතිජීවක ඖෂධ භාවිත කර එම ආසාදන තත්වයන් ඉක්මනින් සුව කර ගත යුතුයි. දරුවාට නිසි ලෙස කිරි දීමට නොහැකි වීමට මේ තුවාල දිගින් දිගටම පැවතුනහොත් බලපානවා. එම තුවාල පිරිසිදු කර වියලිව තබා ගැනීම අනිවාර්යයි.

  කිරි දීමේදි මව දිනකට දෙවතාවක් වත් අවම වශයෙන් පියයුරු පිරිසිදු කර ගත යුතුයි. උණු වතුර පෙඟවූ රෙදි කඩකින් එම ස්ථාන පිරිසිදු කර ගැනීම සුදුසුයි. පියයුරු සබන් දමා සේදීම අවම කල යුත්තේ සබන් වල පවතින විවිධ රසායනික සංයෝග නිසා දරුවා කිරි බීමට අදිමදි කිරීම නිසයි. ඇතැම් අවස්ථාවල කිරි දීමේදි දරුවා මල , මුත්‍ර පහ කිරීම නිසා සමහර  විට ඒවා සීසර් කැපුම් තුවාල මත තැවරීමට ඉඩ තිබෙනවා. ඒ සදහා ගණකම් තුවායක් හෝ රෙදි කඩක් මත දරුවා තබා ගෙන හෝ මව නිදා ගෙන හෝ දරුවාට කිරි දිය යුතුයි. එසේත් නැතිනම් මව එම සැත්කම් කල ප්‍රදේශය ආවරණය වන සේ රෙදි කැබැල්ලක් තබා ගැනීම හෝ කල යුතු වෙනවා.

   සාමාන්‍යයෙන් ප්‍රසූත විවරය තුල ඇති මැහුම් ලිහිල් වීම, ඉදිමීම වැනි ආසත්මිකතා නිසා මවට වරින් වර අපහසු ගතියක්, වේදනාවක් ඇතිවනවා. ඒ සඳහා උසින් වැඩි වතුර බේසමකට උණු ජලය හා ඇල් ජලය දමා වාඩි වී එම ප්‍රදේශය පිරිසිදු කිරීම උචිතයි. ලු‍ණු ස්වල්පයක් එම ජලයට මිශ්‍ර කිරීම වැදගත් වන්නේ එමගින් ප්‍රසූත විවරය ආශ්‍රිතව යම් කිසි විෂබීජයන් පවතී නම් ඒවා ඉවත් වී වඩාත් හොදින් එම ස්ථාන පිරිසිදු වීමක් සිදුවන නිසයි. එම ප්‍රසව විවරය කිසිවිටෙකත් ඇතිල්ලීම සුදුසු වන්නෙ 

නැහැ. මෘදුව තෙත මාත්තු කිරීම සුදුසුයි .

            සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් පසු මවගේ  යෝනියෙන් ( ප්‍රසව විවරයෙන්)  පිටවන ස්‍රාවයන් සදහා යෝනි ආවරණ (පෑඩ්)  පැලදීම අනිවාර්යයි. දරුවා ඉපදුනු පසුව මව නිතරම පිරිසිදු හා සැහැල්ලු‍ ඇදුම් ඇඳීමට සැලකිලිමත් විය යුතුයි. හොදින් සෝදා ඒවා මැදීමට ලක් කර භාවිතයට ගන්නෙ නම් ඉතා සුදුසුයි. ප්‍රසූතියෙන් පසු පියයුරු වල සවිමත් බව පවත්වා ගැනීම සදහා තමන්ට උචිත තන පට ඇඳීමට මව සැලකිලිමත් වීම වැදගත්.නැතිනම් පසු කාලයේදී පියයුරු එල්ලා වැටීමට ඉඩකඩ පවතිනවා.

           මවට සෙම්ප්‍රතිශ්‍යාව ,උණ වැලදී ඇත්නම් වහාම එම රෝග තත්ව සුව කර ගැනීම අවශ්‍යයයි. පාචනය වැනි බෝ වන රෝග හා නිව්මෝනියා වැනි රෝග මවට වැළඳීම ඉතා භයානක වන්නේ එය බිළිදාට මවගෙන් වැළදීමේ අවදානමක් පවතින නිසයි.  බිළිදාගේ ඇදුම් හොඳින් පිරිසිදු කර වෙනම අසුරණයක තබා ගැනීම වැදගත්. ගස් අතු මත, තණ බිසි මත හෝ දැඩි දූවිලි වදින ස්ථානවල බිළිඳාගේ ඇඳුම් වැනීම නොකල යුතුයි. ළදරුවා ස්පර්ශ කිරීමේදී මව තමන්ගෙ දෑත් හොඳින් පිරිසිදු කරගත යුතුයි. එමෙන්ම නිය පොතු කොටට කැපිය යුතුය. කුඩා ළදරුවන්ට ඉක්මනින් විසබීජ ආසාදනය වීම ඊට හේතුවයි. දරුවාගේ පෙකණි වැල වැටෙන තුරු මව එම ස්ථානය ස්පර්ශ කිරීමේදි සිය දෑත් පිරිසිදුව තබා ගැනීම වැදගත්.

         මේ ආකාරයෙන් මව තමන්ගෙ පෞද්ගලික පිරිසිදු බව මෙන්ම බිළිදා සිටින පරිසරය පිළිබදවත් සැලකිලිමත් වීම වැදගත්. එය ඔබේ බිළිඳාට අපහසුවකින් තොරව නිරෝගී වර්ධනයකට මනා රුකුලක් වෙනවා.

         කුමුදිකා ඩී සපුතන්ත්‍රි

විශ්‍රාමික පවුල් සෞඛ්‍ය නිලධාරිනී
මැණිකේ සුරවීර .