සුපිරි ඉන්දීය නළු අමීර් කාන් විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ එමෙන්ම රංගනයෙන් ද දායක වූ තාරේ සමීන් පර් (Thare Samipar)චිත්‍රපටය ඔබ එක් වරක් හෝ නරඹා ඇතැයි සිතමි. එහි ප්‍රධාන චරිතය වූ ඉෂාන් ගේ ජිවිත කතාව පිළිබඳව මවක් හෝ පියෙක් ලෙස ඔබ සංවේදි වන්නට ඇති. සමහර විට එම වකවානුවේ ඔබ විවාහ දිවියට ඇතුළත් නොවී සිටියත් ප්‍රේක්ෂකයෙකු ලෙස ඔහුගේ චරිතය පිළිබඳව ඔබ සංවේදී වන්නට ඇති. සාමාන්‍ය මට්ටමෙන් වෙනස් අධ්‍යාපනය ලැබීමේ ගැටළු සහිත දරුවෙක් පිළිබඳව මෙම චිත්‍රපටයෙන් කියවේ. ඒ නිසාම පවුලෙන් කොන්වන දරුවා තනිව තමාගේම ලෝකයක් නිර්මාණය කරගන්නා අතර ඔහු තුළ ඇති ආතතිය හා වේදනාව හැසිරීම තුළින් පිළිබිඹු වන අයුරු චිත්‍රපටය පුරාම පෙනෙන්නට තිබේ. චිත්‍රපටයේ එක් තැනක ඉෂාන් විසින් අඳින ලද චිත්‍ර අඩංගු පොතක් පෙරලන දර්ශනයක් අන්තර්ගත වේ. මේ පොත පුරා ඇත්තේ සිය පියා මව සහ සහෝදරයා සමඟ ඉෂාන් පෙනී සිටින චිත්‍ර පෙළකි. එක දිගට පොත පෙරලාගෙන යනවිට ටිකෙන් ටික තමා පවුලෙන් ඈත් වී යන ආකාරය දැකගත හැකි අතර අවසාන රූපයේ සිටින්නේ අම්මා තාත්තා සහ අයියා පමණි.
දරුවන් සෑම විටම ඔබ සිතනවාටත් වඩා ආදරය බලාපොරොත්තු වන්නෝ වෙති. ඔවුන් කෙතරම් ඔබෙන් එය බලාපොරොත්තු වේද යත් සමහර විට උවමනාවට වඩා දඟකාරකම් හිතුවක්කාරකම් තුළින් පවා බලාපොරොත්තු වන්නේ එකි අවධානය සහ ආදරයයි. මේ නිසාම සමහර හැසිරීම් දෙස බලා දරුවා පිළිබඳව තරහක් ඇති කරගන්නවා වෙනුවට එම හැසිරීම් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔහු සතුටින් සිටිනවාද නැද්ද යන්න පිළිබඳව හඳුනාගත හැකියි. විශේෂයෙන්ම දරුවෙකුගේ මුහුණෙන්, ක්‍රියාකාරකම් තුළින්, අඳින චිත්රවලින්, බෝනික්කන්ට සලකන ආකාරයෙන් ඔහු හෝ ඇය සිටින්නේ සතුටින්ද දුකෙන්ද යන්න හඳුනාගත හැකියි.
මානසික වශයෙන් අසතුටින් ජීවත් වන දරුවන් අනෙක් දරුවන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වේ. ඔවුන් නිතර නිහඬව සිටින අතර අනෙක් සාමාන්‍ය දරුවන් මෙන් දොඩමළු නොවේ. සමහර අවස්ථාවලදී අසන දෙයට පමණක් උත්තර ලබා දි නිහඬ වේ. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් සිදුකරන ක්‍රියාකාරකම්වලට මෙවැනි දරුවන් මැලිකමක් දක්වයි. එසේම විනාශකාරි දරුවන් ද සිටියි. අනෙක් දරුවන්ට පහර දෙන කරදර කරන දරුවන් බොහෝ දෙනෙක් මෙවැනි ආතතියෙන් පෙළෙන දරුවන් වෙති.
විශේෂයෙන්ම අලුත උපන් දරුවන් සිටින නිවෙස්වල වැඩිහිටි දරුවා තුළ මෙවැනි ලක්ෂණ දක්නට ලැබෙන බව අප පෙර ලිපිවලදී සාකච්ඡා කලෙමු. මෙවැනි තත්ත්වයන් ඇතිවන්නේ දරුවා තනිව විශාල කම්පනයක දරාගන්නා අවස්ථාවේ දීයි. කුඩා දරුවන් මෙලෙස අනෙක් දරුවන්ට පහර දීමට බලපාන හේතුවක් වන්නේ ඔවුන් තුළ පවතින දැඩි ආතතියයි. මේ නිසාම අනෙක් අය සතුටින් සිටීම හෝ සිනාසීම කෑ ගැසීම මේ දරුවන්ට දැනෙන්නේ කරදරයක් ලෙසයි. එමෙන්ම මේ දරුවන් ගීත ගායනා කිරීම, අත්පුඩි ගැසීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වීමටත් කැමැත්තක් දක්වන්නේ නැහැ.
චිත්‍ර ඇඳීමට හැකි සාමාන්‍ය වයස් මට්ටමේ දරුවන් තුළ ඇති මානසික කම්පනයන් ඔවුන් අඳිනු ලබන චිත්‍ර මඟින් හඳුනාගත හැකිය. සමහර දරුවන් පවුලේ ඡායාරූප අඳින අවස්ථාවලදී පියාගේ ඡායාරූපය ඇඳීමෙන් වැළකීම, පියාගේ ඡායාරූපය ඇඳ එය කළු පැහැයෙන් කටුගෑම ආදිය මඟින් පියා සහ දරුවා කෙරෙහි ඇති දුර්ස්ථ බව හඳුනාගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි දරුවන් සිටින පවුල්වල බීමත්ව නිවසට එන පියා පවුලේ අයට පහර දීම, විශේෂයෙන්ම මවට පහර දීම නිරන්තරයෙන් සිදුවේ. එමෙන්ම වර්ණ තෝරාගන්නා විට අධික රතු පැහැය, කළු පැහැය වැඩි වශයෙන් තෝරා ගනියි. රුධිරය වැනි චිත්‍ර ඇඳීමට මෙවැනි දරුවන් වැඩි ප්‍රියතාවයක් පෙන්වීම දක්නට ලැබේ. මෙවැනි දරුවන් බොහෝ විට පෙර පාසැල් යාමට කැමැත්තක් දක්වන්නෙත් නැහැ. ඔවුන් පෙර පාසැල් ගියවිට මවට පහර දේ යැයි බියෙන් ඔවුන් මෙලෙස පෙර පාසැල් යාමට මැලිකමක් දක්වයි.
මවක් හෝ පියෙක් නිරන්තරයෙන් තම දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳව විමසිලිමත් වනවා නම් මේ තත්ත්වය ඉතාම පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන්ම නිවසෙන් නොව පෙර පාසලෙන්, අවට පරිසරයේ සිටින මිතුරන්ගෙන් හෝ ඥාතීන්ගෙන් දරුවාට යම් හිරිහැරයක් සිදුවේ නම් දරුවාගේ හැසිරීම් රටාවෙන් පහසුවෙන් එය හඳුනාගත හැකියි. සමහර අවස්ථාවලදී පෙර පාසැලෙන් සිදුවන යම් යම් හිරිහැර නිසාත් දරුවා පෙර පාසැල් යාමට මැළිකමක් දක්වයි. බොහෝ විට දරුවන් දන්නේ හැඬීමට හෝ සාමාන්‍ය චර්යා රටාවෙන් මිදී නිහඬ වීමට පමණයි. දරුවන් තුළ මේ පිළිබඳව අදහස් දැක්වීමට හැකියාවක් නැත. එබැවින් දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳව සුවිශේෂි අවධානයක් තිබීම වැදගත් වේ.
දරුවාගේ යම් කිසි සුවිශේෂි වෙනස්කමක් තිබේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව වඩාත් සුදුසුම පියවර වන්නේ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමයි. මෙහිදි ළමා මනෝ වෛද්‍ය උපදෙස් සහිතව දරුවාට ප්‍රතිකාර කිරීම ආරම්භ වන අතර මේ සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම චර්යාත්මක ප්‍රතිකාර (Behaviour Theropy) ප්‍රතිකාර පවතියි. සායනයේ දී දෙමව්පියන්ටත් උපදේශනය ලබාදෙන අතර එම උපදෙස් අනුව ක්‍රියාත්මක වීමෙන් දරුවා සුවපත් කළ හැකියි.
එසේම තාරේ සමීන්පර් චිත්‍රපටයේ දී ඉෂාන් ගේ ජීවිතය වෙනස් කිරීමට ගුරුවරයාට හැකි වූ සේ පෙර පාසල තුල යම් දරුවෙක් මෙවන් හැසිරීමක් පෙන්වනවා නම් ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ලෙස ඒ පිළිබඳව සංවේදී වෙමින් දරුවාට සහය විය හැකිය. එයින් ඔහුට සිය හැසිරීම වෙනස් කරගැනීමට සහයක් හිමිවන අතර තමා පිළිබඳව විශ්වාසයක් ඇතිවීමට එවැනි සහයක් හේතු වේ.
සටහන චාපා හංසිනි ආටිගල
වෛද්‍ය පුණ්‍යානි බන්ධුතිලක
ශික්ෂණ රෝහල කළුබෝවිල