free stats

කැන්ඩිඩා කියන්නේ දිලීර ආසාදනයක් නිසා ඇතිවන රෝග තත්ත්වයක්. මෙය යීස්ට් විශේෂයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මේ අතරින් Candida Albicans කියන තත්ත්වය බහුලවම දකින්න ලැබෙනවා. කාන්තාවන්ගෙන් 75% ක් ජීවිතයේ කුමන හෝ කාලයක කැන්ඩිඩා ආසාදනයකට ගොදුරු විය හැකියි. කාන්තාවන්ගෙන් 45 -50% අතර ප්‍රමාණයකට මේ තත්ත්වයට දෙවතාවක් හෝ කිහිපවතාවක් මුහුණ දෙන්න සිදුවෙනවා.

කාන්තාවකගේ යෝනි මාර්ගයේ 20% කැන්ඩිඩා දිලීරය අන්තර්ගතයි. ඒක සාමාන්‍ය තත්ත්වයක්. යෝනි මාර්ගයේ පරිසරය ආම්ලික තත්ත්වයෙන් යුක්ත නිසා කැන්ඩිඩා දීලීරයට ආසාදනයක් තරමට වර්ධනය වීමට අවශ්‍ය පරිසරයක් ඇත්තේ නැහැ. නමුත් අපේ සිරුරේ PH අගය යම් හේතුවක් නිසා වැඩි වුණොත් තිබෙන කැන්ඩිඩා තත්ත්වය වර්ධනය වෙනවා. ඒ නිසා PH වැඩි වීමට බලපාන හේතු පිළිබඳව අවධානය යොමු කිරීමත් වැදගත්.

සමහර ඖෂධ වර්ග නිසා

විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ වර්ග ගන්න අයට මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්.

සබන් සහිත ජලයෙ වැඩි වේලාවක් සිටීම

සමහර ලෙඩ රෝග

විවිධ ලෙඩ රෝග නිසා එහි ප්‍රථිපලයක් විදියට කැන්ඩිඩා ආසාදන ඇතිවෙන්න පුළුවන්. දියවැඩියා රෝගය මේ අතරින් ප්‍රධානයි.

හෝර්මෝන අසමතුලිතතා

ගර්භණී තත්ත්වයේ දී හෝර්මෝන අසමතුලිතතා මතුවිය හැකියි.

අපිරිසුදුකම

අපිරිසිදු යට ඇඳුම් භාවිතය, යෝනි ප්‍රදේශය නිසි ලෙස පවිත්‍රව තබා නොගැනීම, මුත්‍රා පිට කිරීමෙන් පසු සේදීමෙන් වැළකීම සහ සෝදා ටිෂු භාවිතයෙන් වතුර ඉවත් නොකිරීම

උපත් පාලන පෙති වර්ග භාවිතය

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළු

අනාරක්‍ෂිත ලිංගික සබධතා

අනාරක්‍ෂිත ලිංගික සබධතා නිසා කැන්ඩිඩා රෝගය ඇතිවිය හැකියි. නමුත් මෙය ලිංගාශ්‍රිතව ඇතිවන සමාජ රෝග තත්ත්වක් නොවන නිසා අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැහැ.

ඒ වගේම ගර්භණී සමයේ දී කැන්ඩිඩා තත්ත්වය ඇතිවීමේ විශේෂ අවධානමක් තිබෙනවා. දරුවෙක් පිළිසිඳ ගැනීමත් සමඟ කාන්තාවකගේ යෝනි මාර්ගයේ පවතින සාමන්‍ය තත්ත්වය ආසාදනයක් දක්වා වර්ධනය වීමයි. නමුත් මෙයින් භයානක ප්‍රතිපල ඇතිවෙන්නේ නැහැ. දරුවා සාමාන්‍ය ප්‍රසූතියෙන් බිහිවන අවස්ථාවේ දී දරුවාට රෝගය බෝවීමක් සිදුවන්නෙත් නැහැ.

රෝග ලක්‍ෂණ

අධික කැසීම

කිරි පැහැති ශ්‍රාවයක් පිටවීම.
යෝගට් කැබලි හෝ චීස් කැබලි ආකාරයේ කැටිති යෝනි මාර්ගයේ හෝ යට ඇඳුමෙහි තිබෙනු දැකගන්න පුළුවන්.

තුවාල සිදුවී ඇති ආකාරයක් දැකගන්න පුළුවන්. සමහර විට මේ නිසාම අධික දැවිල්ලක් ඇතිවෙනවා.

ලිංගික කාර්යයේ දී වේදනාවක් දැනීම සහ රුධිරය පිටවීම

ප්‍රතිකාර

මේ සඳහාම නිෂ්පාදිත Anti Fungul cream වර්ග තිබෙනවා. එම ආලේපනයක් වෛද්‍ය උපදෙස් පරිදි භාවිත කිරීම මඟින් රෝග තත්ත්වය පාලනය කරන්නට පුළුවන්. දැනට විවාහ වී සිටින කාන්තාවක් නම් යෝනි මාර්ගය හරහා ඇතුළු කළ හැකි පෙති භාවිතයෙන් ද රෝගයට ප්‍රතිකාර ලබා දිය හැකියි. මෙයට අමතරව ගිලීමට ලබාදෙන පෙති වර්ගත් තිබෙනවා.

නමුත් ගර්භණී හෝ දරුවාට මව්කිරි ලබාදෙන මවක් නම් බෙහෙත් වර්ග ගැනීමට පෙර ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළයුතුයි. ඒ වගේම ගර්භණී සමයේ දී කැන්ඩිඩා ආසාදන ඇත්නම් හෝ වෙනත් කහ පැහැති යෝගට් වැනි දියරයක් පිටවන්නේ නම් අනෙකුත් රෝග ලක්‍ෂණ තිබුණත් නැතත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යයි. සමහර අවස්ථාවලදී වෝටර් බෑගයට හානී වීම නිසා පිටවන ශ්‍රාවයත් මෙවැනි ලක්‍ෂණවලින් යුක්ත නිසා එවැනි ශ්‍රාවයන් නොසලකා සිටීම භයානකයි.

වළක්වා ගැනීම

පෞද්ගලික පවිත්‍රතාවය ඉතාමත් වැදගත් සාධකයකි. දියවැඩියා රෝගය පාලනය කරගැනීම මඟින් මේ තත්ත්වය වළක්වාගන්න පුළුවන්. මේ සඳහා විවාහයට පෙර සිටම පැණි රස සහ සීනි පාලනය ක්‍රමවත්ව පවත්වාගෙන යාම වැදගත් වනවා. යට ඇඳුම් තෝරාගන්නා විට කපු රෙද්දෙන් නිමකළ යට ඇඳුම් තෝරාගැනීමත්, ඒවා නිසි ලෙස සබන් ඉවත්වනතුරු සෝදා හොඳින් අව්වේ වියලා ඉස්ත්‍රික්කයෙන් මැදගැනීමෙන් අනතුරුව භාවිත කිරීමත් වැදගත් වනවා. සමහර කාන්තාවන් යෝනි ප්‍රදේශයට සුවඳ විලවුන් ඉසීම සිදුකලත් එය එතරම් සුදුසු දෙයක් නෙවෙයි. එයින් කැන්ඩිඩා තත්ත්වය වර්ධනය විය හැකියි.

ගර්භණී සමයට පෙර සිටම කැන්ඩිඩා ආසාදන තත්ත්වයක් තිබෙන කාන්තාවක් නම් එය ගැබ්ගැනීමට ප්‍රථම සුවකරගැනීම වැදගත් වනවා. එසේම විවාහයට පෙර මෙවැනි තත්ත්වයක් පැවතුනේ නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබාගත යුතුයි. නැතිනම් සැමියාට බෝ වීමත් සිදුවිය හැකියි. එසේම පිරිමි පාර්ශවයේත් මේ තත්ත්වය දක්නට ලැබෙන නිසා සැලකිලිමත් වීමත් වැදගත් වනවා.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි
ඉන්දික සේනාරත්න මහතා

සටහන චාපා හංසිනි ආටිගල