සෑම කාන්තාවකටම එකම වයසේ දී විවාහ විමට හෝ දරුවන් ලැබීමට අවස්ථාවක් නොමැත. මේ නිසාම කාන්තාවකට මව්පදවිය උරුම වන්නේ විවිධ වයස් සීමාවලදීය. නමුත් වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙන පරිදි දරුවකු බිහිකිරිමට සුදුසුම වයස් සීමාව වන්නේ වයස අවුරුදු 22 ත් 35 ත් අතර කාලයයි. වයස 22 ට පෙර සහ වයස අවුරුදු 35 ට පසුව බිහිවන දරුවන් විවිධ සංකූලතා සහිත දරුවන් වීමට වැඩි ඉඩක් පවතියි. එය මව් පදපවියට සුදානම් වන මව්වරුන් 380 ක් අතරින් එක් අයෙකුට පවතින අවධානමකි.
මේ හැරුණු විට දරුවා අංගවිකල දරුවකු වීමට බලපාන තවත් හේතු රාශියක් තිබේ. යම් මවකට මීට පෙර උපන් දරුවන්ගෙන් එක් දරුවකු හෝ අංගවිකල වුයේ නම් මීලඟ දරු ප්‍රසුතියට පෙර වෛද්‍ය උපදෙස් ගැනිම වඩාත් සුදුසුය. සෑම කාන්තාවකට ම බලපාන කරුණක් නොවුනත් මේ පිළිබඳව වෛද්‍ය උපදෙස් ගැනීම අත්‍යවශ්‍ය වේ. එමඟින් පසු කාලයේ දි මවට හෝ දරුවාට ඇතිවිය හැකි සංකුලතා කලින්ම හදුනාගත හැකිය. එමෙන්ම තව දුරටත් ඇයට දරුවන් බිහිකල හැකිද යම් අවධානමක් පවතීද යන්න හදුනාගැනීමට අවස්ථාව ලැබේ.
ගර්භනී සමයේ ඇතිවන විවිධ රෝග නිසාද දරුවන් අංගවිකල වීමේ හැකියාවක් පවතියි. සමහර විට ගැබ් ගැනීමට පෙර සිටම පවතින රෝගාබාධද මේ සඳහා හේතු වේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමඟ මෙම අවදියේදී ම රෝග හඳුනා ගැනීමට අවස්ථාව සැලසී ඇත. මවගේ රුධිර සාම්පල සහ පාරධ්වනි පරීක්ෂණ මේ සඳහා උපකාරී වෙයි. පාරධ්වනි පරීක්ෂණ, කළලාවාරික තරලය පරීක්ෂාව, වැදැමහ කොටස පරීක්ෂාව සහ කළලේ රුධිර පරීක්ෂාව මේ අතර ප්‍රධානය. කළලයේ ව්‍යුහවල අසමානතා, වර්ණදේහ විකෘති වීම මේ මෙගින් හඳුනාගත හැකිය. ඇතැම් රටවල මෙම පරීක්ෂණවල ප්‍රථිඵල අනුව කළලයේ විකෘතිතා පවතින්නේ නම් ගබ්සාවක් සිදු කිරීමට අවසර තිබේ.
ගර්භණී මවගේ රුධිරය පරීක්ෂාව හරහා කළලයට එරෙහිව විවිධ ප්‍රතිදේහ ගොඩනැගී ඇත්දැයි දැන ගැනීමට හැකියාව ලැබෙයි. හෙපටයිටිස් බී, සිපිලිස්, රුබෙල්ලා, HIV වැනි ලිංගාශ්‍රිත රෝග මෙන්ම වයිරස් ආසාදන ද මෙමගින්
හදුනාගනියි. මෙම රෝග ඇතිවන මව්වරුන් අතරින් යම් ප්‍රතිශතයකට අංගවිකල දරුවන් බ්හිවීමේ හැකියාවක් පවති. එබැවින් එවැනි රෝග තත්ත්වයන් වැලදි ඇති කාන්තාවන් ගැබ් ගැනීමෙන් පසුව නිරන්තර වෛද්‍ය අවධානයට යොමු වීම වැදගත් ය.
කුඩා දරුවන්ගේ සුසුම්නාව නිර්මාණයේදී වන විකෘතිතා සම්බන්ධව ද මවගේ රුධිර සාම්පල පරීක්ෂාවෙන් අවබෝධයක් ලබා ගත හැකිය. මෙවැනි අවස්ථාවල දී මවගේ රුධිර වස්තුවල Alphafetaprotern නම් සංයෝගය අසාමාන්‍ය ලෙස ඉහළ යයි. ඩවුන්ස් සහ ලක්ෂණය හඳුනාගැනීම ද මීට සමාන ආකාරයට රුධිර සාම්පල පරීක්ෂණයෙන් සිදුකළ හැකිවෙයි. මෙහිදී ඉහත සඳහන් කළ A FP වලට අමතරව HCG සහ UE3 හෝමෝනය සංයෝගය සංඛ්‍යාවද ඉහළ යයි.
පාරධ්වනි ස්කෑන් පරීක්ෂණය ද තවත් වැදගත් රෝග නීර්ණ උපායකි. මෙමගින් කලලයේ වයස, තම කුස තුළ වැඩෙන කළල කොපමණ සංඛ්‍යවක් පවතී ද යන්න ගැන අවබෝධයක් ලබා ගත හැකිය. කළලයේ ව්‍යුහයේ වන වෙනස්කම් වලින් සියයට හැත්තෑවකට අධික ප්‍රමාණයක් පාරධ්වනි ස්කෑන් පරීක්ෂාවෙන් හඳුනාගත හැකිය. ක්රමාණුකූලව වැඩෙන කළලය ගර්භණී සමයේ සති ගණනට අනුපාතික ලෙස වර්ධනය වේද වර්ධන අසමානතා පවතී ද යන්න ගැන අවබෝධයක් පාරධ්වනි ස්කෑන් පරීක්ෂාවෙන් ලබා ගත හැකිය. කළලය වටා වන කළලාවාරික තරලය පරීක්ෂාව මගින් කළලයට පවතින රෝගාබාධ ගැන පූර්ව නිගමනවලට එළඹීමට හැකියාව ලැබෙයි. මවට දිවැඩියාව රෝගය පවතින විට කළලාවාරික තරලය වැඩිපුර ශ්‍රාවය වෙයි. කළලයේ ආහාර මාර්ගයේ අවහිරතා පවතින විටද කළලාවාරික තරලය වැඩිපුර එකතුවීම සිදුවෙයි. කළලාවාරික තරලය පරීක්ෂණයෙන් පරිවෘත්තිය රෝගාබාධ වල ආරම්භක අවස්ථාව ද හඳුනාගැනීමට හැකිය.
වෛද්‍ය උපදෙස් ගතයුතු තවත් වැදගත් කණ්ඩායමක් වන්නේ පරම්පරාවෙන් පැවත එන ජානමය රෝග ඇති අයයි. ජානමය රෝග බොහෝවිට අංගවිකල දරුවන් බිහිවීමට හේතු වේ. මවගේ වැදැමහ කොටස (Chorionic Villus Sampling) පරීක්ෂණයෙන් තැලසීමියාව, හිමෝග්ලියාව A සහ E අක්මාව ආශ්රිත රෝග මාංශ පේෂී රෝගාබාධ ආදිය හඳුනාගත හැකිය. පාරධ්වනි ස්කෑන් පරීක්ෂණය මගින් කළයේ හිස සිට දෙපතුල දක්වා බොහෝ රෝගාබාධ ගැන පූර්ව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.
මේ සියළු පූර්ව ප්‍රසව සූදානම් වීම මධ්‍යයේ වුවද, විවිධ සංකූලතා පවතින දරු උපත් සිදුවීම් නොවැළැක්විය හැකිය. මේ අතර සුලබ සිදුවීමක් වන්නේ නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර දරු උපත සිදු වෙයි. මෙවැනි අවස්ථාවලදී නවජ දරුවාගේ පෙනහළු වර්ධනය නිසි පරිදි සිදු වී නොමැති කමින්, දරුවාට ශ්වසන අපහසුතා ඇති වෙයි. මෙය වළක්වා ගැනීමට විශේෂ ඖෂධීය ප්‍රතිකාර ලබා දීමට සිදුවෙයි.
මවගේ රුධිර ගණය සෘණ (Negative) හා ධන (Positive) වර්ගයේ නම් එයට ගැළපෙන පරිදි ක්‍රියා කිරීමට සිදුවෙයි. මේ සම්බන්ධව වෛද්‍යවරුන් දැඩි අවධානය යොමු කළ යුතුය. ඇතැම් රටවල මවගේ මව්කුස තුළ සිටියදීම වැඩෙන කළලයට ශල්‍යකර්ම සිදු කරන තරමට වෛද්‍ය විද්‍යාව අද දියුණු තලයට පැමිණ ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ
පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෛද්‍ය
ජී චමල් සංජීව මහතා
සටහන තාරුකා ළිඳකුඹුර