free stats

කුඩා දරුපැටියා කුමන රෝගයකින් පෙළුන ද මව්වරුන් සිතන්නේ දරුවා ආහාර ගැනීමට දක්වන මැලිකම එයට හේතුව බවයි. මෙම ගැටළුව අධිබර සහ ස්ථුල දරුවන්ට මෙන්ම අඩු බර දරුවන්ට පවතින එක හා සමාන ගැටළුවකි. මේ නිසාම දරුවාට ආහාර කැවීමට පෙර, එය සමබල ආහාරයක්ද පෝෂ්‍ය පදාර්ථ නිසිලෙස අන්තර්ගත වුණේ ද, ආහාර ප්‍රමාණය දරුවාට ප්‍රමාණවත් ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. මව්වරුන් සිතන්නේ සකසන සියලු ආහාර “දරුවා ගිලදැමිය යුතු” බවයි. ආහාර ප්‍රතික්‍ෂේප කරද්දිත් බලහත්කාරයෙන් ආහාර ගිල්ලනු දක්නට ලැබෙන්නේ මේ නිසායි. එබැවින් නිසි පෝෂණය ලැබෙන පරිදි ආහාර ප්‍රමාණවත් ලෙස ලබාදෙන ආකාරය පිළිබඳව ඉගෙනීම -මව්වරුන්ට වඩාත් වැදගත් වේ.

  1. දරුවාගේ බර පිළිබඳව සෑහීමට පත්වන්නේ කෙසේද?

ඒ සඳහා නිසි ක්‍රම වේදයක් තිබේ. දරුවෙකුගේ උපත් බර කිලෝ ග්‍රෑම් 2.5 ත් කිලෝ ග්‍රෑම් 4 ත් අතර ප්‍රමාණයකින් යුක්ත වේ. එය මුල් සතිය තුළ දී සියයට දහයකින් පමණ අඩුවන අතර දෙවැනි සතියේ දී එම බර නැවත උපත් බරට සමාන වේ. ඉන්පසු සෑම සතියකට වරක්ම ග්‍රෑම් 200 ත් 250 ත් අතර ප්‍රමාණයකින් බර වැඩි වේ.

එනම් මුල් මාසය තුළ ග්‍රෑම් 200 ත් 250ත් අතර වැඩිවන බර ඉන් එතැන් සිට ග්‍රෑම් 800 ත් 1000 ත් අතර ප්‍රමාණයකින් දරුවෙකුගේ බර වැඩි වේ. එසේ වැඩිවන ළඳරුවාගේ බර මාස පහක් පමණ වන විට උපත් බර මෙන් දෙගුණයක් වනු ඇත. එය වසරක් ගතවන විට උපත් බර මෙන් තුන්ගුණයක් පමණ වේ. අවුරුදු එකේ සිට දරුවාගේ උපත් බරට සාපේක්‍ෂව බර වැඩිවීමක් සිදුවේ.

මෙහි සරල අදහස තේරුම් ගැනීමට ඔබ ළඟ ඇති ළමා සෞඛ්‍ය වර්ධක සටහනෙහි බර සම්බන්ධ පිටුව පෙරලා එහි ඇති ප්‍රස්ථාරය අධ්‍යනය කළයුතුයි. එහි දක්නට ලැබෙන විවිධ වර්ණවලින් ඔබේ දරුවාගේ උපත සිදුවී ඇත්තේ කිනම් වර්ණයෙන් ද ඊට සාපේක්‍ෂව දරුවාගේ බර වර්ධනයත් සමඟ දරුවාගේ වයසට අදාල බර සඳහන් කළ විට එය ඇත්තේ එම
වර්ණයේම හෝ ඉන් ඉහළට ඇති වර්ණයක නම් දරුවාගේ බර සම්බන්ධව ඔබට සෑහීමකට පත්විය හැකියි. දරුවාගේ බර සටහන් වන්නේ එයින් පහල වර්ණයක නම් ඒ සම්බන්ධයෙන් විමසා බලා අවශ්‍ය උපදෙස් ලබාගත යුතුයි.

  1. ඔබගේ දරුවා කෑම රුචියක් නොදක්වන දරුවෙක් නම් එම දරුවාට අවශ්‍ය ශක්ති ප්‍රමාණය ලබාදෙන්නේ කෙසේ ද?

මෙය මූලික වශයෙන් තුන් ආකාරයකට කළ හැකියි.

  1. ආහාර වේල් අතර මනා පරතරයක් (පැය දෙකක් හෝ තුනක්) තබාගැනීම.

මෙහිදි වැදගත් වනුයේ ආහාර වේල් අතර කිසිදු අමතර ආහාර වේලක් නොදී සිටීමයි. එවිට දරුවා ප්‍රධාන ආහාර වේලක් ගන්නා අවස්ථාවේ ප්‍රමාණවත් ලෙස ආහාර ගැනීමට යොමුවේ. එසේ නොකල විට කුසගින්නේ සිටීමට සිදුවන බව ද දරුවා අවබෝධ කරගනියි.

  1. විවිධ රසැති ආහාර විවිධ ආකාරයෙන් සකසා දීම

වැඩිහිටියන් වන අපි ද ආහාර ගැනීමේ දි ඉහත කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වේ. විවිධ වර්ණ සහිත ආහාර, විවිධ රසයෙන් යුතු ආහාර සහ විවිධ වර්ගයේ ආහාර දරුවාගේ ආහාර රුචිය වැඩිකරයි. සීත කෑම, උශ්ණ කෑම, සෙම වැඩිකරන ආහාර ලෙස ආහාර වර්ග කිරීම නිසා සමහර විටි හොඳ පෝෂණයෙන් යුතු ආහාර දරුවාට මඟහැරි යා හැකිය. එම නිසා එවැනි ආහාර වර්ගවලට පත්තියම් වන වෙනත් ආහාර වර්ග සමඟ මිශ්‍ර කර ආහාරයට දීම වඩාත් වැදගත්ය. එනම් ඉස්සෝ වැනි ආහාරයක් ලබාදෙන්නේ නම් සුළු ප්‍රමාණයක් ලබාදිය යුතු අතර පිසින ලද ඉස්සෝ වෑංජනයට මුරුංගා දළු එක්කිරීම එහි උශ්ණ ගතිය පහව යාමට හේතුවෙයි. මෙහිදි වඩාත් වැදගත් වන්නේ දරුවාට ආසාත්මික නොවන ආහාර ලබාදීමයි.

  1. ශක්ති ජනක ආහාර දිනපතා එක්කිරීම

මේදය සහිත ආහාර ඉතාම වැදගත් වේ. යෝගර්ට්, චීස්, බටර් සහ අනෙකුත් මේද ප්‍රෝටීන අඩංගු ආහාර මේ සඳහා වඩාත් වැදගත් වේ. මෙහිදි බර වැඩි දරුවන් සඳහා අධි ප්‍රෝටීන හෝ මේදය අඩංගු ආහාර සුදුසු නොවේ. නමුත් බර අඩු දරුවෙකුට වෛi උපදෙස් පරිදි වැඩි ප්‍රෝටීන සහ මේද සහිත ආහාර ලබාදිය හැකිය. සාමාන්‍ය බර සහිත දරුවෙක් සඳහා දිනකට ප්‍රෝටීන ආහාර සාමාන්‍ය ප්‍රමාණයක් සහ මේදය සහිත ආහාර සාමාන්‍ය ප්‍රමාණයක් ලබාදීම වඩාත් සුදුසු වනවා. පෝෂණ ගුණයෙන් වැඩි ප්‍රෝටීන අධික මස් හා මාළු වර්ග දරුවාට ලබාදිය හැකිය. බිත්තර හොඳ පෝෂ්‍ය පදාර්ථ සහිත පහසුවෙන් ලබාගත හැකි ආහාරයකි.

වසරක් පිරුණු දරුවෙක්ට පිටිකිරි ලබාදී කුස පිරවීම සුදුසු නැත. එහි ඇති ශක්ති පදාර්ථ දරුවාට ප්‍රමාණවත් නොවේ. එසේම මව්කිරි ද වසරක් පමණ ගතවන විට ශක්ති පදාර්ථවලින් අවම වන නිසා ප්‍රධාන ආහාර වේලක් වෙත දරුවා හුරුකරගැනීම ඉතාම වැදගත් වේ. වර්ධනය සඳහා වැඩියෙන් ශක්තිය වැය කරන දරුවන්ට වැඩි වශයෙන් කැබලි සහිත ඝණ ආහාර ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

සටහන අරුණි ජයසේකර

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ
ළමාරෝග විශේෂඥ වෛද්‍ය
අරුණ ද සිල්වා මහතා.