free stats

මව් පදවියට සුදානම් වන ඔබ ඔබේ ගර්භාෂයේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍යයි. එයට හේතුව සමහර අවස්ථාවලදී ගර්භාෂයේ ඇතිවන යම් යම් අසාමාන්‍යතා ඔබේ මවක් වීමේ සිහිනය බොඳ කරන්නට හේතු වීමයි. හේතුවක් නොමැතිව සිදුවන වඳභාවය, ඩිම්බ කෝෂ ගැටළු වගේම ගර්භයෙන් පිටත සිදුවන පිළිසිඳගැනීම්, රුධිරය ගලායාම් ආදිය නිසා ඔබට ගර්භණී බවට බලපානවා. මේ තත්ත්වය හඳුනාගෙන සැත්කමක් මඟින් ප්‍රතිකාර කළ හැකි අතර ඒ සඳහා දැන් බිය වීමට අවශ්‍ය වන්නේ නැහැ.

නාරිවේදි සැත්කම් දැන් නවීන තාක්ෂණය යොදා ගනිමින් ලැපරස්කොපික් හෙවත් යතුරු සිදුරු සැත්කම් ක්‍රමය දැන් ලංකාවේ ඉතා සාර්ථකව සිදු කරයි. මෙහිදී සිදුකරන්නේ සෙන්ටි මීටර් 2ක් පමණ කුඩා කැපුමක් ඇතිකර කැමරාවක් සහිත ශල්‍ය උපකරණයක් උදරයට ඇතුරළු කිරීමෙන් සැත්කම සිදු කිරීමයි. පැරණ ක්‍රමයේදී විශාල කැපුමක් උදරයේ ඇති කර සැත්කම සිදු කරයි.

ලැපරස්කොපික් උපකරණය සිරුර තුළ ඇති පටක විශාල කර බැලිය හැකි කුඩා අන්වීක්ෂයක් වැනි උපකරණයකි. මෙමඟින් සිරුරේ ඇතුළත ඉතා පැහැදිලිව නිරීක්ෂණය කිරීමට ඔබේ වෛද්‍යවරයාට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රෝග විනිශ්චය කිරීම සඳහා මෙම ක්‍රමය ඉතා සාර්ථකව යොදාගත හැකි අතර ස්කෑන් පරීක්ෂණ මගින් සොයාගත නොහැකි මට්ටමේ රෝග ද මෙමගින් සොයාගන්න පුළුවන්.

ලැපරස්කොපික් පරීක්ෂණයෙන් සොයා ගත හැකි රොගී තත්ත්වයන් මොනවාද ?

  1. එන්ඩොමෙටි්‍රයෝසිස් නැමැති උදරය තුළ හටගන්නා ලේ ගැලීම තත්ත්වය
  2. ගර්භාශයේ ඇති ෆයිබ්‍රොයිඞ් ගෙඩි
  3. ඩිම්බ කෝෂයේ ගෙඩි
  4. ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම්
  5. යටි බඬේ ඇතිවන ආසාදන සහ සැරව පිරුණු තත්ත්වයක්
  6. පිළිකාවන් සොයාගැනීමට

එමෙන්ම සැත්කම් කිරීමට මෙම විශාල කර බැලිය හැකි කැමරාව මගින් සිරුරේ ඇති ඉන්ද්‍රය නිරීක්ෂණය කරමින් සහ සැත්කම් කිරීමට අවශ්‍ය ඉතා සිහින් උපකරණයක් මඟින් සාර්ථකව සැත්කම් රාශියක් සිදු කළ හැකියි.

මෙම ක්‍රමයට සිදුකළ හැකි නාරිවේදි සැත්කම් මොනවාද ?

  1. ඩිම්බ කෝෂය ඇති වන ගෙඩි ඉවත් කිරීම
  2. ඩිම්බ නාල කපා ඉවත්කරන උපත් පාලන සැත්කම සිදුකිරීම
  3. ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම.
    විශේෂයෙන්ම ලැපරස්කොපික් සැත්කම් ක්‍රමය නොතිබුණ අවධියේ මෙම සැත්කම සිදු කරනුයේ ඔබේ උදරයේ විශාල කැපුමක් ඇති කිරීමෙනි. එය ඉතා වේදනාකාරී වන අතර තුවාල සුව වීමට දිගු කාලයක් ගතවේ. එහෙත් ලැපරස්කොපික් ක්‍රමයෙන් සෙන්ටි මීටර් දෙකක් පමණ කුඩා කැපුමක් මගින් ගර්භාෂය පවා ඉවත් කළ හැකිය.
    4, ගර්භාශයේ ෆයිබ්‍රොයිඞ් ගෙඩි ඉවත් කිරීම
  4. එන්ඩොමෙටි්‍රයෝසිස් නමැති රෝගී තත්ත්වයේ දී එම අස්වාභාවික ලේ ගැලීම් සහ පටක ඉවත් කිරීමට
  5. බඩවැල්වල ඇති ඇලීම් ඉවත් කිරීම
  6. දරුවන් නොමැති අයට ඇතිවන පොලිසිස්ටික් ඕවෙරියන් රෝගය නමැති රෝගී තත්ත්වයේදී ඩිම්බ ඩිම්බ කෝෂයට ප්‍රතිකාර සිදුකර ඩිම්බ මෝචනය ඇති කිරීම.
  7. ගර්භාෂය පහළට ඒම වැලැක්වීමට සිදුකරන සැත්කම්

නාරිවේදී විශේෂඤ වෛද්‍යවරයෙකු ලැපරස්කොපික් සැත්කම සිදුකරන්න හේතු වන්නේ කුමන කාරණා ද?

ලැපරස්කොපික් ක්‍රමය රෝග විනිශ්චයට සහ ප්‍රතිකාර ලබා දීම යන කාරණා දෙකේදීම යොදා ගත හැකියි. රෝග විනිශ්චය කරන අතරතර ඇතැම්විට අවශ්‍ය නම් පතිකාර ලබා දීම සඳහාද

  1. හේතුවක් නොමැතිව ඇති වන යටි බඬේ වේදනාව
  2. හේතුවක් සොයාගත නොහැකි වඳ භාවය
  3. කලින් ඇති වුණු යටි බඬේ ආසාදන වලදී ලැපරස්කොපික් සැත්කම් සිදු කරයි.

මෙම සැත්කම සිදුකිරීමට සිහි නැති කළ යුතුද ?

මෙම සැත්කම නිර්වින්දනය කර ඉතා ආරක්ෂා සහිතව සිදු කරයි. එම නිසා පැය හයක් ආහාර ව සිටිය යුතු අතර සැත්කම සිදුකර පසුවදාම හෝ ඇතැම්විට එදිනම ගෙදර යෑමට පවා පුළුවන්. මෙයට හේතුව නම් සිරුරේ ඇතිකරන කැපුම් ඉතාම අඩු ප්‍රමාණයක් වීම නිසා රෝගියාට සැත්කමෙන් පසු ඇතිවන කුඩා වේදනාව නැති කිරීමට සරල වේදනා නාශක මගින් හැකි වීමයි.

පැරණි ක්‍රමයට මෙවැනි සැත්කම් සිදුකරන විට ගෙදර යාමට දින තුන හතරක් ඇතැම් විට සතියක් පමණ ගත වීමටත් පුළුවන්. එම නිසා කාර්ය බහුල ජිවිතයක් ගත කරන බොහෝදෙනාට සති ගණන් රෝහලේ නැවතී සිටීමට අපහසුව අතර ඉක්මන් සුවයක් ලැබීම සැමගේ ප්‍රාර්ථනයයි. තවද පැරණි ක්‍රමයේදී යොදන කැපුම විශාල නිසා සහ සිරුරේ පටක විශාල ලෙස කැපීමට සිදුවන නිසා ඇතිවන වේදනාව දීර්ඝ කාලීන
වේදනාවක් බවට පත්වන අවස්ථා ද දැකිය හැකියි.

ලංකාවේ මෙම සැත්කම් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් තිබේ ද ?

සෑම ප්‍රධාන රෝහලකම පාහේ මෙම උපකරණ තිබුනත් ඒ පිලිබඳ දක්ෂතා තිබෙන විශේෂඥ්‍ය වෛද්‍යවරුන් සිටින්නේ අත ලොස්සකි. දියුණු රටවල බොහෝ කාලයක් පටන් ලැපරස්කොපික් සැත්කම් සිදුකරන අතර එම රටවල රෝගීන් දැනුවත් භාවයෙන් වැඩිනිසා තමාගේ සැත්කම ලැපරස්කොපික් ක්‍රමයට සිදු කරන මෙන් වෛද්‍යවරයාගෙ න් ඉල්ලා සිටියි. අප රටේ ද රෝගීන්ට එම අයිතිය ඇති අතර එමනිසා තමාගේ සැත්කම ලැපරස්කොපික් ක්‍රමයට කරන වෛද්‍යවරයෙකුට යොමු කරන මෙන් ඉල්ලා සිටීමට
රොගීන්ට අයිතියක් ඇත.

ලැපරස්කොපික් සැත්කම් සිදුකරන විට අතුරු ආබාධ ඇති විය හැකිද ?

සාමාන්‍යයෙන් සැත්කමක් සිදුකරන විට ඇතිවන ලේ වහනය වීම් මෙහිදී ද ඇතිවිය හැකියි. කෙසේ වෙතත් ලේ වහනය අනික් සැත්කම්වලදී ට වඩා ඉතා අඩු අතර විසබීජ ඇතුල් වී ආසාදනය ඇතිවීම ද අනෙකුත් සත්කම් වල දී ට වඩා අඩු වන්නේ සිරුරේ යොදන කැපුම් ඉතාම කුඩා වීම නිසා විසබීජ ඇතුල් වන ස්ථානයද කුඩා වීමයි. ඇතැම් විට සිරුරේ අනිකුත් ඉන්ද්‍රියන්ට හානි සිදුවීමට ඉඩකඩක් මෙහි දී තිබෙනවා. එහෙත් මෙවැනි සැත්කම් පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයකු සිදුකරන විට මෙවැනි අතුරු ආබාධ සිදුවීම ඉතා අවමයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදී අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සහ
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ
ප්‍රසව හා නාරිවේදී විශේෂඥය වෛද්‍ය
අසෝක කරුණානන්ද