free stats

අම්මෙක් වැඩියෙන් කැමති දුවෙක් ලැබෙනවාටද? එහෙම නැතිනම් පුතෙක්ද ලැබෙනවාටද? කියලා කවුරුන් හෝ ඇහුවොත් ඕනෑම අම්මෙක් පුතෙකුට මෙන්ම දුවෙකුටද එකසේ ආදරය කරන බව රහසක් නොවේ. කුසතුල පිළිසද ගත් දරුවා පුතෙක්ද දුවෙක්ද යන්න අම්මා කෙනෙකුට දැන ගැනීමට මාස කීපයක් ගතවේ. එහෙත් එදා දරුවෙකු අපේක්ෂා කරන කාන්තාවක් තම ස්වාමියා සමග යහන් ගත වීමට පෙර ඔවුන් අපේක්ෂා කරනුයේ දුවෙක්ද පුතෙක්ද යන්න තීරණයකට එළඹේ. මේ අනුව ඔත්තේ ඉරට්ටේ දින ගණනය කර සරුකාලය බලා යහනගතවේ. මෙහිදී තමන්ගේ කුසතුල පිළිසිද ගත්තේ පුතෙක්ද දුවෙක්ද යන්න එම කන්තාවට නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය. මෙසේ පිලිසද ගන්නා දරුවා චන්ද්‍රමාස දහයක් එනම් දින 280ක කාලයක් පුරා ගර්භය තුල රැදී සිට නව ජීවියෙකු මෙන් මෙලොව එළිය දකිනු ලැබේ.

දරුවෙකු කුසතුල පිළිසිද ගත් දින සිටම දරුවා මෙලොව එළිය දකින තෙක්ම ගර්භව ආරක්ෂා කර ගැනීමට (ගර්භනී පරිචර්ය්‍යාවේ සිට) කටයුතු කරනු ලැබේ.

දරුවා කුසතුළ පිළිසිද ගත් දින සිට තවත් දින 12ක් ගත වෙන තෙක් උණුකළ වතුර රන් රිදී බදුන්වල දමා නිවා පානය කළයුතු බව අතීතයේ ආයුර්වේදයේ සදහන් විය. එය අදට නොගැලපුණ ද උණුකර නිවා ගත් ජලය පානය කිරිම ඉතාමත් සුදුසුය.

පළමු මාසය තුළ ආසාත්මික යැයි අගෙවෙන කිසිදු ආහාරයක් ඇය නොගත යුතුය. නුහුරු ස්ථානයන්ගෙන් නුහුරු වෙලාවට ආහාර නොගත යුතුය. උෂ්ණ අධික ආහාර කිසිවිටෙකත් නොගත යුතුය. ආහාර රුචිය වඩවන දිරවීම පහසු ආහාර ගැනීමට ඉතාමත් උචිතය.
පළමු මාසයේදී ඇඹුල් රස ලුණු හා තිත්ත රස හැර මදුර රස ආහාර වැඩියෙන් භාවිතයට ගැනීම ට ආයුර්වෙදයේ උපදෙස්ලබාදේ.

දෙවන මාසය වන විට එනම් සති 8ක් පමණ වන විට මව පියයුරු වේදනාව කෑමඅරුචිය වමනය ඔක්කාරය වැනි ලක්ෂණ පහළවේ. මෙය හරවා ගැනීමට සදහා නැවුම් එළකිරි සමග මදුර ආහාර භාවිතය සුදුසුය. මවගේ වමනය පාලනය කර ආහාර රුචිය වර්ධනය කිරීම සදහා දරුවාගේ අනාගත පෝෂණයට හේතුවේ.

තුන්වෙනි මාසය දරුවාගේ හිස කද හා අත්පා බෙදීම ආරම්භ වේ. නියපොතු ඇගිලි බෙදීමට පටන් ගනී. මේ කාලයේදී මී පැණි එළගිතෙල් සමග කිරි ආහාර භාවිතයට ගැනීම ආයුර්වේදය තුල නිර්දේශ කෙරේ.

හතරවන මාසය මොළය (හෘදය) විකසනය වීමට පටන් ගනීග ආයුර්වේදයට අනුව මනුෂ්‍යයාට හෘදයන් 6ක් පවතී. පේශීමය හෘදය හෙවත් හදවත මාංශමය හෘදය හෙවත් මොලයට හා අත් සහ පාදවන නිලස්ථාන දෙක බැගින් පවතී. මෙය හෘදයන් ලෙස සැලකේ. දරුවාගේ චේතනා ධාතුව විකසන වන්නේ මෙම කාලය තුලයි. මෙම කාලයේදී මව දුකට බියට පත්වන්නේද සතුටට පත්වන්නේද එයට දරුවා ප්‍රතිචාර දක්වනු ඇත.

මව දොළදුක පහළ වන්නේ 4 5 සහ 6 වෙනි මාස වලදීය. ආයුර්වේදයේ හෘදයන් දෙකකින් ඇතිවන ආසාව දොළදුක යනුවෙන් හදුන්වයි. දරුවාගේ පෝෂණයට අනුව මවට ආහාර පිළිබද ආසාවන් මෙම කාලයේදී ඇතිවේ. fදාළදුක නිරෝගි දරුවෙකු බිහිවීමට හේතුවක්වේ. මෙම කාලයේදී මිහිරි ඇඹුල් ආහාර වඩාත් සුදුසු බව ආයුර්වේදයේ සදහන්වේ.
මෙම මාස තුන තුල (4 5 6 ) මවගේ උදරය නෙරා විත් බඩගින්න වැඩිවේ. හුස්ම ගැනීම අපහසු කරන අතර දරුවාගේ හෘද ස්පන්ධනය මවට දැනේ. මෙහිදී මවට දැනෙන පීඩාවන් නැති වීමට ඉගුරු මිශ්‍ර කහට තේ එකක් බීමට දීම සුදුසුය.

දරුවාගේ බුද්ධිය ඇතිවන්නේ මාස 6දීය. දරුවාට අවශ්‍ය පෝෂණය වඩාත් වැඩියෙන් ගත යුතු කාලය මෙයවේ. (පෝෂණය මුල සිටම ගතයුතුය) මෙම කාලයේ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව ඉහළ යනු ඇත. සමබල ආහාර වේලක් ගත යුතුය. ගොකටු මිටක් තම්බා පානය කිරීම පාදශෝදනයට යහපත්ය. ගැබේ අපද්‍රව්‍ය පිටවීම පාලනය කර මවගේ රුධිරයේ සීනි පාලනය කිරීමට මෙයට හැකිවේ. මේ කාලයේ මව පොළව හා බැදෙන ගතිය අඩුවෙන බැවින් පාවහන් පැළදීම කල්පනාකාරී විය යුතුය.

8වෙනි මාසයේදී මවගේ ඕජෝ ධාතුව (ප්‍රතිශක්තිය) විටක මවගේ ශරීරයෙත් විටෙක දරුවාගේ ශරීරයෙත් තිබේ. ගර්භනී මව දරුවා ලැබීමට සිය මවගේ නිවහනට යන්නේ මෙම කාලයේදීය. මෙම කාලය දරුවා යෝනි මාර්ගයට ප්‍රවේශ වෙමින් සිටින කාලයයි. මෙම කාලයේදී දරුවා හැරිය යුතුය” මිදුල් ඇතුගෑම පිටි කෙටීම සුදුසු බව ආයුර්වේදයේ සදහන්වේ. මෙම කාලයේ කොල්ලු ආශ්‍රිත ආහාර ලබාදේ. කොල්ලු ව්‍යංජනය කොල්ලු ආනම ගැබ ආරක්ෂා කෙරේ. ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර ශ්‍රෝණියේ ස්නායු පද්ධතිය හොදින් මෙහෙය වීමේ හැකියාව කොල්ලු සතුවේ. ආඩතෝඩ කපුකොළ බැබිල කොළ තමබා මව නෑවිය යුතුය.

දරුවාගේ ඇස්වල වර්ධනයට හන්දි ශක්තිමත් වීමට රක්ත වර්ධනයට හෘද පේශී වර්දනයට හේතුවන ආහාරයන් ලෙස ලුණුවිල හදුන්වා දිය හැක. මෙය මොළයේ වර්දනය ප්‍රතිශක්තිය වර්ධනය කරන ආහාරයකි. එමෙන්ම වෙනිවැල්ගැට පානය ඇග ගැල්වීමට නෙල්ලි හාතවාරිය අල මැද නාරටිය ඉවත් කර යුෂ සකස් කර පානයක් ලෙස භාවිතයට ගැනීම සාරණ කැකිරි නියඹලා අමුකහ භාවිතය මෙම කාලයේදී ගර්භනී මවට සුදුසුවේ. කිතුල් හකුරු සුදුළුෑණු සතකුප්ප තල කලාඳුරු කරවිල දෙල් මුරුංගා හා උෂ්ණ අදික ආහාර සහ පලතුරු ගර්භනී කාලයේදී මව ඉවත් කළ යුතුය. මේ අයුරින් මව තම ගර්භය ආරක්ෂා කර ගැනීමෙන් නිරෝගි දරුවෙකු මෙලොවට දායාද කළ හැකිය.

ආයුර්වේද වෛද්‍ය දිනේෂ් විද්‍යාරත්න
රජයේ ආයුර්වේද රෝහල
මීගොඩ
සටහන – ශ්‍රියානි විජේසිංහ