free stats

සම්භාහනය ඉතාම වැදගත් කාර්යයක් ලෙස හැඳින්විය හැකියි. මේ සඳහා ඖෂධීය තෙල් වර්ගයක් හෝ ඉන් කිහිපයක් මිශ්‍ර කරගත් තෙල් වර්ගයක් භාවිත කරයි. හිස් මුදුනේ සිට දෙපතුල දක්වා වූ ශරීරයේ සෑම අංගයකම තෙල් ගල්වා පිරිමැදීම එසේත් නැත්නම් අතගෑම මෙහිදි සිදුවේ. ආයුර්වේදයේ දී එය තෙල් අභ්‍යාසය ලෙස හඳුන්වයි. මෙහිදි ශරීරයේ උත්තමාංගය ලෙස හිස පිරිමැදීම හෙවත් සම්භාහනය ඉතාම වැදගත්ය. ගෙලට ඉහළින් ඇති සියලුම රෝග හා ගැටළු සඳහා කළ හැකි හොඳම ප්‍රතිකාරය ශීර්ෂ සම්භාහනයයි. මෙයින් පංච ඉන්ද්‍රිය නිරෝගී වේ. කේරලයේ කාන්තාවන් සිය කෙස් කළඹ දිගුකරගැනීමට මෙන්ම රුව වර්ධනය කරගැනීමට මෙවැනි ඖෂධ තෙල් වර්ග භාවිතා කරමින් දිනපතා සම්භාහනය සිදුකරමින් සමට දීප්තිමත් පැහැයක් ලබාගනියි.

තෙල් සම්භාහනය සඳහා අපට කැමති වේලාවක් තෝරාගත නොහැකි වේ. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ උදෑසන කාලයයි. සම්භාහනය නිවැරදි ක්‍රමයකට, නිශ්චිත රටාවකට සිදුවිය යුතුයි. සම්භාහයන සිදුකිරීම සඳහා මනා පළපුරුද්දක් තිබීම ඉතාම වැදගත්ය. එසේ නොමැති වීමෙන් ශරීරයේ මස්පිඬු පෙරලීම, වේදනාවක් දැනීම, සමෙහි රැළි ඇතිවීම, සම එල්ලා වැටීම, වැනි අයහපත් බලපෑම් ඇතිවීමේ ඉඩකඩක් පවතියි. සම්භාහනය නිවැරදිව සිදුකිරීමෙන් රුව ලස්සන වීම, නිරෝගී ශරීරයක් ඇතිවීම, හා දීර්ඝායුෂ ඇතිවීම ද සිදුවේ.

තෙල් වර්ග

සම්භාහනය සඳහා අඹ තෙල්, තල තෙල්, ආමන්ඞ් තෙල්, වැනි තෙල් වර්ග බොහෝමයක් භාවිතා කරයි. සම්භාහනයේදී තෙල් ආලේප කළ යුත්තේ ඩබල් බොයිලින් ක්‍රමයටයි. එනම් වතුර පිරවූ භාජනයක් ලිප මත තබා එය මත තෙල් දැමු භාජනය තබා රත් කිරීමයි. මෙහිදී තෙල් රත්වන්නේ භාජනයේ ඇති වතුර රත් වීමෙන් අනතුරුවයි.

රෝග සඳහා සිදුකරන සම්භාහනයේ දී සර්ෂපාදී තෛලය, මහා නාරයන තෛලය, සිද්ධාර්ථ තෛලය භාවිතා කරයි. රුව ගැන සැලකිලිමත් වීමෙදී නම් සමට ගැලපෙන තෙල් වර්ග ලෙස සැලකෙන ආමන්ඞ්, රෝස්මරි, තල තෙල් සහ ජොජෝබා තෙල්, සූරියකාන්ත තෙල්, සඳුන් තෙල් වැනි සුවඳවත් තෙල් වර්ග වඩාත් ගැලපේ. සම්භාහනය නිසා සම පැහැපත් වීමට අමතරව රුධිර ගමනාගමනය හොඳින් සිදුවීම නිසා මාංශ පේශි ශක්තිමත් වීම, අනවශ්‍ය මේද කොටස් දියකර හැරීම, වයසට යනවිට මාංශ පේශිවල ශක්තිමත් බව වැඩිකර ලිහිල් වී එල්ලා වැටීම අවම වීම, ස්නායු නිසි ලෙස ක්‍රියාකාරී වීම, සිරුරේ පවතින විඩාව නැතිවීම, සමේ රැලි ගතිය ඉවත් වීම, සමෙහි පෝෂණය වීමට, සිරුරේ සැහැල්ලු බවට ඉතාම යෝග්‍ය වේ.

මේ අයුරින් ගැබිනි මවක් සඳහා ද සම්භාහනය සිදුකල හැකියි. එහෙත් ගැබිනි කාලයේ මුළු සිරුරේම තෙල් ගල්වා සම්භාහනය සිදුකිරීම සුදුසු නොවේ. ගැබිනි මවගේ සිරුරේ පවතින අපහසුකම්, වේදනා දැනෙන තැන් හොඳින් හඳුනාගෙන ඇය අපහසුතාවයට පත් නොවන පරිදි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මඟින් සිදුවිය යුතුයි. ඕනෑම තෙල් වර්ගයක් ගැබිනි මව්වරුන්ට සුදුසු නොවේ. තෙල් ගැල්වීම සිතූ සිතූ පරිදි සිදුකළ නොහැක. උත්පත්තියෙන්ම කෙනෙකුට හිමිවන ප්‍රාකෘත්ති තිබේ. එනම් වා, පිත්, සෙම් තත්ත්වයන්ය. එම ප්‍රාකෘත්තීන්ට ගැලපෙන තෙල් වර්ග තෝරාගැනීම වඩාත් සුදුසු වේ.

ගැබිනි මවගේ සම්භාහන ක්‍රියාවලියේ දී මවගේ හිසෙහි තෙල් ගැල්වීම ඉතාමත් වැදගත් වේ. සාමාන්‍ය ගැබිනි මවකට වඩාත් යෝග්‍ය වන්නේ පොල් තෙල් ආලේප කිරීමයි. ඒ සඳහා තැඹිලි තෙල් භාවිතයෙන් පොල් තෙල් නිවසේදීම සිඳගත හැකි නම් වඩාත් සුදුසු වේ. එහිදි ඹෟෂධීය ගුණයෙන් යුතු සැවැන්දරා, උළුහාල්, කීකිරිඳිය, වැනි දෑ එකතු කරගත හැකිනම් වඩාත් යෝග්‍ය වේ. හිසේ තෙල් ගල්වා හොඳින් සම්භාහනය කර පැයක් පමණ තැඹිමෙන් අනතුරුව ස්නානය ආයුර්වේදයේ අනිවාර්යය අංගයකි. යෝග විද්‍යාවේ හා නල ශාස්ත්‍රයට අනුව ස්නානය සඳහා නියමිත දින තිබේ. ඒ ඒ දවස් සලකා බලා තෙල් ගැල්වීම සිදුවිය යුත්තේ එබැවිනි. දකුණු නළ ක්‍රියාකරන අවස්ථාවේ දී එනම් රවි, කුජ, ගුරු, ශනි දිනවල තෙල් ගල්වා ස්නානය වඩාත් සුදුසුය. වර්ථමාන කාර්යබහුල බව නිසාම වෛද්‍ය නිර්දේශය වන්නේ රාත්‍රියේ තෙල් ගල්වා උදෑසන ස්නානය වඩාත් සුදුසු බවයි. හිස තෙල් ගෑ විට ඇතැම් ගැබිනි මව්වරුන්ට යම් යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ. එහිදී තෙල් ගැල්වූ පසු හිසේ කැක්කුම ඇතිවීම, හිසේ බර ගතිය දැනීම, නාසයෙන් සොටු දියර ගැලීම, ඇස් දැවිල්ල ඇතුළු නොයෙක් අපහසුතා ඇතිවේ. එයට හේතුව තමන්ගේ ශරීරයට නොගැලපෙන තෙල් වර්ග භාවිත කිරීම වියහැකිය.

තෙල් මදක් රත්කර මද රස්නයෙන් ගැල්වීමට හැකියි. හිස් කබලේ ස්පර්ශ වන සේ ඉතා සියුම්ව පිරිමදිමින් තෙල් ගැල්වීම වඩාත් සුදුසුම ක්‍රමයයි. තදින් පිරිමැදීම කළහොත් හිසේ බර ගතිය ඇතිවේ. යම් රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් අත්ලට තෙල් ස්වල්පයක් දමා හිස් මුදුන ස්පර්ශ කර සියුම්ව සම්භාහනය කිරීම ප්‍රමාණවත් වේ.

හිස තෙල් නිසි පරිදි ගැල්වීම නිසා හිස් කබල ඉතා මෘදු වී රුධිර කසංසරණය ක්‍රමවත් වීම, හිස කෙස් මුල්වලට පෝෂණය ලැබීම නිසා කෙස් මුල ශක්තිමත් වීම, හිස කෙස් මුල්වලට පෝෂණය ලැබීම නිසා නිරෝගී කෙස් කළඹක් හිමිවීම, අකලට හිසකෙස් පැසීම සිදුනොවීම, හිසේ බර ගතිය, කැක්කුම තුරන් වීම, මානසික ආතතිය අවම වීම, මොළය අභ්‍යන්තර ස්නායු ශක්තිමත් වීම, ඇස, කණ, දිව, නාසය යන පංච ඉන්ද්‍රියන් ක්‍රියාකාරිත්වය යහපත් වීම සිදුවේ. හිස කෙස්වලට නිසි ලෙස සත්කාර නොකළ හොත් අකලට හිස කෙස් වැටීම, අකලට හිස කෙස් සුදුවීම, හිස කෙස් අඟ පැලීම, හිස් හොරි මතුවීම ආදිය සිදුවේ.

තෙල් ගැල්වීම මඟින් කිසිසේත්ම අහිතකර ප්‍රථිපල ඇතිනොවේ. ඝර්ම කලාපීය රටක් වන ශ්‍රි ලංකාවේ හිස කෙස් හිරු එළියෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා තෙල් ගැල්වීම වඩාත් සුදුසු ක්‍රමයකි. නමුත් තෙල් ගෑම දිනපතා කළ යුතු නොවේ. තමන්ට පහසු පරිදි දින කිහිපයකට වතාවක් තෙල් ගැල්වීම කළ හැකිය. ගර්භාෂය පහත් වූ කාන්තාවක් සඳහා වෛද්‍ය උපදෙස් මත සුදුසු තෙල් වර්ග භාවිත කොට භාහිර තෛල අභ්‍යන්තරය සිදු කරයි. මීට අමතරව ගැබිනි මවගේ අත් පාවල වේදනාව සහ කොන්දේ වේදනාව සහිත අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් මත තෙල් ආලේප කර සම්භාහනය සිදුකරයි.

සමස්ථ සිරුරේ ක්‍රියාකාරිත්වයට මෙම තෛල අභ්‍යාසය ඉවහල් වේ. අභ්‍යාසය මඟින් ගැබිනි මවට ඉහත සඳහන් ප්‍රයෝජනවලට අමතරව වාසියක් වන්නේ ඉතා සුවබර නින්දක් ලබා ගැනීමට හැකිවීමයි.

ආයුර්වේද වෛද්‍ය
සජිත් චතුරංග අක්මීමන

සටහන අරුණි ජයසේකර