free stats

අපි හිතුවට එයාලා පොඩියි කියලා, සමහර වෙලාවට එයාලා අපිටත් වඩා පැහිච්චි ආච්චිලා සීයලා…….”

පුංචි පැංචො ගැන අපි දන්න දේවල් මොනවද කියලා හිතෙන්නේ දවසක එයාලා එක්කම කාලය ගතකරන්න පටන් ගත්තාමයි.

බබාට තේරෙන්නේ නැහැ” කියලා අපි හිතුවට සමහර වෙලාවට අපිට වඩා හොඳට හැමදේම බබාලට තේරෙනවා. එයාලා හරියට පුංචි විද්‍යාඥයෝ පිරිසක් වගේ.

දරුවන් උපතේ සිටම පියවරෙන් පියවර වර්ධනය වනවා. මේ වර්ධන කාලසීමාවන් පසුකර යනවිට ඒ සමඟ ඔවුන්ගේ බුද්ධියත් වර්ධනය වනවා. මෙන්න මේ කාලෙදි තමයි පැටියෙකුගේ සහජ හැකියා සහ ගතිගුණ වර්ධනය වෙන්නේ. මේ වකවානුවේදි අපි නොහිතන විදියේ ගතිලක්‍ෂණ, ගුණාංග වගේම හැසිරීම් රටා දකින්න ලැබෙන්නේ අන්න ඒ නිසයි. මේ පිළිබඳව පර්යේෂණයක් සිදුකළ මොන්ටි්‍රයල් හී සෙන්ට් ජස්ටින් සරසවිය අපූරු කරුණු පහක් මේ විදියට අනාවරණය කර තිබෙනවා.

  1. පුංචි දරුවන්ට තම මවගේ හඬ ඉතා පැහැදිලිව හඳුනාගත හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. ඔවුන් කුඩා කාලයේ සිටම භාෂාව හඳුනාගැනීමේ විශේෂ හැකියාවකින් යුතු අය බව පර්යේෂකයන්ගේ අදහසයි. මව වෙනත් භාෂාවකින් කතා කරන විට, එය තමාගේ මව්බසට කිසිසේත් සමාන නොවන වෙනත් භාෂාවක් වුවත් දරුවාට මව හඳුනාගැනීමේ අසමසම, පුදුම හැකියාවක් පවතිනවා. මේ පිළිබඳව කල පර්යේෂණයේ දී අලුත උපන් බිළිඳුන් 16 දෙනෙකුට හෙඞ් ෆෝන් සවිකර ඒ මඟින් තම මව්වරුන්ගේ හඬ සහ හෙදිකගේ හඬ ඇසීමට සලස්වා තිබුණා. මෙහිදි දෙපාර්ශවයම එකම ස්වර අක්ෂර පැවසු අතර ඒ අවස්ථාවේ දරුවන් පසුවුණේ සුව නින්දේයි. එම අවස්ථාවේ දරුවන්ගේ හැසිරීම නිරීක්‍ෂණයට ලක්කල අතර දරුවා මවගේ හඬට පමණක් ප්‍රතිචාර දක්වා තිබුණා.
  2. ඔවුන් කළ තවත් පර්යේෂණයකින් අනාවරණය වුනේ කුඩාම දරුවන් බල්ලන් කෙරෙහි ප්‍රතිචාර දක්වන බවයි. උපතින් පසු කිසිම දිනක බල්ලෙකුගේ හඬ හෝ අසා නොමැති දරුවන් ඇසුරෙන් කළ පර්යේෂණයක දී මේ බව අනාවරණය වී තිබුණා. මාස හයක වයසේ පසුවන දරුවන් කිහිපදෙනෙක් යොදාගෙන කළ මෙම පර්යේෂයේ දී පර්යේෂකයන් බල්ලෙකු කේන්තියෙන් ගොරවන හඬක් මුලින් අසන්නට ඉඩ ලබා දී ඉන් අනතුරුව බල්ලෙක් ආදරණිය ලෙස සුරතල් වන හඬක් අසන්නට සලස්වා තිබෙනවා. දෙවන අවස්ථාවේ බල්ලාගේ හඬට දරුවන් සංවේදී වු බව එහිදි ඔවුන් හඳුනාගත්තා.
  3. මේ පර්යේෂණයේ අයිතිය නම් හිමිවන්නේ හාවර්ඞ් විශ්වවිද්‍යාලයට. ඔවුන් පෙන්වා දෙන විදියට පුංචි පැටවුන්ට කෙනෙකුගේ මුහුණේ තිබෙන හැඟීම් හොඳින් හඳුනාගන්න පුළුවන්. ඒ වගේම එයාලා ඒ හැඟීම්වලට ප්‍රතිචාර දක්වනවා. කෙනෙක් නපුරු විදියට මුහුණ වෙනස් කරගෙන ඉන්නවා නම් දරුවන් ඒ හැඟීම හොඳින් තේරුම් ගන්නා බවත් සමහර විට කෙනෙකුගේ මුහුණේ ඉරියව් නිසා යම්කිසි අපහසුතාවයකට පත් වේ නම් එක්වරම හැඬීමට පටන්ගන්නා බව ඔවුන් පෙන්වා දෙනවා.
  4. බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය කේලි හැම්ලින්ට අනුව පුංචි බබාලා නරක අත්දැකීම්වලට මුහුණ දෙන්නට අකමැති බව පෙන්වා දෙනවා. එයින් ඔහු අදහස් කරන්නේ මෙවැනි දෙයක්. එනම් යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට හෝ සතෙකුට හිරිහැර කිරීම දරුවෙක්ට දැඩි වේදනාවක් ඇතිවීමට හේතුවක් බව මහාචාර්යවරයාගේ මතය වනවා. පුංචි දරුවන් 100 ක් යොදාගෙන මෙම පරීක්‍ෂණය සිදුකළ අතර එහිදි මපට් කිහිපයකට වැඩිහිටියන් පහර දෙන දර්ශන දකින්නට සලස්වා තිබුණා. මේ අවස්ථාවේ දරුවන් සංවේදී වු අතර හැඬීමට ද පටන්ගෙන තිබෙනවා.
  5. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ චාර්ල්ස් ස්ටුවර්ට් විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකට අනුව කුඩා දරුවන් හොඳ විහිළුකාරයන් බවත් අනාවරණය වුණා. ඔවුන් පෙන්වා දෙන පරිදි එක් දරුවෙක් තවත් දරුවෙක් වෙත සෙල්ලම් බඩුවක් දිගුකර එය අනෙක් දරුවා ගැනීමට සැරසෙන විට නැවත පසෙකට ගැනීමට සමත්කමක් දක්වනවා. ඔවුන් මෙසේ කරන්නේ උසුළු විසුළු කිරීමේ අරමුණෙන් බව පර්යේෂකයන්ගේ මතයයි.