free stats

චන්දිමාට දයානිව මුණගැහුනේ කාලෙකට පස්සේ. නයෝමි ගේ නංගියේ මඟුල් ගෙදර දවසේ. දයානිගේ දුවත් සෑහෙන්න ලොකුයි. චන්දිමා පුංචිනම කාලෙත් වඩාගෙන ඉදලා තියෙනවා නේ. ඒ ආදරෙන්ම චන්දිමා දුවට හාදුවක් දුන්නා. ඒත් දුව හැරිලාවත් බැලුවේ නෑ. එයා හිටියෙ වෙනම ලෝකෙක.

මෙයාට ඉතින් මගේ හරි මෙයාලගේ තාත්තා ගේ හරි ෆෝන් එක තියෙනවා නම් වෙන වැඩක් නෑනේ. කිසිම කෙනෙක්ගේ මූණක් බලන්නේ නෑ, හිනාවෙන්නේ නෑ, කතා කරන්නේ නෑ ෆෝන් එකේම තමයි.”

දයානි කියාගෙන ගියා.

හැබැයි ඉතින් ෆෝන් එක ගැන අපි නොදන්න දේවලුත් එයා දන්නවා. කොහොම ඉගෙනගෙන ද දන්නේ නැහැ”

දයානි කිව්වේ බොහොම ආඩම්බරෙන්……..

ස්මාර්ට් ජංගම දුරකථනය නිසා වර්තමානයේ ලමා ලෝකයට අත්වී තිබෙන්නෙ අඳුරු ඉරණමක්. මීට වසර 25 කට 30 කට (දශක තුන හතරකට) පෙර එනම් තිබූ ලමා කාලයත් , අද උපදින දරුවන්ගෙ ලමා කාලයත් අහසට පොලොව සේ වෙනස් වෙලා. අතීතයේදීත් මේ වෙනස්වීම් විවිධ සංස්කෘතීන්, ජාතීන් සමඟ සම්මිශ්‍රණය වීම නිසා ක්‍රමානුකූලව සිදු වූ අතර එම වෙනස රටට දරාගත හැකි නිශේධනාත්මක හා ධනාත්මක ආකාරයෙන් සිදු වුණා. නමුත් මෑත යුගයේ ගෝලීයකරණය සමඟ පැතිරුණු විදේශීය තාක්ෂණ විප්ලවය මගින් අපේ රටේ පැවති ආගමට , සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ බලපෑමක් සිදුවුණා. අද කාලයේදී මේ වෙනසට ලොකුම හේතුව තාක්ෂණයේ දියුණුව. රටක, සමාජයක ඉදිරි ගමන සඳහා තාක්ෂණය යොදා ගැනීම අනිවාර්යයම දෙයක්. නමුත් තාක්ෂණය හරි විදියට භාවිත කරන්න කුඩා කාලයේ ඉඳන්ම පුරුදු වීම අත්‍යාවශ්‍යයයි. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නෙ බරපතල හානියක්. වර්තමානයේදී දරුවන්ට කෑම කවන්න, නිදිකරවන්න, හඬන දරුවන් නැලවීමට වගේම දෙමාපියන් තමන්ගෙ රාජකාරි බාධාවකින් තොරව සිදු කරගන්නත් දරුවන් අතට දෙන්නෙ ස්මාට් ජංගම දුරකථනය. අපි නම් අපේ දරුවන්ට ෆෝන් එක දෙන්නෙ නැහැ කියන දෙමාපියනුත් යම් මොහොතකදී තම දරුවන් හැසිරවීමට ස්මාට් දුරකථනය අතට දෙන්නේ නිරායාසයෙන්මයි.

අද මුදලට තැන දෙන ආර්ථික ක්‍රමය නිසා එදා මවගේ සහ අද මවගේ භූමිකාව හාත්පසින්ම වෙනස් වෙලා. දරු නැලවිලි ගී ගයමින් දරුවා නිදි කරවන්නට එදා මවට නිදහසක් තිබූ නමුත් අද කාර්යබහුල වැඩ ලෝකයේ හිර වුනු මවට දරු නැලවිලි ගී ගයන්නට ඉස්පාසුවක් නැති තරම්, දරු නැලවිලි ගී ගයන්නට යොමු වන්නේත් ඉතාම අඩුවෙන්. ඒ වෙනුවට ඉක්මන් හා පහසු ක්‍රමය ලෙස ස්මාට් දුරකථනයෙන් ගීතයක් අසන්නට සැලැස්වීම මගින් දරුවා නිදි කරවන්නට වගේම දරුවාට කෑම කැවීමේ උපක්‍රමයක් ලෙසත් යොදා ගන්නෙ ස්මාට් දුරකථනයයි. සොබා දහමේ සුන්දරත්වය විඳින්නට හුරු කරවමින් අහසේ පියාඹන කුරුල්ලන්, සිව්පාවුන් පෙන්වා කතන්දර කියමින් දරුවන් නැලවීමට, කෑම කැවීමට අද මව්වරු යොමු වන්නේ ඉතා අඩුවෙන්. කෑම කැවීමට, තම වැඩකටයුතු දරුවාගේ බාධාවකින් තොරව සිදු කරගන්නට කාටූනයක්, සින්දුවක් දුරකථනය හරහා අසන්නට දකින්නට සැලැස්වීමෙන් ඇරඹෙන මේ ව්‍යයසනය දිගින් දිගටම වර්ධනය වන්නේ පරිගණක ක්‍රීඩාවලට (vedio games) දරුවා නිරායාසයෙන්ම ඇබ්බැහි වීමෙන්.

ස්මාර්ට් දුරකථනය , ටැබ් යන්ත්‍රය වැනි තාක්ෂණික මෙවලම් වලට දරුවා කුඩා කල පටන්ම හුරු වීම නිසා ඔහු ඒකපාර්ශවික සන්නිවේදනයකට නැඹුරු වීම දකින්නට පුළුවන්. එමඟින් සිදු වන්නේ දරුවා ගොලුවෙකු වී දුරකථනය කථිකයෙක්, ගුරුවරයෙක් බවට පත්වීමයි. දරුවා කතා බහ අඩු කිරීම, මෙන්ම අලසකම ඇතිවීම, ඇස් පෙනීමේ දුර්වලතාද ඇති වන්නට පුළුවන්. මානසික ගැටලු පිලිබඳ සාකච්ඡා කිරීමේදී දරුවන්ගේ චර්යාත්මක ආවේගයන් දකින්නට හැකියි. කාටූන් වල ඇති අසාමාන්‍ය චර්යා, චලන, අසාමාන්‍ය රූප සමාජය තුලින්ද බලාපොරොත්තු වීම හා ඒවා සමාජය තුලින් දරුවා නොදැකීම නිසා සමාජය සමග නුරුස්සනා ස්වභාවයක් පෙන්වන අවස්ථා තිබෙනවා. සරලවම කිවහොත් දරුවා කුඩා කාලයේ පටන්ම ස්මාර්ට් දුරකථනයෙන් ලෝකය දකින්නට උත්සහ කරනවා.

ඒ වගේම දුරකථනයට ඇබ්බැහි වීමෙන් දරුවා හුදෙකලාව ප්‍රිය කරමින් අන් අය සමඟ සබඳතා පැවැත්වීම මගහරිනවා. ඔහුගේ, ඇයගේ පුද්ගල කුසලතා වර්ධනය නොවීම නිසා මන්ද මානසික ගති ලක්ෂණද පෙන්වන්නට හැකියි. Dopamine නම් හෝමෝනය අනවශ්‍ය ලෙස උත්තේජනය වීමෙන් අහිතකර බලපෑම් දරුවාට ඇතිවන්නට ඉඩකඩ තිබෙනවා. ස්මාර්ට් ජංගම දුරකථනය තුල ඇති විකිරණශීලී ද්‍රව්‍ය නිසා පිළිකාවන් ඇතිවීමේ බරපතල අවධානමක්ද පවතින බව වෛද්‍යවරුන් පවසනවා. කුඩා කාලයේ පටන්ම දුරකථනයට ඇබ්බැහි වූ දරුවන් තමන්ගෙ සමකාලීන දරුවන් සමග කාලය ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. තම වැඩිහිටියන් පිලිබඳ අවධානයක්, ගරුත්වයක්ද මේ නිසා දරුවා තුලින් බලාපොරොත්තු විය නොහැකියි. ස්වභාවික පරිසරය, ජීවත්වන සමාජය ගැන අවබෝධයක් නොමැතිකම නිසා යාන්ත්‍රික දරුවෙක් බවට දරුවා පත්වන්නේ නිරායාසයෙන්මයි.

එක දිගට පැය ගණනක් ස්මාට් දුරකථනය සමඟ කාලය ගත කරන දරුවන්ට ස්ථුලතාවය හෝ මන්දපෝෂණය වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා. බොහෝ විට වැඩිහිටියන් දරුවාට තරවටු කරමින් ස්මාට් දුරකථනයෙන් ඔහුව ඈත් කිරීමට උත්සහ දරනවා. වැඩිහිටි ඔබ සිදු කරන දෑ දරුවා කුඩා කාලයේ පටන්ම අනුකරණය කිරීමට, ආදර්ශයට ගැනීමට හුරු වන බව ඔබ මතක තබා ගත යුතුයි.

විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් නම් වයස අවුරුදු පහ වන විට දරුවාගේ මොලේ වර්ධනය වැඩි ප්‍රතිශතයකින් සම්පූර්ණ වී ඇති බවයි. එම කාලයේදී ඇතිවන බලපෑම් ගැටවර වියේදී , තරුණ වියේදී හා මැදි වියේදීවත් නිවැරදි කරගන්නට හැකිද? එයට කොපමණද වෙහෙසක් ගත යුතුද ?

ඒ සඳහා ගත කරන කාලයේදී දරුවාගේ, වැඩිහිටියාගේ අධ්‍යාපනය, රැකියාව, කොතෙක් දුරට අඩාල වී ඇත්දැයි යන්න වර්තමානයේ වැරදි චර්යාවන් වලට, මත්ද්‍රව්‍යවලට හුරුවෙන, මානසික රෝග වලට ගොදුරු වෙන දරුවන්ගෙන් සිතාගත හැකියි.

පැරැන්නෝ ” ඔවා දෙනු පරහට – තමා සම්මතෙහි පිහිටා සිට ” යනුවෙන් කියා තිබෙන්නේ මෙසේ තමන් වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ආදර්ශ සැපයිය යුතු නිසායි. ස්මාර්ට් දුරකථනයට ඇබ්බැහි වීමේ වරද දරුවාගෙ නොව තමන්ගේ බව දෙමාපියන් මුලින්ම අවබෝධ කරගත යුතුයි. සැබැවින්ම සිදුවන්නේ දෙමාපියන් විසින් දරුවා ස්මාර්ට් දුරකථනයට ඇබ්බැහි කිරීමක්. එයද ළමා හිංසනයක් ලෙස දක්වන්නට පුළුවන් . කුඩා කාලයේදීම දරුවා මව්පියන්ගෙන් මෙසේ හිංසනයට පත්වෙනවා. පසුව තමා සිටින වටපිටාව, සමාජය, ජනමාධ්‍ය මගින්ද දරුවාගේ විනාශය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඉදිරියට යනවා.

කුඩා දරුවා උකුලේ වාඩි කරවාගෙන, එසේ නැත්තම් තමන් අසලම තබා ගෙන රූපවාහිනිය නරඹමින් ස්මාර්ට් දුරකථනය ක්‍රියාකරවන දෙමාපියන් ඕනෑ තරම්. දරුවා පුංචි නිසා තමන් දුරකථනය මගින් සිදු කරන ක්‍රියාකාරකම් ඔහුට නොතේරෙනු ඇතැයි මව්පියන් සිතනවා. නමුත් සත්‍ය නම් දරුවා මව්පියන්ගේ ක්‍රියාවන් දෙස බලා සිට ඒවා අනුකරණය කිරීමට නිරායාසයෙන්ම පෙලඹීමයි. කුඩා කාලයේදී මොලය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින නිසා දරුවාට දුරකථනයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ මනා අවබෝධයක් නැහැ. නමුත් ඔහු මව්පියන් එය සිදුකරන ආකාරය ආදර්ශයට ගෙන බොත්තම් ක්‍රියාකරවීමට, තිර ස්පර්ශක මගින් දුරකථනය ක්‍රියා කරවීමට යොමු වෙනවා. එමගින් දරුවාට නොදැනීම විවෘත වන විවිධ වෙබ් අඩවි, යූ ටියුබ් නාලිකා ආදිය නැරඹීමට හුරු වෙනවා. මෙහිදී වයස අවුරුදු 10 හා 12 ඉක්මවා ගිය දරුවන් නැවත එම වෙබ් අඩවි සොයා යාමට ඇති ඉඩකඩ වැඩියි.

එසේම මුහුණු පොතේ හා සමාජ ජාලවල පවතින දෙමව්පියන්ගේ ගිණුම් වලට ඇතුල් වී ඒවායෙ තිබෙන වයසට නොගැලපෙන දේ බැලීමට දරුවා පෙළඹෙනවා. ඒවායෙ සිටින නොදන්නා මිතුරු ඇසුරට ප්‍රියකරනවා. එමගින් තරුණ වියට පත් වීමටත් කලින් පාසල් වියේදීම තමන්ගේම facebook ගිණුමක් ,වෙනත් සාමාජ ජාලා ගිණුම් සකසා ගෙන දරුවා තනිව නොදන්නා සයිබර් අවකාශයක තනිවන්නට හුරු වෙනවා. මෙවන් අවස්ථා වල අන්තර්ජාලයෙන් විවිධාකාර අපරාධකරුවන් විසින් මේ කුඩා දරුවන් අපයෝජනයට ලක්කරන සිදුවීම් අද ඕනෑතරම්. වර්තමානයේදී facebook සමාජ ජාලය තුල පාසල් වියේ කුඩා දරුවන් සිදු කරන වයසට නොගැලපෙන ක්‍රියාකාරකම් ෆෙස් බුක් සාද ආදිය සංසරණය වෙනවා. වැඩිහිටියන්ගෙ ක්‍රියාකාරකම් අනුකරණය කරමින් මෙසේ විවිධාකාර අසංවර හැසිරීම් කුඩා වියේ සිටම දරුවන් පුරුදු වෙමින් ඒවා ස්මාට් දුරකථන හරහා සමාජගත කිරීමටද නැඹුරුවී තිබෙනවා. මෙය බරපතල සමාජ කාරණාවක්.

කුඩා දරුවෙක් පැය ගණනක් ස්මාට් දුරකථනය පරිහරණයට යොමු වීම කොකේන් මත්ද්‍රව්‍යවලට හුරු වීමට සමාන හානියක් සිදු කරන බව මෑත කාලීන වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු කර තිබෙනවා. කුඩා දරුවන්ගෙ කටකාර කතා, ගැයුම්, වැයුම්, රැඟුම් පටිගත කර ඒවා සමාජ ජාලා වලට මුදා හැරීමට අද බොහෝ විට දෙමාපියන් හෝ වැඩිහිටියන් ක්‍රියා කරනවා දකින්නට පුළුවන්. දෙමාපියන් හෝ වැඩිහිටියන් දුරකථනය ක්‍රියාකරවමින් වීඩියෝ කරන බව දරුවා නොදන්නවා වුවත් තම ක්‍රියාකාරකම සමග දුරකථනය සම්බන්ධ වන බව කුඩා මනසට වැටහෙනවා. මෙයට දරුවාද දිගින් දිගටම ප්‍රිය කරමින් වීඩියෝ කිරීම සඳහාම තම ක්‍රියාකාරකම් සිදුකරන්නට හුරු වෙනවා. අද දරුවන් කුඩා වියේ සිටම වීඩියෝ ඇමතුම් වලට පෙනී සිටීමට, දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට බියක් සැකක් දක්වන්නෙ නැහැ. මේ තත්ත්වය ඇති කර තිබෙන්නේ දෙමාපියන් විසින්මයි. මව්පියන්ගේ අදහස වන්නේ ස්මාට් දුරකථනය නව තාක්ෂණය දරුවාගෙන් ඈත් කලහොත් දරුවා සමාජයෙන් කොන්වීමට ලක් වනු ඇති බවයි. නමුත් එම කාරණය මත පදනම් වෙමින් කුඩා කල පටන්ම හය හතර නොතේරෙන දරුවා අතට ස්මාට් දුරකථනය ලබා දෙමින් මව්පියන් ඒ දරුවාට සිදු කරන අසාධාරණය අනුමත කල නොහැකියි.

දරුවා තුල ස්වයං විනයක් ඇති කරමින් දුරකථනයේ හොද නරක සරලව ආදර්ශමත් ලෙස කියා දීම හරහා පුංචි දරුවන් ස්වයං විනය ගන්නට පුළුවන් . ඔබ ස්මාට් දුරකථනය අමුතු , භයානක මෙවලමක් ලෙස දරුවාට හඳුන්වා දීම නොකල යුතු අතර එය සරල සෙල්ලම් බඩුවක් මට්ටමට ද හඳුන්වා නොදිය යුතුයි. දෙමාපියන් ලෙස ඔබ දරුවා ඉදිරියේදි ස්මාට් දුරකථනය භාවිත කරන්නේ නම් ඔබ විසින්ම ස්වයං වාරණයක් පනවා ගැනීම අත්‍යාවශ්‍යයයි. එමගින් දරුවා තුල අනවශ්‍ය කුතුහලයක්, දුරකථනය නැරඹීමේ අවශ්‍යතාවක් ඇති වන්නේ නැහැ. එසේම දරුවාට යම් අවබෝධයක් පවතින වයසේදී දුරකථනය අවශ්‍යතාවය අනුව ලබා දීම කල යුතු අතර අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට අන් වෙලාවට එය නොදිය යුතුයි. යම් කාල රාමුවක් සකසා ගැනීම මෙහිදී වඩාත් සුදුසු වන අතර දෙමාපියන්ගේ නිරන්තර අධීක්ෂණයද වැදගත්.

කායික හා මානසික අතින් කුඩා කල පටන්ම දරුවා ශක්තිමත් දරුවෙක් ලෙස වර්ධනය කිරීමට නම් ස්මාට් ජංගම දුරකථනය හය හතර නොදත් කිරිකැටියාට ලබා නොදෙන්න. ඔබ මවක , පියෙකු ලෙස බුද්ධිමත්ව කටයුතු කරමින් දරුවාගේ ලමා ලෝකය ලමයෙකු ලෙස අත්විඳින්නට අවශ්‍ය පරිසරය සකස් කර දෙන්න.

මුදිත S පරණමාන මහතා
හිටපු සභාපති
ශ්‍රී ලංකා වෘත්තීය මනෝ විද්‍ය සංගමය

සටහන කුමුදිකා ඩී සපුතන්ත්‍රි