free stats

විවාහපත් වූ යුවලකගේ ඊලග සොදුරු බලාපොරොත්තුව වන්නේ දරු සුරතල් විඳීමයි. බලාපොරොත්තු සහගතව දරු පැටියෙකු ගැන බලා සිටියත් ඇතැම් අවස්ථා වල යම් යම් ගැටලු නිසා එම සිහිනය ඔබ නොසිතන තරම් දුර යන්නටත් පුළුවන්. සියලුම කාන්තාවන් විවාහ දිවියට පත් වන්නෙ එකම වයස් කාලයකදී නොවෙයි. බොහෝ දෙනා තමන්ගේ අධ්‍යාපන, ආර්ථික හා අනෙකුත් සමාජීයය ස්ථාවරත්වයන් ගොඩ නගා ගත් පසු විවාහයට ඇතුලත් වෙනවා. එහිදී වයස්ගත වීම වැඩි වන්නටත් ඉඩ තිබෙනවා. තවත් අය අඩු වයසින් විවාහවෙනවා. ඒ වගේම සෞඛ්‍ය අතින් ගත් කල සුදුසුම කාලයේදී විවාහවන පිරිසක්ද දකින්නට හැකියි. මෙසේ ඔබ විවාහ වන වයස දවසක ඉපදෙන්නට සිටින ඔබේ දරු පැටියාට බලපෑමක් සිදු කරන බව ඔබ දැන සිටියාද? ගැබිණියක් වීමට වඩාත් සුදුසු සෞඛ්‍ය නිර්දේශිත වයස සීමාව ගැන ඔබ දැනුවත්ද? මේ ගැන අද අපි සොයා බලන්නට හිතුවා.

කාන්තාවකගේ ජීවිතයේ සාරවත් වයස් කාලයක් තිබෙනවා. ප්‍රධානවම අපට කාන්තාවගේ වයස් සීමාවන් සෞඛ්‍ය තත්ත්වය අතින් කොටස් තුනකට වෙන් කර හඳුනාගත හැකියි.

  • අවුරුදු 20 සිට 29 දක්වා කාල පරාසය

මෙම කාලය කාන්තාවකගේ දිවියේ සාරවත්ම කාලය ලෙස හඳුන්වයි. ගැබ් ගැනීමේ හැකියාව ඉතා සාර්ථක තත්ත්වයෙන් යුතුව ඉහලින් පවතින කාලයක් ලෙස මෙය හඳුනාගත හැකියි. අධික රුධිර පීඩනය , දියවැඩියාව ආදී රෝග ඇතිවීමේ අවදානම මේ කාලයේදී ඉතාම අඩු මට්ටමක පවතිනවා. එසේම මේ වයස් කාණ්ඩයේ සිටින දරු ප්‍රසූතිය සිදු කල මව්වරුන්ට පසුකාලීනව පියයුරු පිලිකා හා ඩිම්බ කෝෂ පිලිකා ඇතිවීමේ අවදානම අඩුයි.

  • අවුරුදු 30 සිට 40 දක්වා කාල පරාසය

සාමාන්‍යයෙන් කාන්තාවකගේ දිවියේ උපරිම සරු කාලය වයස 35 න් පසු ක්‍රමයෙන් අඩු වෙන්නට පටන්ගන්නවා. මේ කාලයේදී ගබ්සා වීම්, සංජානනීය විකෘති දරු උපත් සිදු වීමේ අවදානමක් පවතිනවා. එසේම වයස 35 ඉක්මවූ කාන්තාවන් ගර්භණී වීමේදී දියවැඩියාව , අධික වමනය , බෝ නොවන රෝග හා ආරෙට එන රෝග බෝ වීමේ අවදානම හා වෙනත් විවිධ ආබාධ තත්ත්වයන් මවට හා දරුවාට ඇතිවීමටද හැකියි. අධි රුධිර පීඩනය හා ගර්භණී දියවැඩියා, කොලොස්ටරෝල් තත්ත්වයන් මේ වයස් කාලයේදී නිතර ඇතිවන්නට පුළුවන්. නිවුන් දරුවන් හෝ තුන් නිවුන් දරු උපත් සිදු වන ප්‍රමාණය වයස අවුරුදු තිස් ගණන් වලදි වැඩියි. එහි අවාසිය වන්නෙ එවැනි බහු දරු උපත් වලදී නොමේරූ උපත් සිදු වීමේ අවදානමද ඉහලින් පැවතීමයි. බොහෝ දුරට සිසේරියන් සැත්කමක් හරහා දරු උපත කරන්නට සිදු වන්නෙ මේ වයස් කාණ්ඩයේදී රුධිර වහනය හා වෙනත් ගැටලු මවට ඇති වීමේ ඉඩකඩ ඉහල වීම නිසායි.

  • අවුරුදු 40 සිට වයස් පරාසය

මෙම කාලයේදී ගර්භණී වීම ඉතා අවදානම් තත්ත්වයේ පවතිනවා. ගබ්සා සිදුවීම වැඩි අගයක් ගනු ලබනවා. ගබ්සාවට ලක්වන පිරිසෙන් 1/3 ක් පමණ අවුරුදු 40 හා 44 අතර වියේදී ගබ්සාවට ලක්වන බව සොයාගෙන තිබෙනවා.

වැදෑමහ පහතින් පිහිටීම හා

අඩු බර දරු උපත් ඇතිවීමේ අවදානමද මෙම වයසේ මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වයන්. එසේම ඉපදෙන දරුවා ඩවුන් සින්ඩ්‍රෝම් වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක්ද මේ වයස් කාලයේ ගර්භණී වන මව්වරුන්ට තිබෙනවා. වයස්ගත වීමත් සමග ඇතිවන නාරි හා ප්‍රසව ගැටලු මේ අවධියේදී බහුලයි.

2019 වසරේදී නව යොවුන් මව්වරුන්ගේ ප්‍රතිශතය 4.4% ක් වූ අතර 35 ට වැඩි වයස් මව්වරුන්ගේ ප්‍රතිශතය 12.7% ක් ලෙස සටහන් වූවා. අවුරුදු 20 ට අඩු වයස් ගැබ් ගැනීම් වලදීද අඩු බර උපත්, මල දරු උපත් හා නොමේරූ දරු උපත් සිදුවීමේ හැකියාව පවතිනවා. එසේම මවට ඇතිවන සෞඛ්‍ය ගැටලු හා මාතෘ මරණ අවදානමද ඉහලයි. මේ අනුව නීරෝගී දරු උපතකට සුදුසු කාලය ලෙස නිර්දේශ වන්නේ අවුරුදු 25 ත් 35 ත් අතර කාලයයි.

මවක් වීමට පෙරුම් පුරන ඔබත් මේ පිලිබඳ සැලකිලිමත් වී කටයුතු කිරීමෙන් ඔබටත් , පැටියාත් සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් අවම කරගත හැකියි.

වෛද්‍ය සත්සරණී ඉලංගකෝන් මහත්මිය
ආයතන භාර වෛද්‍ය නිලධාරිනී
ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය
කෙසෙල්වත්ත

සටහන කුමුදිකා ඩී.සපුතන්ත්‍රි