free stats

එදිනෙදා ජීවිතයේදී වෛද්‍ය උපදෙස් ඇතිව හෝ නැතිව ඕනෑම පුද්ගලයෙකුට ලබා ගත හැකි ඖෂධ වර්ග තියෙනවා. එම ඖෂධ Over cunter ලෙස හඳුන්වනවා. මෙම ඖෂධ ලබා ගැනීම සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට අහිතකර නොවේ. නමුත් ගැබිනි මවකට නම් තමන්ගේ හිතුමතේට, වෙනයම්. අයෙකුගේ උපදෙස් අනුව ඔසු සැලකින් මෙවැනි ඖෂධයක් වුවත් ගෙන පානය කිරීස සුදුසු නැහැ.

ගැබිනි සමයේදී තවත් ජීවිතයක වගකීම ඔබවෙත පැවරිලා තියෙනවා. ඖෂධ භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ නිරෝගී සුවය යි. එහෙත් ඕනෑම ඖෂධ ක්‍රියාකාරීත්වය අනුව අපේක්‍ෂිත හෝ අනපේක්‍ෂිත ප්‍රථිඵල ලැබෙන්න පුළුවන්. ඒ වගේම මව ඖෂධ භාවිත කිරීමේදී පෙකණිවැල දිගේ දරුවාගේ ශරීරයට එම ඖෂධය ගමන් කිරීම සිදු වෙනවා. මෙසේ ඖෂධ ගමන් කිරීමේ ප්‍රමාණය අඩු වැඩි ලෙස වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දී මෙම ඖෂධ සඳහා දරුවාගේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. එහිදී දරුවාට එම ඖෂධ කොපමණ ප්‍රමාණයක් දරා ගැනීමට හැකිද? යන්න පිළිබඳව නිෂ්චිතව පිළිතුරු ලබා දීමේ හැකියාවක් නැහැ.

මෙහිදී ගැබිනි මව අවධානය යොමුකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. ගැබිනි සමයේ මුල් මාස තුන කියන්නේ දරුවාගේ ශරීරයේ අවයව හැදෙන්න පටන් ගන්න කාලයයි. එහිදී වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබා ගන්නා. ඖෂධයක් ශරීර ගත වී දරුවාට එම ඖෂධ මඟින් අහිතකර බලපෑමක් සිදු වුවහොත් එම මවගේ කුසින් බිහිවන දරුවා අංගවිකල තත්ත්වයට වුවත් පත්විය හැකිය.

එම නිසා ගැබිනි සමයේ වෛද්‍ය උපදෙස් වලින් තෙරව තමාගේ හිතු මනාපයට ඖෂධ සැල්වලින් ඖෂධ මිලදී ගෙන පානය කිරීමේදී මේ පිළිබඳව සිතා බැලීම සිතා බැලීම ඉතාමත් වැඳගත්ය.

ගැබි ගැනීමට පෙර සිට යම් රෝගයක් සඳහා (අපස්මාරය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඇදුම, කොලෙස්ටරෝල්) ඖෂධ භාවිතා කරනවා නම්, ගැබ් ගත් පසු පෙර නිර්දේශ කරනු ලැබූ ඖෂධ පානය කිරීම සුදුසු නැහැ. එම නිසා තමන්ට පුරුදු ඖෂධ වර්ගය හිතු මනාපයට ඖෂධ සැල් වලින් ලබාගෙන භාවිතා නොකළ යුතුය. එවැනි රෝග සඳහා ඖෂධ භාවිතා කරන්නේ නම් ගැබ්ගත් පසු ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න. එවිට කුසෙහි සිටින දරුවාට අහිත කර නොවන ඖෂධ වර්ග භාවිතා කිරීමට ලබා ගැනීමට පුළුවන්

තවද ඔබට පවතින රෝග සඳහා ඖෂධ ලබා ගන්නා මවක් නම් ගැබ්ගත් විගස එම ඖෂධ නවතා දැමීම සුදුසු නැහැ. එවිට එම රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් දරුවාගේ ජීවිතයට අවධානම් තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් ඒ අනුව ඔබ දියවැඩියා රෝගයට ඖෂධ ලබා ගත් මවක් නම් ගැබ් ගත් පසු ඒ සඳහා ඖෂධ අඩු මාත්‍රාවකින් භාවිතා කරන්න පුළුවන් එහෙත් නැති නම් ඉන්සියුලින් භාවිතා කිරීමත් සුදුසුයි. එසේම ඇදුම රෝගයෙන් පෙලෙන මවක් වුවත් ගැබ්ගත් පසුව එම රෝගය සඳහා ලබා ගත් බෙහෙත් නැවැත්වීම සුදුසු නැහැ. මන්ද ඇදුම රෝග තත්ත්වය උත්සන්න වීම නිසා දරුවා වෙත ඔක්සිජන් ගමන් කිරීම අඩුවීමේ හැකියාව පවතිනවා. එම නිසා ඒ සඳහා ද ඖෂධ පානය කරනවා වෙනුවට ඉන්හේලර් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

එසේම අපස්මාර රෝගය සඳහා ඖෂධ පානය කරන විටදී ද ගැබි ගැනිමට පෙර භාවිතා කරන ලද ඖෂධ ගැබ් ගැනීමෙන් පසු භාවිතා කිරීම සුදුසු නැහැ. මන්ද ගැබිනි සමයේ මුල් මාස තුන කළලයේ ඉන්ද්‍රීය ජනනය වන කාලයයි. අපස්මාරය රෝගය සඳහා ලබාදෙන ඖෂධ දරුවාගේ ඉන්ද්‍රිය වර්ධනයට බලපෑම් කිරීමට හැකියාව පවතිනවා එම නිසා ගැබිනි සමයට පෙර නිර්දේශ කර ඇති ඖෂධ තමාගේ හිතුමනාපයට ඔසු සැල් වලින් ගෙන භාවිතා නොකර ‍ෙවෙද්‍ය උපදෙස් අනුව අවශ්‍ය පරිදි ඖෂධ පානය කිරීම ඉතාමත් සුදුසුය. එමෙන්ම අධික රුධිර පීඩනය මෙන්ම වර්ථමානයේ දක්නට ලැබෙන ඉන්පලුවන්සා රෝග තත්ත්වය ආදිය වුවත් ඖෂධ භාවිත කිරීමට ගැබිනි මවකට සිදු වන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබා ගැනීමට අමතක කරන්න එපා.

තවද ගැබිනි සමයේදී දරුවාට සිදුවන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ඉතාමත් කුඩා අසනීප තත්ත්වයකදී වුවත් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම වැදගත්.

ඇඳුම නොවන හෘද රෝග තත්ත්වයක් පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයක්, ආතරයිටිස් වැනි රෝග තත්ත්වයක් පවතින විටදී ඒ සඳහා ඖෂධ භාවිත කරන විට ගැබ් ගැනීම සුදුසු දැයි වෛද්‍යවරයා විමසා දැනගන්න. මන්ද එවැනි රෝග පවතින අයට සුදුසු වන්නේ සැලසුම් කළ ගැබි ගැනීමක්ය. එම නිසා එය සැලසුම් කරන අයුරු වෛද්‍යවරයා වෙත දැනුම් දෙන්න. එසේ නොමැතිව ගැබි ගැනීමක් සිදු වුවහොත් එම තත්ත්වය දරාගත නොහැකි වීම නිසා අහිතකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

ගැබි ගැනීමට පෙර සිට රෝගයක් පැවතුනත්, ගැබ්ගත් පසු රෝග තත්ත්යක් ඇති වුවත් එම තත්ත්වය සුවපත් කර ගත යුතුය. එයට හේතුව ගැබිනි සමයේ නිරෝගීව සිටීම ඉතා වැදගත් වන නිසාය. එම නිසා ගැබිනි සමයේදී වුවත් ඖෂධයක් ලබා ගත යුතු නම් ඒ සඳහා බිය විය යුතු නැහැ. නමුත් හිතුමනාපයට බෙහෙත් භාවිතා නොකොට නිසි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබා ගන්න මතක තිබා ගන්න.

ශික්‍ෂණ රෝහල
කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
ගනක සේනාරත්න මහතා

අරුණි ජයසේකර