free stats

‘දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් බලාගෙන ඉද්දී ලස්සන වෙනවා නම් ලැබෙන්න ඉන්නේ ගෑණු දරුවෙක්”. “ගැබිණි මවක් උදේ හවා දකින කෙනාගේ පෙනුම
තමයි ඉපදෙන්න ඉන්න දරුවටත් ලැබෙන්නේ” මෙකී නොකී විවිධ මිත්‍යා මත දරු ගැබක් දරා සිටින අම්මා කෙනෙක්ට නිරන්තරයෙන් අසන්නට සිදුවනවා. බඩදරු අම්මා කෙනෙක් ඒවා අසා සතුටට නැත්නම් කණගාටුවට පත්වන අවස්ථාත් එමටයි.

මවගේ කුසට ඉදිරියෙන් මඟුල් මුද්ද නූලක එල්ලා එය වැනෙන දිශාව අනුව ලැබෙන්නට සිටිනා දරුවාගේ ස්ත්‍රී, පුරුෂ භාවය පිළිබඳ අනාවැකි පල කිරීමත් මෙවන් එක් මිත්‍යා මතයක්. නමුත් මෙවැනි ක්‍රමවේදයන්ගෙන් හෝ මවගේ ශරීරයේ ස්වරූපය හෝ කුසේ ස්වරූපය අනුව දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බව විද්‍යාත්මක මතයයි.

දරුවකුගේ ස්ත්‍රී පුරුෂ භාවය උපත ලැබීමට පෙර දැනගත හැකි පහසුම හා නිවැරදිම ක්‍රමය වන්නේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම බව වෛද්‍ය මතයයි.

තවත් එක් මතයක් වන්නේ ගැබිණි කාලයේදී අම්මා කෙනෙක් පැණිරස කෑම එහෙමත් නැත්නම් චොක්ලට් වැඩිපුර ආහාරයට ගැනීම හොඳ නැති බවයි. නමුත් චොක්ලට් ආහාරයට ගැනීමෙන් ගර්භණී භාවයේ අවසාන මාස කිහිපයේ පසුවන මව්වරුන්ට වැළදෙන අධිරුධිර පීඩනය
සියයට 40කින් අඩුකර ගැනීමට හැකියාව ලැබෙන බව සොයාගෙන තිබෙනවා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් සිරුර වෙහෙසවන්න හොඳ නැහැ. වැඩිපුර දඟලන්නේ නැතිව එක්තැන් වෙලා ඉන්න තරමට ප්‍රවේශම් කියලත් සමහරු උපදෙස් දෙන අවස්ථා තිබෙනවා. ගැබිණි කාලයේදී ඇවිදීම සහ යෝග අභ්‍යාස කිරීමත්, ව්‍යායාම උපදේශකවරයෙක් ගේ උපදෙස් ලබාගෙන මව්වරුන් සඳහා සුදුසු ව්‍යායාමවල යෙදීමෙන් මවගේ රුධිර සංසරණය ක්‍රමාණුකූල වි පහසු දරු ප්‍රසූතියක් මෙන්ම නිරෝගි දරු සම්පතක් හිමි කර ගැනීමට හැකියාව ලැබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කරනවා.

මාලු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සහ මුහුදු පැලෑටි වැනි ඔමෙගා 3 අඩංගු ආහාරත් ගැබිණි මවක් වැඩිපුර ආහාරයට ගැනීම නුසුදුසු බවටයි ඇතැමුන් සළකන්නේ. මුහුදු ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් වඩා බුද්ධිමත් මෙන්ම හොද සන්නිවේදන හැකියාවන්ගෙන්
යුත් දරුවෙක් ලබාගැනීමට හැකියාව ලැබෙන බවටත් සොයාගෙන තිබෙනවා. මුහුදු ආහාර ආහාරයට නොගත යුත්තේ ආසාත්මිකතාවක් ඇත්නම් පමණයි.

රටකජු වැනි ආහාර වලින් වැළකී ඉන්න සමහර ගැබිණි අම්මලා පරෙස්සම් වන්නෙ ඒවා ආහාර ලැබෙන්න ඉන්නා දරුවාට විෂ වේ යැයි බියෙන්. නමුත් වෛද්‍යවරුන් පවසන්නේ අම්මාට යම් ආහාරයක් විෂ නොවේ නම් එය ආහාරයට ගැනීමෙන් දරුවාට ආහාර විෂ වීමක් සිදු නොවන බවයි.

ගැබිණි මවකට ආහාර ගන්නා වෙලාව ඇතැම් විට අප්‍රසන්න මොහොතක් වන්නේ දෙන්නෙක්ට කන්න යැයි කියමින් පවුලේ අනෙක් අය බලකරනා නිසයි. එය ගර්භණී භාවය සම්බන්ධයෙන් ඇති සම්පූර්ණයෙන්ම අසත්‍ය මතයක්. වැදගත්වන්නේ පෝෂ්‍ය ගුණයෙන් පොහොසත් ගුණාත්මක ආහාර මවට ප්‍රමාණවත් අයුරින් ආහාරයට ගැනීම මිස දෙගුණයක් ආහාරයට ගැනීම නොවෙයි. දෙදෙනෙක්ට ආහාර ගැනීමට යාමෙන් සිදු වන්නේ ආහාර සම්බන්ධයෙන් මවට ඇති රුචිය පවා නොමැති වී යාමයි.

ගැබිණි බවේ මුල් අවධියේ ඇති වන ඔක්කාරය සහ ඇගට දැනෙනා තෙහෙට්ටු ගතිය උදෑසන කාලයේම පමණක් ඇති විය යුතු බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. දවසේ වෙනත් වේලාවක මෙම තත්ත්වයන් ඇතිවිම අසාමාන්‍ය දෙයක් ලෙසට සළකන අවස්ථාත් තිබෙනවා. වැඩි දෙනෙක්ට මෙම අපහසුතාවය උදෑසනට ඇති වුවත් ඇතැමුන්ට මෙය දවසේ වෙනත් වේලාවක ද ඇති විය හැකියි. ශරීරයේ හෝමෝන වල වෙනස්වීමෙන් මතු වන මෙම තත්ත්වය ඇති වන වේලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වන බව නිරික්ෂණවලින් සනාථ වී තිබෙනවා.

උණු වතුර ස්නානය කිරීම වගේම හිසකෙස් වියළීම සඳහා හෙයා ඩ්‍රයරයක් භාවිත කිරීම ගැබට හානිදායක බවත් ගැබිණි බව සම්බන්ධයෙන් තිබෙන තවත් එක් දුර්මතයක්. සාමාන්‍ය රස්නයකින් යුත් උණු වතුර ස්නානය කිරීමත් හිසකෙස් වියළීමට ඩ්‍රයරයක් යොදා ගැනීමත් කිසිසේත්ම ගැබට හානිදායක නොවන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

වේගයෙන් ඇවිදීමෙන් ප්‍රසූතිය පහසු කරන බවට මිත්‍යා මතයක් ද
සමාජයේ පවතිනවා. වේගයෙන් ඇවිදීමෙන් මව ඉක්මනින්
වෙහෙසට පත්වීමත්, පහසුවෙන් අනතුරට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිවීමත් මිස ප්‍රසූතියට පහසුවක් වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් අලුත උපන් බිළිදෙකුගේ සාමාන්‍ය උපත් බර වන්නේ රාත්තල් 7.5යි. නමුත් මෙම ප්‍රමාණයට අඩු බරින් මෙන්ම වැඩි බරින් යුත් දරුවන් උපත ලැබීම සාමාන්‍ය කරුණක්. බොහෝ මව්වරුන් විශ්වාස කරනුයේ ශරීර ප්‍රමාණයෙන් හා බරින් වැඩි දරුවන් නිරෝගී දරුවන් බවයි. නමුත් නියමිත උපත් බරින් යුත් දරුවන් මිස ප්‍රමාණයෙන් බරින් ඉතා වැඩි දරුවන් නිරෝගී බවට විශ්වාස කිරීම මිත්‍යා මතයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඇතැම් මව්වරුන් සිරුරේ ඇති වන නොයෙකුත් අපහසුතා ඉවසා දරා ගනිමින් වම් පසට හැරී නිදාගන්නට උත්සාහ දරන්නේ ගැබිණි මවක් වම්පසට හැරී නිදා ගත යුතු බවට ඇති මිත්‍යා මතයන් නිසයි. නමුත් වෛද්‍යවරුන් පවසන්නේ මවට කුසට අපහසුතාවයක් ඇති නොවන ලෙසට පහසු ඉරියව්වකින් නිදා ගැනීම හොඳම ක්‍රමය බවයි. නමුත් පිටකොන්දේ අපහසුතා ඇති මව්වරුන් සඳහා නම් උඩු අතට හැරී වැඩි වේලාවක් නිදා ගැනීම සුදුසු වන්නේ නැහැ.

එදිනෙදා අහන්නට ලැබෙන නොයෙකුත් මතවාද විශ්වාස කිරීම හේතුවෙන් මව්වරුන් නොයෙකුත් ඇබැද්දීන්ට මුහුණදුන් අවස්ථා නැතිවා නොවේ. මිත්‍යා මත විශ්වාස කර ඇතැම් ආහාර වළින් වැළකී සිටීමෙන් පෝෂණ ඌනතා ඇති කරගත් අම්මලා වෛiවරුන්ට හමු වී තිබෙනවා. ඉපදෙන්නට ඉන්නා දරුවා පුතෙක් යැයි විශ්වාස කර ඔහුට අවශ්‍ය බඩු සියල්ල සූදානම් කරගත් පසුව ලැබෙන දරුවාගේ දුවෙක් වූ අවස්ථා වැනි අකරතැබ්බයන්ද අසන්නට ලැබෙනවා.

සටහන
දර්ගා දුලාංජලී ධර්මසිරී