free stats

හැමදාම ඔබට ගෙනෙන මනෝ විද්‍යාත්මක ලිපි වෙනුවට වෙනත් දෙයක් ගෙන එන්න හිතුනා. මේ තාත්තා කෙනෙක් දුවට ජීවිතය ගැන කියා දෙන හැටි. හරිම මිහිරි අපූරු ගීතයක් . අන්තර් ජාලයෙන් ඔබට අහන්න පුළුවනි.බලන්න ඔබත් ඔබේ දුවට ලෝකේ කියලා දෙන්නේ මෙහෙමද කියලා. මෙහෙම නොවේ නම් අද උත්සහ කරන්න.
ඔබේ පුංචි සුරංගනාවියට ජීවිතය කියා දෙන්න
ඔබේ දියණිය අනාගත පරපුරක අභිමානවත් මාතාවක් කරන්නට නම් ඒ සඳහා පළමු පියවර තැබීම කළයුත්තේ තාත්තා වන ඔබයි.

ගීතය:-
පියා – මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
දුව – ඇත්ත ද තාත්තේ…..
පියා – කිව්වට ගුණ කඳ නැත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
දුව – වාසනාවන්…
පියා – වරදක් වී දඬුවම් දෙන දා
හොර බොරු නොකරනු දුව කිසිදා
දුව – නෑ කරන්නේ……
පියා – වරදට ආයුෂ අඩුයි ලොවේ
හොඳ පවතියි හැමදාම දුවේ
දුව – හැබැයි හැබැයි…..
පියා – සැප මෙන් දුක ඉවසා ඉන්න
හිනැහී හිත සනසා ගන්න
දුව – හ හා හොඳයි….
පියා – නැති බැරි අය හට පිහිට වෙනු
නැති තැන ඇති දෙය පිනට දෙනූ.
දුව – ඒක එහෙමයි….

ගායනය – ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ දමයන්ති ඒකනායක
පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – මොහමඞ් සාලි

ගීතය රසවින්ඳනය උදෙසා පමණක් නොව සමාජ පණිවුඩයක් ලෙස භාවිතා කළ හැකි බව කදිමට පැහැදිලි කර දෙන අපූරු ගීතයක් ඇසුරෙන් රසවින්දනයක් ඔබට ගෙන එන්න හිතුනා. මේ ගීතය තරමක් පැරණි ගීතයක්. එහෙත් එහි අගය කිසිදා පැරණි වෙන්නේ නැහැ. කරුණාරත්න අබේසේකර ශූරීන් විසින් තාත්තා කෙනෙකුගෙයි දුවෙකුගෙයි ආදරය හෙළිදරව් කරන තාත්තා දුවට ලෝකය ගැන කියා දෙන ආකාරය ඉතා මනරම් ලෙස ගීතයකට යොදා ගත් අවස්ථාවක් මේ අපි දකින්නේ. සරල මටසිළුටු බසකින් මෘදු ආමන්ත්‍රණයකින් ලෝක ස්වභාවයේ ගැඹූර කියා දෙන තාත්තාගේ හඬට ගායනයේදී පණ පොවන්නේ ඒ යුගයේ ගීත ගායනයේ ඉහළම තැනක සිටි ජේ. ඒ. මිල්ටන් පෙරේරා කලාකරුවායි. ඔහු සමග දුවණිය ලෙස ගීතයට අපූරු අලංකාරයක් එකතු කළ සිඟිත්තිය දමයන්ති ඒකනායකයි. මේ ගීතය වසර හතළිහකටත් වඩා පැරණි වුවත් අදත් තාත්තා කෙනෙකුට තම ආදරණිය දියණියට දිය හැකි ඉහළම මග පෙන්වීමක් මේ ගීතය තුළ අඩංගුයි.

“මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ“

තාත්තා දුවට පළමුවෙන්ම කියා දෙන්නේ තමාට මුළු ලොවටත් වඩා දියණිය වටින බවයි. මව්පියන්ට දරුවන් තරම් වටිනා දෙයක් මිහිපිට නැත. බුදුහිමියන් පවා “පුත්තා වත්ථු මනුස්සානං“ මනුෂයාට දරුවන් සම්පතකි යනුවෙන් දේශනා කලේ එහෙයිනි. විශේෂයෙන් තාත්තා සහ දුවක අතර සුවිශේෂි වූ බැඳිමක් ඇත. ලෝකයම තම දෙපා මුල තැබුවත් දියණිය තමාට ඊටත් වඩා වටින බව තාත්තා කියයි. දියණිය ඉන් මහා සතුටක් අත්විඳී.

“ ඇත්තද තාත්තේ“

ඇය හුරතල් වෙමින් විමසන්නීය. කුඩා දරුවකුට මව්පියන්ගෙන් ලැබෙන ආදරය පිළිගැනීම සහ රැකවරණය තරම් වටිනා තවත් දෙයක් නැත. දරුවාගේ පෞරුෂ සංවර්ධනයට ආදරය පිළිගැනීම සහ රැකවරණය මගින් ලබා දෙනුයේ ඉමහත් දායකත්වයකි. දරුවා ලෝකය විශ්වාස කරන්නේත් ලෝකයට ආදරය කිරීමට පටන් ගන්නේත් මේ තුළීනි. මේ තාත්තා ජීවිතය කියවූ තාත්තා කෙනෙකි. ඒ නිසා පළමුවෙන්ම දියණියට ඒ බව ප්‍රකාශ කර සිටී. එවන් තාත්තා කෙනෙකුට සවන් නොදෙන දියණියක් ලොව නැත.

“කිව්වට ගුණ කඳ නැත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා“

තාත්තා ඊළඟට කතා කරන්නේ තාත්තාටත් දියණියටත් මේ ලොව සිටින වඩාත්ම ආදරය කරන තැනැත්තිය පිළිබඳවය. අම්මා! අම්මාගේ ගුණ කඳ කියා නිම කළ නොහැකිය. තාත්තා කෙනෙකු අම්මාගේ ගුණ දරුවන්ට කියා දෙන නිවස ආදරය සෙනෙහස දොරේ ගලා යන නිවසකි. එවන් නිවසක හැදෙන වැඩෙන දරුවන් තරම් වාසනාවන්ත දරුවන් තවත් නැත. මව්පිය දෙදෙනාගේ ආදරය දරුවන් දැකිය යුතුය. විඳිය යුතුය. මව්පියන් එකිනෙකාට ගරු කරන ආකාරය එකිනෙකා අගය කරන ආකාරය දකින දරුවෝ අනෙකාගේ ජීවිතයට ජීවත්වීමේ අයිතියට ගරු කරති. අනෙකාගේ හොද අගයති. දියුණූවට කැමති වෙති. මේ තාත්තා දියණියට මව්ගුණ නොමසුරුව කියා දෙයි. එපමණක් නොව තාත්තාට ඔහුගෙ ඇස් දෙක තරම් අම්මා වටිනා බව දියණියට පවසයි. මිනිසකුට ජීවත්වීමේදී ඇස්දෙක තරම් ප්‍රයෝජනවත් යමක් නැත. ලෝකයේ හොඳ නරක, සුන්දර අසුන්දර සියල්ල ඔහු හඳුනා ගන්නේ ඇස් දෙකිනි. එසේ නම් මේ අම්මා ඔහුට ලෝකය හඳුනා ගන්නට උදව් කල මව් කෙනෙකි. ඔහුගේ ජීවිතයට අලෝකය ගෙනා මව් කෙනෙකි. ඒ මව දියණියකට ලැබිය හැකි උතුම්ම මව බව තාත්තා දියණියට පවසයි. මේ තාත්තා මතු බුදුවන තාත්තා කෙනෙකි. දියණියට ඒ බව දැනේ.

“ වාසනාවන්“
ඇය ඒ උතුම් අම්මා අගයන්නේ එසේ කියමිනි.

“ වරදක් වී දඬුවම් දෙන දා
හොර බොරු නොකරනු දුව කිසිදා“

ජීවිතයේදී අප සෑමවිටම නිවැරදි නොවේ. වැරදීම මනුෂ්‍ය ස්වභාවයයි. එය මේ තාත්තා හොඳින් දනී. ඒ නිසා තාත්තා කිසිදා වැරදි නොකරන ලෙස පවසමින් අසීරු ප්‍රයාමයන්ට ප්‍රායෝගික නොවන තත්වයන්ට දුවව පත් නොකරයි. ඒ වෙනුවට ඔහු දුවට වඩාත් යාථාර්ථවත් මග පෙන්වීමක් කරයි. එනම්“ ඔබ ද මනුෂ්‍යයකු බැවින් වැරදීම් සිදුවිය හැකිය. එය තාත්තා ලෙස මම දනිමි. එහෙත්, වරදක් ඔබ අතින් සිදුවී එයට දඬුවම් විඳින්නට සිදුවුවත් එම වරද වසා ගන්නට හොර බොරු කවදාවත් කරන්න එපා දුවේ“ සත්‍ය මත පිහිටා කටයුතු කරන්න. මේ තාත්තා දුවට කියන්නේ අසීරුම අවාසිම මොහොතේ පවා සත්‍යවාදී වන ලෙසයි. තමා කළ වරද පිළිගැනීම ඒ වෙනුවෙන් ලැබෙන දඬුවමට යටත්වීම සහ සත්‍යගරුක වීම මනුෂ්‍ය ධර්මතා අතර මුල්තැනක් ගන්නා බවත් එය දියුණූ සමාජීය ලක්ෂණයක් බවත් තාත්තා දුවට කියා දෙන අපූරුව හදවත සනහාලයි.

“ නෑ කරන්නේ“
දියණිය ඒ බැව් අවබෝධ කරගනී. ඒ වටිනා ගුණය රකින බව ඇය පොරොන්දු වෙයි.

“ වරදට ආයුෂ අඩුයි ලොවේ
හොඳ පවතී හැමදාම දුවේ“

හොඳ දේ ලෝකය සුවඳ කරමින් සැමදා පවතින බවත් වරද සහ වැරදි දෙය තාවකාලිකව බලවත් වූවත් එය ඉක්මනින් ලෝකය විසින් බැහැර කරනු ලබන බවත් තාත්තා දුවට කියා දෙයි. එම නිසා වරදක් වුවත් එය ඉක්මනින් නිවැරදි කරගෙන හොඳ පුද්ගලයකු ලෙස ජීවත්වීම වැදගත් බව තාත්තා ඔවදන් දෙයි. දරුවන්ට මව්පියන් පූර්ව ආචාරීන් වන්නේ මේ නිසාය. සමාජයට ආධුනිකයකු ලෙසින් පිවිසෙන දරුවාට සමාජය සර්ව සුබාදී තැනක් නොවන බව කියා දීමටය. එහි සර්ව නිර්දෝෂී පුද්ගලයන් නැති බව කියා දීමටය. මේ ගැන කියා දෙන තාත්තාට සේම දියණියටත් එසේ සිටිය නොහැකි බව කියා දෙන ගමන් අතපසුවීම් වැරදීම් ඉක්මනින් නිවැරදි කරගැනීම මිනිසකු සතුවිය යුතු වටිනාකමක් බවත් තාත්තා කියා දෙන විට

“ සැබැයි සැබැයි “
යනුවෙන් දියණිය පිළීතුරු දෙන්නේ මේ තාත්තාගේ ජීවිතය ඇය ආදර්ශයක් කොට ගෙන ඇති නිසා විය හැකිය.

“ සැප මෙන් දුක ඉවසා ඉන්න
හිනැහී හිත සනසා ගන්න “

මිනිසකු මුහුණ දෙන සියළුම සිදුවීම් සහ අත්දැකීම් ඔහුගේ සතුටට හේතු වන සිදුවීම් නොවේ. දුක සැප, යස අයස , නින්දා ප්‍රශංසා සහ ලාබ අලාබ විටෙක ඔහු දුකටත් සතුටටත් පත් කරවයි. මේ අටලෝ දහම සියළු සත්වයනට පොදු වූවකි. එය ඉක්මවා යෑමට පුහුදුන් පුද්ගලයන්ට අසීරුය. ජීවත්වීම යනු මේ සියල්ලටම මුහුණදීමයි. මේ ධර්මතා සැමට පොදු වේ නම් ඒ පිළිබඳව හඬා වැළපී කාලය නාස්ති කරගැනීමෙන් සිදුවන යහපතක් නැත. හිත හදා ගැනීම හැර කළයුතු අන් කිසිවක් නැත. හිත සනසා ගැනීමට සිනාව තරම් ඖෂධයක් තවත් නැත. එමනිසා පැමිණි දුක් පැණි රසයයි සිතා සිනාසී ජීවිතයට මුහුණ දෙන මෙන් තාත්තා පවසයි. අහිමි දෙය හෝ ලබාගන්නට අසීරු දෙය ගැන දුක් වනවාට වඩා ලැබී ඇති දේ ගැන සතුටු වන ලෙස තාත්තා දියණියට කියා දෙයි.

“ හා හා හොඳයි“
දියණිය එය හිස් මුදුනින් පිළිගනී.

“ නැති බැරි අය හට පිහිට වෙනූ
නැති තැන ඇති දෙය පිනට දෙනූ“

ජීවිතය මෙහෙවරක් කිරීම උදෙසා ද කැප කළ යුතුය. එය මිනිස්කමයි. තාත්තා දියණියට මිනිස්කමේ උතුම් අරුත කියා දෙයි. ඒ තමාට වඩා වරප්‍රසාද අඩුවෙන් ඇති අය වෙනුවෙන් වැය කරන්නට කාලයක් ජීවිතයෙන් වෙන් කර ගන්නා ලෙසයි. මේ පිහිටවීම මුදලින් , ශ්‍රමයෙන් , දැනුමෙන් පමණක් නොව සමහර විටෙක කරුණාබරිත වදනකින් හෝ සවන්දීමකින් විය හැකිය. එවන් පිහිටක් අවැසි අය වෙනුවෙන් කාලය වෙන් කර ගන්නා යහපත් මිනිසුන් අතර තම දියණියද සිටිනු දකින්නට රිසි වූ පියකු එසේ කීමෙන් පමණක් නොනැවතී පුහුදුන් මිනිසකුට කිරීමට ඉතාම අසීරු කර්තව්‍යයක් කිරීමට දියණියට ඔවදන් දෙයි. ඒ තමා සතුව වැඩිපුර ඇති දෙය එසේ නැති අයට දෙන ලෙසයි. තණ්හාවෙන් එකතු නොකර අවැසි පමණට තබා ගනිමින් වැඩිපුර දෙයක් ඇත්නම් ඒවා අවශ්‍ය එහෙත් ලබාගැනීමට හැකියාවක් නැති අයට දෙන ලෙස තාත්තා දියණියට කියයි. අනවශ්‍ය ගොඩ ගසා ගැනීම් වලින් තොරව අන්‍යයන් වෙනුවෙන් තමා ඉපැයූ දෙයින් යමක් පරිත්‍යාග කරන, අනුන්ට පිහිට වන, වරද පිළීගන්නා සත්‍යගරුක අටලෝ දහමින් කම්පා නොවී සිනාසී ජීවිතයට මුහුණ දෙන මව්පියන්ගේ අගය දන්නා දරුවකු ලෝකයට දායාද කරන්නට තම දියණියට ආදරයෙන් ඔවදන් දෙන තාත්තා කෙනෙකු හමුවීම තරම් වාසනාවක් දියණියකට තවත් ඇද්ද?

ලෝකයේ පැවතිය යුතු යහපත් පුරුෂාර්ථ, ගුණදහම්, ධර්මතා වියැකී යන අවිචාරවත් සමයක ජීවත් වෙන අපහට මෙබඳු ගීත අසන්නට නොලැබීමේ අඩුව අන් කවරදාටත් වඩා දැනෙයි. දියණියන් නොහඳුනන පියවරුන් වෙසෙන සමාජයක , මව්ගුණ නොහඳුනන මව්වරුන් සිටින සමාජයක් මෙබඳු ගී කෙසේ ලියැවෙන්නද? මෙවන් ඔවදන් නොලද දියණියෝ පියවරුන් මහමග දමා යති, බලු‍කූඩුවල දමති, මහළු නිවාසවල හැරදා තනි කරති.

එවන් සමාජයකට සියලු‍ම ගුවන්විදුලි රුපවාහිනී නාළිකාවලින් උදේ සවස ඇසෙන්නට සැලසිය යුතු වටිනා ගීතයක් කරුණාරත්න අබේසේකර ශූරින් අතින් ලියැවීම තිබීම පැසසුම් ලැබිය යුතු වෙය. එසේම පද රචනයේ අර්ථයන් හොඳින් කුළුගැන්වෙන පරිදි මිහිරි සංගීතයකින් ගීතය අලංකාර කර ඇත්තේ එවක සිටි ශේෂ්ඨ සංගීතයකු වූ මොහොමඞ් සාලි විසිනි. තාත්තාත් දුවකත් අතර ඇති ආදරණීය බව කැටි කරමින් සිය මධුර වූ ගැමුරු කටහඬින් දියණිය අමතන ජේ. ඒ. මිල්ටන් පෙරේරාත් සුරතල් බොළඳ දියණියක ලෙස දමයන්ති ඒකනායකත් සිය ගීතවත් බවින් ශ්‍රාවකයින්ගේ සවණත මිහිරියාවකින් පුරවයි. හදවතට සිතා බලන්නට බොහෝ දෑ ඉඟි කරයි. සුභාවිත ගීතයක රස වින්දනය උපරිමයෙන් ලබා දෙන ගීයකි.

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන