free stats

මීට දසක කිහිපයකට පෙර එක පවුලක දරුවෝ ගොඩක් හිටියත් අද වෙද්දි ඒ ගණන බොහොම අඩු වෙලා. අද වන විට බොහොමයක් දෙමාපියන් එක දරුවෙක්ට පමණක් සීමා වෙලා. දරුවන් දෙතුන් දෙනෙක් සිටින පවුල් පවා ඇත්තේ සීමිත ගණනක් පමණයි. ආර්ථික, සාමාජීය ගැටලු හමුවේ දරුවන් කිහිප දෙනෙකු ඇති දැඩි කරන්නේ කෙසේද යන ගැටලුව ඔවුන්ටත් ඇති. කෙසේ වුවත් ඔබේ ඒ ඔබේ කැමැත්ත සහ හැකියාව මත සිදුවන්නක්. ඔබේ දරුවා පවුලේ එකම දරුවා නම් මව්පියන් ලෙස සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම.

එක් දරුවෙකු පමණක් සිටින පවුලක ඒ දරුවා වෙනුවෙන් වෙන් වන කිසිවක් කිසිදු අයුරකින් බෙදී යන්නේ නැහැ. ආදරය, රැකවරණය සේම අනෙක් සියල්ලද ඒ දරුවා වෙනුවෙන්ම වෙන්වේ.

■ තමන්ගේ කාර්යයන් තනිව කරගැනීමට හුරුකරවන්න

ඔබට සිටින එකම දරුවාට උපරිමයෙන් හැමදේම ඔබ ලබා දෙනවා ඇති. නමුත් ඔබටම නොදැනුවත්ව ඔබ ඔබේ දරුවාට යම් අසාධාරණයක් සිදුකරනවා යැයි අප පැවසුවහොත් ඔබ එයට එකඟ නොවනු ඇත. උදාහරණයක් ලෙස කැවීම/පෙවීම, ඇඳුම් ඇන්දවීම වැනි සුළු දේ පවා මව්පියන් අතින්ම දරුවා වෙනුවෙන් සිදු කිරීම දරුවාට ජීවිතයට අත්‍යවශ්‍ය දේ ඉගෙනීමට බාධා ඇති කරයි. දරුවාද සැමවිටම තම කාර්යයන් මව්පියන් අතින්ම ඉටු වන තුරු බලා හිඳින්නට හුරු වෙනු ඇත. එසේම කල්යත්ම තමන්ගේ කාර්යය වෙනුවෙන් මව්පියන් මුල් තැන දිය යුතුය යන ආකල්පය තම සිත තුළ ගබඩා කරගන්නා දරුවා සුළු ප්‍රමාදයක් පවා ඉවසීමට හුරුවනවා.

■ එකම දරුවා කියා දරුවාගේ වැරදි මග නොහරින්න

කොයි දේටත් අපිට ඉන්නේ මෙච්චරයි. වරදක් කරා කියලා දඬුවම් දෙන්න හොඳ නෑ. ඒ වගේම අපේ දරුවා කිසිදු වරදක් කරන්නේ නැහැ. මෙන්න මේ වගේ ආකල්පවල ඉන්න මව්පියන් අන්නතවත් අපිට මුණ ගැහෙනවා. තනි දරුවා කියා දරුවාගේ වැරදි නොසලකා හැරීම දරුවාට කරන අසාධාරණයක් බව හොඳින් මතකයේ තබාගන්න. ඔබේ දරුවා විනයානුකූල පුරවැසියෙකු ලෙස සමාජයට දායාද කරන්නට නම් දරුවාගේ වැරදි පෙන්වා දී නිවැරදි කරන්න.

■ දරුවාගේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය වටපිටාව ගොඩනඟන්න


දරුවෙකුගේ පෞරුෂය හැඬ ගැසීම ප්‍රවේණිය හා පරිසරයේ බලපෑම මත රඳා පවතී. පරිසරය ගැන සැලකුවහොත් මනා පෞරුෂ ලක්‍ෂණ දරුවෙකුට පිහිටීමට දෙමාපියන්ගේ දායකත්වය අනිවාර්ය වේ.

■ පරාර්ථකාමී බව හුරු කරවන්න


එක් දරුවෙකු පමණක් සිටින පරිසරයකදී හැදී වැඩෙන බහුතරයක් දරුවන් ආත්මාර්ථකාමී ලෙස හැදී වැඩීමට වැඩි ඉඩකඩක් පවතී. සියල්ලම මගේ යැයි අයිති කරගෙන සිටින දරුවා වැඩිහිටිවියට පත් වූ විටද එම තත්ත්වය වැඩි මිසක් අඩු නොවනු ඇත. මෙවිට දෙමාපියන්ගේ වගකීම වන්නේ දරුවා අන් දරුවන් ඇසුරට දමා ඔවුන් සමග සෙල්ලම් බඩු, ආහාර ආදිය බෙදාහදා ගැනීමට උනන්දු කරවීම සහ ඒ වෙනුවෙන් හුරුකරවීමයි. එසේම එසේ බොදාහදා ගනිමින් යහළුවන සමග සතුටු වන දරුවා පැසසුම ඔබ අතින් ඉටු විය යුතු වටිනා කාර්යයක් බව අමතක කරන්න එපා.

■ ඔබේ එකම දරුවා වැඩදායී පුද්ගලයෙකු ලෙස සමාජගත කිරීමට නම්,

දරුවාට අවශ්‍ය ආදරය හා රැකවරණය ලබාදෙන්න. ඉන් පසු ඔබට දරුවා හැසිරවීමට පහසු වනු ඇත. ඔබගේ උපදෙස් හා දඬුවම් තමාගේ යහපතට බව දරුවා වටහාගන්නේ එවිටය.

■ හැකිතාක් අඩු වයසින් පුහුණු කිරීම් ආරම්භ කරන්න. එය දරුවා සමානව තත්ත්වයක් සේ සලකනු ඇත.

■ සෑම විටම ඔබ දෙමාපියන් වශයෙන් කටයුතු කරන්න. නායකත්වය ඔබ ගත යුතුය. දරුවා ඔබට අවනත කෙනෙකු විය යුතුය. කිසිම වයසකදී දරුවාට ඔබව පාලනය කිරීමට අවස්ථාව නොදිය යුතුය.

■ හැකිතාක් මව්පියන් වන ඔබෙන් වැරදීම් නොවන බවට වගබලා ගන්න. ඔබගේ තීරණය නිවැරදිදැයි දෙවරක් සිතන්න.
■ මත්පැන් භාවිතය අවම කරන්න. ඉන් ඔබේ දරුවාන හානි නොවන බවට වගබගා ගන්න.

■ දැනුම් තේරුම් ඇත වයසේ දරුවන් මව්පියන්ගේ තීරණවල වැරදීම් සිදුවුවහොත් වාසියට හරවා ගැනීමට උත්සහ කරන බැවින් ඔබ අතින් වරදි සිදු නොවන්නට වගබලාගන්න. සිදු වුවත් නැවත එය සිදු නොකරන්න.

■ මව/පියා/දරුවා අතර මනා බැඳීමකින් යුක්ත නීරෝගි පවුල් සැකැස්මක් පවත්වා ගන්න. දරුවාට අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ලබාදිය යුතු වුවත් ඒ අදහස් පවුල් සැකැස්ම තුළ විනයට කිසිදු අයුරකින් බාධා නොවන අයුරින් පාලනය කරන්න.

■ යම් හේතුවක් මත දරුවාට උපදෙස් ලබාදීමේදී පළමුව මව්පියන් සාකච්ඡා කර සම්මතයකට පැමිණ පරස්පර විරෝධී නොවන ආකාරයෙන් අදහස් ඉදිරිපත් කළ යුතුය. එසේ නොවන්නට ඔබේ පරස්පර විරෝධී අදහස් දරුවා අනිසි ලෙස භාවිතයට ඉඩ කඩ වැඩිය.

■ මව/පියා දරුවා සමග ගැටෙන විට අනෙක් තැනැත්තා දරුවාට ළංවී කාරාණය පැහැදිලි කරදීම තුළින් පීඩාකාරී අවස්ථාවක අවශ්‍ය මානසික සහාය දරුවාට හිමි වේ. ඇතැම් දරුවන්ගේ ආවේගාත්මක ක්‍රියාවන් පාලනයට එය කදිම විසඳුමකි.

■ හුරු පුරුදු වර්ධනය සඳහා දරුවාගේ වයස අනුව වෙනස් ක්‍රම භාවිත කළ යුතුය. එනම් කුඩා වයසේදී වුවද නුසුදුසු ලෙස අනුකම්පාව දැක්වීමෙන් අනවශ්‍ය ලෙස තොදොල් බසින් අමතීමෙන් වළකින්න.
■ දරුවාගේ ජීවිතය අධ්‍යාපනය පමණක් නොවන බවත් විවේකය, විනෝදය, සමාජ ආශ්‍රය දරුවාට වැදගත් බවත් තරයේ සිහිතබා ගන්න. ප්‍රබෝධමත් මනසක් මතක ශක්තිය මනාව පැවතීමට ඉවහල් වනු ඇත.

■ සමාජය/රූපවාහිනිය හරහා දරුවාට ලැබෙන බොහොමයක් දේ දරුවාගේ ජීවිතයට තදබල ලෙස බලපෑම් කළ හැකි නමුත් ඔබ කළ යුතු වන්නේ සමාජයෙන්/රූපවාහිනියෙන් දරුවා ඈත් කිරීම නොව ඒවා වයසට අදාලව දරුවාට වටහා දීමට උත්සාහ කරන්න.

■ සුදුසු ක්‍රියාවන් සඳහා දරුවා දිරිමත් කිරීමට පහත ක්‍රම උපයෝගී කරගත හැක.
ප්‍රශංසා කිරීම හා සැලකීම
ප්‍රදානය කිරීම හා විශේෂ වාසි ලබාදීම
ඉල්ලීම් කිරීම
උපදෙස් දීම
පොරොන්දු ලබාගැනීම
යෝජනාත්මක ප්‍රශංසාව

■ එසේම නුසුදුසු ක්‍රියාවන් නැවැත්වීම සඳහාද පහත ක්‍රම උපයෝගී කරගත හැක.
නොසලකා හැරීම
අවවාද/තරවටු කිරීම
ප්‍රදානයන්, විශේෂ වරප්‍රසාද අත්හිටුවීම
කායික දඬුවම
වෙන්කර තැබීම
සබඳතා නැවැත්වීම

දරුවන් තුළ ආත්ම විශ්වාසය/පෞරුෂය ඇති කිරීමෙන් ඔහු/ඇය තුළ තමා පිළිබඳව අභිමානයක් ගොඩනැ`ගේ. දරුවාට ජීවිතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය බුද්ධිය හා ආත්ම විශ්වාසය ගොඩනැඟෙන්නේ විෂය බාහිර ක්‍රියාවන් තුළිනි. මනා පෞරුෂයක් ගොඩනැංවීමට නම් දරුවාට නායකත්වය ගැනීමට අවස්ථාව ලබාදිය යුතුය. විෂය බාහිර කටයුතුවලදී මේ සඳහා අවස්ථාව ලැබේ. නිවසේදීම ළමා වීරත්වයට ඉඩ දෙන්න. එසේම සුළු සුළු ක්‍රියාවන් පවා කරන්නට ඉඩ නොදී පාලනය අනවශ්‍ය ලෙස නොකළ යුතුය. මෙමඟින් දරුවා තුල ආත්ම විශ්වාසය ගොඩනැඟේ.

දෙමාපියන් හා දරුවන් අතර සබඳතාවයේදී
සෑම විටම දරුවා ඉතා හොඳ බව සිතන්න
දරුවා හොඳ යැයි සිතන බව දරුවාට වැටහීමට ඉඩ හරින්න
දරුවා දෙස වරදකරුවෙකු ලෙස නොබලන්න
දරුවාගෙන් වරදක් සිදු වුවහොත් එය ක්‍රියාදාමයක් පමණක් බවත් එම ක්‍රියාව නරක් වුවත් දරුවා හොඳ කෙනෙකු බව සිතන්නට පුරුදු වන්න. ඔබගේ සිතුවිලි හා ක්‍රියා කලාපයන් දරුවා ඔබට ලංකරනු ඇත.

තනි දරුවෙකු සිටින දෙමාපියන් දරුවාට ඇති අසීමිත ආදරය හා හිත රිදවීමට ඇති අකමැත්ත නිසා ඉර හඳ ඉල්ලුවද එයද හැකිනම් දීමට පෙළඹේ. එවිට දරුවා වැඩිහිටියෙකු වූ විට අපහසුතා රැසකට මුහුණදෙනු ඇත. එමනිසා කුඩා කල සිටම

ජීවිතයේ සමහරක් දේවල් ලබාගැනීමට නොහැකි බව කුඩා කලදීම අත්විඳීමට ඉඩ හරින්න. මෙය නිරෝගී මානසික වර්ධනයට අවශ්‍ය පුහුණුවකි.

දරුවන් ඉල්ලන දේවල් ලබාදිය නොහැකි බව හෝ අඩුම තරමින් ඉල්ලා සිටින මොහොතේදී එය ලබාදීම කළ නොහැකි බව (ඔබ හැකියාව තිබුණද) ඉඳහිටවත් සිතා මතාම අවබෝධ කරවන්න.

එසේම ජීවිතයේ සමහර කටයුතු අපහසු බව වටහා ගැනීමට ඉඩ හරින්න.

දෛනික කටයුතුවලට දරුවා යොදවා ගැනීම මගින් එම කටයුතුවල තිබෙන අපහසුතාවය හා දුෂ්කරතා අත්විඳීමට ඉඩදෙන්න. ඔබගේ කැප කිරීම දරුවා කෙදිනක හෝ වටහා ගනු ඇත. අනෙකාගේ දුක වටහා ගැනීමට නම් තමාට ඒ පිළිබඳව අත්දැකීමක් අවබෝධයක් තිබිය යුතුය.

වෛද්‍ය අයි.එම්.එස් එදිරිසිංහ
මහ රෝහල, පොලොන්නරුව