බුදුන් වහන්සේ පවා මාතෘත්වය පිළිබඳව ගැඔුරින් වදාලේ එහි ඇති උත්තරීතර බව නිසායි. වරක් උන්වහන්සේ වදාලේ මාතෘත්වය යනු කාන්තාවක විසින් සිය ජීවිත කාලයේ දී පසක් කරගත යුතු උතුම්ම කාර්යය වන්නේ දරුවන් ලැබීම බවයි. ඒ අනුව ස්ත්‍රියගේ අධිෂ්ඨානය විය යුත්තේ දාරක ස්නේහයෙන් යුතු මවක් වීම යයි උන්වහන්සේ පෙන්වා දුන් සේක. ඒ අනුව
- මාතා උතුන් හෝති මවක් පරිපූර්ණ විය යුතුය.
- මාතා පිතෝච සත්ති පතිතා හොන්ති මව්පිය එක්වීම යහපත් අයුරින් විය යුතුය.
- ගන්ධබ්බෝච පච්චුපටිඨිතොහෝති ගන්ධබ්බයාගේ පැමිණිමක් විය යුතුය.
යනුවෙනි. කලල විකසනය පිළිබඳවත් පුළුල් ලෙස විග්‍රහ කළ බුදුන් වහන්සේ දරුවකුගේ වර්ධනය උදෙසා මව ගන්නා ආහාර පාන සේම ඇයගේ චිත්ත ස්වභාවය ද බලපාන බව ගැඹුරින් විග්‍රහ කරමින් දේශනා කර තිබේ.
බුදු දහමට අනුව පිළිසිඳගත් මොහොතේ පටන් දරුවාට මේ සංසාරයේ අනෙක් සියලු ජීවින්
කෙරෙහි පවතින අයිතිවාසිකම් හිමි වන්නේය. එයින් පළමුවැන්න ජීවත් වීමේ අයිතිය හිමි
වන්නේය. ලෝකය දැකීමේ අයිතිය හිමිවන්නේය. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ජීවත් වීමේ අයිතිය තහවුරු වීමත් සමඟ එතෙකින් ඒ දරුවාට සියලු අයිතිවාසිකම් හිමි වන බවයි. එසේම මවක් වන්නේ සාමාන්‍ය කාන්තාවක් නොව උත්තරීතර කාන්තාවක් බව පෙන්වා දෙන බුදුන් වහන්සේ ඒ ඇසුරින් මවක් සතර බ්‍රහ්ම විහරණ,
එනම්
- මෙත්තා
- කරුණා
- මුදිතා
- උපේක්‍ෂා
සහිතව ජීවත් විය යුතු බව දේශනා කළ සේක.
එබැවින් මාතෘත්වයේ උපරිම පළ නෙලා ගන්නට සිටින මවක් ලෙස ඔබත් ජීවිතයේ වෙනසක් කෙරෙහි යොමු වීම ඉතාම අගනේය. තමන් විශ්වාස කරන ආගමක් හෝ දර්ශනයක් කෙරෙහි නැඔුරු වෙමින් යහපත් දිවියකට හුරු වීම නිරෝගී දරු සම්පතකට හේතුවකි. මව්කුස උපන් විඥානය ඉවත්ව යයි නම් එතැන කිසිම විටෙක දරු උපතක් සිදු නොවේ. එය බුදුන් වහන්සේ වදාලා සේම වෛi විද්‍යාත්මකව ගත්විට සත්‍ය කතාවකි. ඒ හැරුණු විට උපදින්නට නියමිත දරුවෙක් මාස නවයක කාලයක් මව් කුස තුළ ගත කළ යුතු වේ. මේ කාලය සතියක් ඉදිරියට හෝ සතියක් පසුපසට වීම සාමාන්‍ය කාරණයකි. නමුත් එයට වඩා කල්ගත වීම හෝ කලින් දරුවා ප්‍රසූත වීම වෛi විද්‍යාත්මකව මෙන්ම බුදු දහමට අනුවත් වීමට සුදුසු නැති තත්ත්වයකි.
ගෞතම බුද්ධ සාසනයේ දාන ලාභි තෙරුන් අතරින් අග්‍රස්ථානය හෙබවු සීවලි මහරහතන් වහන්සේගේ උපත පිළිබඳව අපූරු කතා පුවතක් තිබේ. ඒ අනුව උන්වහන්සේ උපත ලබන අවධියේ උන්වහන්සේ සත් වසක්, සත් මසක්, සත් දිනක් මව්කුස තුළ සිරවී සිටි බව සඳහන් වේ. එයට හේතුව වී ඇත්තේ පෙර ආත්ම බවයක සිදුකරන ලද පාප කර්මයකි. එම ආත්මයේ එක් රාජ්‍යක රජකෙනෙකු වී රාජ්‍ය කරන සමයේ වෙනත් රාජ්‍යක කරන ලද කැරැල්ලකින් අනතුරුව එහි සිටි ජනතාව සත් වසක්, සත් මසක්, සත් දිනක් සිර කරගෙන සිටීම එයට හේතුව විය. එසේ මිනිසුන් සිරකරගෙන සිටීමට උපදෙස් දී ඇත්තේ අම්මා නිසා ඇයට ද මේ කර්මයට මුහුණ දීමට සිදුව තිබේ. මෙවන් කාරණා බොහෝමයක් කෙරෙහි පෙර කරන ලද කුසල අකුසල කර්මවල බලපෑමක් තිබෙන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ එබැවිනි.
බුදු දහමට අනුව උපන් දරුවා ගබ්සාවට ලක් කිරීම පාප කර්මයකි. ඒ දරුවා කුමන මට්ටමේ දරුවෙක් වුවද ඔහුට මෙලොව උපදීමට පූර්ණ සංසාරික අයිතියක් පවතියි. දරුවාට පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ අයිතියත් හිමිව තිබේ. බොහෝ රටවල ගබ්සාව සඳහා නීතිමය අයිතියක් නැත්තේ ද ඒ නිසයි. ලොව පුරාම දරුවන් කෙරෙහි අයිතිවාසිකම් පිළිබඳව ලෝක ප්‍රඥප්තියක් පවා සම්පාදනය කර ඇත්තේ ද මේ හේතුවෙනි. දරුවන්ගේ අයිතීන් ආරක්‍ෂා කරමින් දරුවන් කෙරෙහි දයාව පැතිරවීමෙන් අපේක්‍ෂා කරන්නේ යහපත් හෙට දවසක් නිර්මාණය කළ හැකි පුරවැසියන් පිරිසක් නිර්මාණය කිරීමටයි.
බුදුන් වහන්සේ ද දරුවන් කෙරෙහි ඉතාම කරුණාවෙන් සැලකූ බව සඳහන් වේ. උන්වහන්සේ ගේ සම්බුද්ධ සාසනයේ දරුවන් සඳහා පැවිදි වීමේ අයිතිය පවා ලබා දීමෙන් මේ බව පැහැදිලි වන අවස්ථා රැසකි. සුනීත, සෝපාක වැනි දරුවන් හට සිය දුක්බර ජීවිතයෙන් ඉවත්ව සම්බුද්ධ සාසනයේ පැවිදි වීමට අවස්ථාව ලබා දීම එයට ඇති හොඳම උදාහරණයයි. එසේම මිය යන්නට සිටි මට්ටකුණ්ඩලී දරුවා වෙත ගොස් යහපත් ආත්ම බාවයක ඉපදීම සඳහා දරුවා වෙත කරුණාවේ ආලෝකය පැතිර වූයේ ද බුදුන් වහන්සේ දරුවන් කෙරෙහි දැක්වූ අසීමිත දයා ගුණය නිසයි. ඒ නිසාම සැබෑ බෞද්ධයන් ලෙස දරුවන් වෙත කරුණාව දක්වමින් දරුවන්
රැකබලා ගැනීම අප සතු වගකීමකි.
සටහන චාපා හංසිනි ආටිගල