free stats

ගර්භණී සමය තුළ සාමාන්‍යයෙන් ගෙවන ජීවිතය මොහොතකට වෙනස් වෙනවා. ඒකට හේතුව වෙන්නේ කුස තුළ කලලයෙහි වර්ධනය සිදු වීමයි. මේ නිසාමයි මේ කාලය තුළදී වෙනදට වඩා සැලකිළිමත් විය යුතු වන්නේ. ඔබ ගර්භණී සමයට කායිකව සිදු කර ගත යුතු වෙනස්කම් කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතුයි. එය ඔබගේත් කුස තුළ වැඩෙන  දරුවාගේත් නිරෝගී බව උදෙසා වැදගත් වේ.

මව් කුස තුළ වැඩෙන කලලයට උචිත පරිද්දෙන් තම සිරුර තුළ වෙනස්කම් සිදු කර ගත යුතුද ඒ වෙනස්කම් මොනවාද? ඒ අනුව තමන් සපුරා ගත යුතු ඉලක්ක මොනවාද? යන්න පිළිබදවත් නිවැරදි අවබෝධයක් ඔබ තුළ පැවතිය යුතුයි. එසේ නොවන්නට කලලයට හා මවට යම් යම් සංකූලතාවයන් ඇති විය හැකියි. කායික වශයෙන් තම යෝග්‍යතාවය සළසා ගැනීමේදි තමන්ගේ බර උස ආදිය පිළිබදව සැලකිළිමත් විය යුතු වෙනවා. එමෙන්ම උපත් පාලක පෙති ආදිය භාවිතා කරනවානම් ඒවා වෛද්‍ය උපදෙස් මත නැවැත්වීමට කටයුතු කර යුතුයි. මේ ආදි කරුණු පිළිබඳව මූලික අවධානය යොමු කරමින් ගර්භණී සමයට අවශ්‍ය කායික යෝග්‍යතාවය තමන් විසින් සළසා ගත යුතුයි.

ඔබත් ඔබ‍ගේ සහකරුත් දරුවෙකු පිළිබදව සිහින මවනවානම් ඒ කිරි සිහිනය සැබෑ කරගන්නට  මංපෙත් විවර කරගත යුතු වෙන්නේ දීර්ඝකාලීනවයි. විවාහ දිවියට ඇතුළත් වූ විගස පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියව හමුවීමත් මෙහිදී වැදගත් වෙනවා. ඒ හරහා ඔබට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් ලබා ගත හැකි වෙනවා.

මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඔබව පරීක්ෂා කර අවශ්‍ය කායික යෝග්‍යතාවය සළසා ගත යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබා දෙනවා. මේ යටතේ කරනු ලබන සුවිශේෂී පරීක්ෂණයක් ලෙසින් රක්තහීනතා පරීක්ෂණය හඳුන්වන්න පුළුවන්. අද වෙනකොට තෝරා ගන්නා ලද රෝහල්වල පවත්වනු ලබන පෝෂණ සායන වලට ගර්භණී කාන්තාවන් යොමු කරලීම මෙම සායනවලින් අනතුරුව සිදු කරනු ලබනවා. මේ  නිසාම පෙර සඳහන් කරන ලද සායනවලට සහභාගී වීමද ඉතා වැදගත් කාරණයක් ලෙස හඳුන්වනු ලබයි.

ගර්භණී සමයට කායික සූදානම පිළිබදව අවධානය යොමු කිරීමේදි තමන්ගේ උස බර මැන බී එම් අයි අගය ගණනය කර එය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ආ යුතුයි. එනම් ඔබ අවශ්‍ය නියමිත බර අගයට වඩා ඉහළ අගයක සිටින්නේ නම් එය අවම කර ගත යුතුයි. එමෙන්ම අවශ්‍ය අගයට වඩා අවම අගයක පවතින්නේ නම් නිසි පෝෂණය ගෙන නිසි බර මට්ටමකට ගෙන ආ යුතුයි. මන්ද බර අඩු වීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති වෙන්න පුළු‍වන්. ඒ වගේමයි ඉතාම අඩු බර කාන්තාවන්ට ගැබ්  ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. ගැබ් ගැනීමට කායික සූදානම් වීමේදී ඔබගේ බී එම් අයි අගය 18.5 වඩා ඉහළ අගයක තබා ගැනීම වැදගත් වෙනවා. එමෙන්ම මෙම අගය 25 ට වඩා වැඩි අගයක් ගනු ලබයි නම් ඔබ තරබාරු ගණයට වැටෙන අතර බර වැඩි වීම නිසා ගර්භණී සමයේ මෙන්ම ප්‍රසූතියේදීත් යම් යම් සංකූලතා ඇති වීමේ අවධානම පවතියි. බර වැඩි කාන්තාවන්ට ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන නිසා මේ කායික සූදානම් වීම තුළදී බී එම් අයි ප්‍රශස්ථ මට්ටමක රදවා ගැනීම අතිශය වැදගත් වනවා.

නිධන්ගත රෝග පිලිබදව අවධානය යොමු කරලීමත් ගර්භණී සමයට සිදු කරන කායික සූදානම් වීමේදි වැදගත් කරුණක් වෙනවා. මෙහිදී සුවිශේෂීව සඳහන් කළ යුතු දෑ වනුයේ පෙර කී නව දිවි සායනවලට යොමු වීම මඟින් මෙම රෝගී තත්වයන් සියල්ල පරීක්ෂාවට ලක් කළ හැකි වීමයි. කෙසේ නමුත් ඇඳුම/රුධිර පීඩනය/ වලිප්පුව/ දියවැඩියාව තයිරොක්සීඩි ග්‍රන්ථි ආශ්‍රිත රෝග පවතිනවා නම් මේ සඳහා තමන් ටිකක් විතර වැඩි අවධානයක්  යොමු කළ යුතුයි. මෙම ලෙඩ රෝග සඳහා  බෙහෙත් වර්ග භාවිතා කරනවානම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ අනුව ලැබෙන වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම මෙම කාල වකවානුවේදී වැදගත්. තයිරොක්සීන් මැන බැලීමත් මෙහිදී ඉතා වැදගත්.

මීළඟ වැදගත් කාරණාව ලෙස පාරම්පරික රෝග පිලිබඳව අවධානය යොමු කරලීමත්  මෙහිදී වැදගත් වෙනවා. තවත් වැදගත් කාරණයක් වනුයේ ඔබට හෝ ඔබේ ඔබගේ සහකරුට හෘද වස්තු ආශ්‍රිත රෝග පවතින්නේ නම් එම රෝග ඔබට වැළඳී නැතත් ඒ පිළිබදව මනා සැළකිල්ලක් දැක්වීමයි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ‍ඖෂධ ආදිය භාවිතා කළ යුතුයි.

මීට අමතරව

ඔබගේ පෝෂණ රටාව එනම් ඔබ ලබා ගන්නා පෝෂණ අතිරේක පිළිබඳවත් ගර්භණී සමය තුළදී  අවධානය යොමු කළ යුතුයි. ගර්භණී සමයට සළසා ගත යුතු කායික යෝග්‍යතාවය පිළිබඳව අවධාවනය යොමු කිරීමේදී ව්‍යායාම සහ ආතතිය පාළනය කර ගැනීම හැකිය.

ඇවිදීම තුළින් රුධීර සංසරණය ප්‍රාණවත් කර මාංශපේශීවල සවිමත්බව රැක දෙනවා. මේ නිසා මවගේ කායික සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමට මේ ඇවිදීම කියන පුරුද්දත් නිවැරදි ව්‍යායාමයක් නිසා ඇයගේ සිරුර ක්‍රියාශීලී වෙනවා. මෙහිදී ඔබ සැළකිළිමත් විය යුතු වන්නේ නිවැරදි ව්‍යායාම ඉරියව් භාවිතා කිරීමයි. හිතුමතේ වෛද්‍ය උපදෙස් වලින් තොරව ව්‍යායාම සිදු නොකල යුතුයි.

මේ ආකාරයෙන් ඔබගේ ජීවිතයේ වඩා සැළකිලිමත් විය යුතු කාලය තුළ මනා කායික යෝග්‍යතාවයක් රඳවා තබා ගත හැකියි. මෙකී කාරණයන්ට අමතරව ඹබගේ සැහැල්ලු‍ මනස මෙන්ම ප්‍රීතිමත් ජීවිතයද කුස තුළ වැඩෙන දරුවාටත් ඔබටත් වැදගත් වනවා.

සටහන නදීශා ගයානි