free stats

 දෙමාපියන්ට මිහිපිට ඇති වටිනාම සම්පත දරුවන්ය. එක්වරම දරු සම්පත් දෙකක් දෝතට පත් වුවහොත් කොයි තරම් නම් ඔබ  වාසනාවන්තද? අතීතයට සාපේක්ෂව වර්තමානය වනවිට නිවුන් දරු උපත් ප්‍රතිශතය බහුලව දකින්නට හැකියි. විශේෂයෙන් වත්මන් කාන්තාව අධ්‍යාපන සහ රැකියා කටයුතු හේතුවෙන් බොහෝ සෙයින් කාර්යබහුල වීම සුදුසු වයස් සීමාවේදී ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට හේතුවකි. මෙසේ දරුවන් සෑදීම ප්‍රමාද කිරීම මෙන්ම මදසරුභාවය සඳහා සිදුකෙරෙන ප්‍රතිකාර හේතුවෙන්ද නිවුන් දරුවන් බිහි වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇත.

නිවුන් දරුවන් පිළිසිඳ ගැනීම ක්‍රම

■සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂයෙන් වරකට නිකුත් වන්නේ එක් ඩිම්බයක් පමණි. එහෙත් යම් හේතුවක් මත ඩිම්බ දෙකක් මුදා හැරිය අවස්ථාවක මෙම ඩිම්බ දෙක වෙන් වෙන් වශයෙන්  ශූක්‍රාණූ 2ක් සමග සංසේචනය වීම නිසා නිවුන් දරුවන් පිළිසිඳ ගත හැකිය.. මෙම තත්ත්වය ෆැටර්නල්  :ත්‍ර්එැරබ්ක ඔඅසබි* නිවුන් දරුවන් ලෙස හඳුන්වන අතර ඔවුන් සර්ව සම නොවේ.  මෙහිදී මොවුන් දරුවන් දෙදෙනෙකු ලෙස වෙන්වෙන් වශයෙන් මවගේ ගර්භාෂයෙහි වැඩෙයි. ඔවුන් පෝෂණය ලබන්නේ වෙන් වෙන් වශයෙන් වැදැමහ දෙකකයි.

■එක් ඩිම්බයක් එක් ශුක්‍රාණුවක් මගින් සාරවත් කොට එය දෙකට බෙදීයාම මගින් සර්ව සම (ෂාැබඑසජ්ක ඔඅසබි* නිවුන් දරුවන් බිහිවේ. ඔවුන්ගේ පෙනුම  එක සමානය.

නිවුන් දරුවන් සිටින මවක් ප්‍රවේසම් විය යුතු්තේ කෙසේද?

නිවුන් දරුවන් දරා සිටින මවක් සැමවිටම සමබර ආහාර වේලක් ලබාගැනීම හා ඒ අතරතුර අමතර ආහාර ලබා ගැනීම ද ෆොලික් ඇසිඞ්, කැල්සියම් හා යකඩ පෙති හා වෛද්‍යවරයා විසින් නිර්දේශිත වෙනත් විටමින් වර්ග නිසි ලෙස ලබා ගැනීමෙන් ද ගර්භණී සමයේ පෝෂණ අවශ්‍යතාව නිවැරදිව සපුරා ගත යුතුයි. නිවුන් දරුවන් සිටින මවක් ගර්භණී සමයේ දියවැඩියා තත්ත්වයන්ට ගොඳුරු වීමේ ප්‍රවණාතාවයක් ඇති නිසා තමන් ගන්නා ආහාර පිළිබඳව සැලිකිලිමත්වීම වැදගත්ය.

තනි දරුවෙකු සිටින මවකට වඩා නිවුන් දරුවන් සිටින මවකට සංකූලතා ඇති වීමේ ප්‍රවණතාවය ඉහළය. එම නිසා ගර්භණී සමයේ නිවැරදි ලෙස සායන වෙත සහභාගී වෙමින් වෛද්‍යවරයා විසින් නියම කරන ස්කෑන් පරීක්‍ෂණවලට යොමු වීම ඇතුළුව සෑම වෛද්‍ය උපදෙසක්ම පිළිපැදිය යුතුයි. එසේම නිවුන් දරුවන් බිහිකිරීමට සූදානමින් සිටි මවක් වෛද්‍ය උපදෙස් අනුව යමින් තම ප්‍රසූතිය සඳහා ප්‍රධාන රෝහලක් තෝරාගත යුතුය. නිවුන් දරුවන් බිහිකරන මවකට ප්‍රසූතියෙන් පසු වැඩි රුධිර වහනයක් ඇති විය හැකි නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

නිවුන් දරුවන් ප්‍රසූතියෙන් පසු

මෙසේ පරිස්සමට මෙලොව එළිය දුටු දරුවන් දෙදෙනා සමග කටයුතු කිරීම මවකට ගර්භණී කාලයටත් වඩා අභියෝගාත්මකය. දරුවන් දෙදෙනෙකුගේම කටයුතු එකවර කරන්නේ කෙසේද යන්න මවට ඇති වන ප්‍රධාන ගැටලුවයි. නිවුන් දරුවන් සිටින මවකට සහයට කෙනෙකු සිටීම අත්‍යවශ්‍යම වේ. එනිසා දරු ප්‍රසුතියට පෙර මවගේ සහයට කෙනෙකු තෝරා ගෙන සිටීම සුදුසුය. නිවුන් දරුවන් සිටින මවක් සාමාන්‍ය මවකට වඩා මානසික අවපීඩනයට ලක්වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මවගේ මානසික සෞඛ්‍යය පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

නිවුන් දරුවන්ගේ පෝෂණය

සොබා දහමේ ආශ්චර්ය ලොවට පසක් කරමින් මව් කුසින් මෙලොවට බිහිවන කිරිකැටියා පෝෂණය කරන්නට මවකගේ රුහිරු කිරට හැරෙයි. එක් දරුවෙකු මෙලොවට බිහි කළ මවකට වඩා නිවුන් දරුවන් බිහිකළ මවකට දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් පැවරෙන වගකීම අතිවිශාලය. නිවුන් දරුවන් ලද මවකට ළදරුවන් දෝතට පත් වූ  විට ඇති වන ප්‍රධානතම ගැටලුව වන්නේ දරුවන්ට මව්කිරි ලබා දෙන්නේ කෙසේද යන්නය. නිවුන් දරුවන් දෙදෙනාටම එකවර මව්කිරි ලබාදිම වඩාත් සුදුසුය. මුලින්ම එක් දරුවකු නිසි පරිදි පියයුරට සම්බන්ධ කොට මව්කිරි ලබාදීමට පුහුණු වූ පසු දරුවන් දෙදෙනාටම එකවර මව්කිරි ලබාදීමට පුහුණු විය යුතුය. රෝහල් කාර්ය මණ්ඩලය ඒ සඳහා අනිවාර්යෙන්ම මවට අවශ්‍ය පුහුණුව ලබා දීමට කටයුතු කරයි.

නිවුන් දරුවන් දෙදෙනාටම එකවර මව්කිරි ලබාදීමේදී,

ළදරුවන් දෙදෙනාම එකවර කිරි උරා බොන විට කිරි නිෂ්පාදනය වැඩි වේ. දරුවකු කිරි උරා බොන විට මවගේ මොළයට කිරි නිෂ්පාදනය කළ යුතු බවට පණිවිඩක් යයි. දරුවන් දෙදෙනාම එකවර කිරි උරා බොමින් පියයුරු උත්තේජනය කරන විට ප්‍රෝලැක්ටීන් හෝමෝනය ශ්‍රාවය වී කිරි නිෂ්පාදනය වැඩි කරයි. එක වරකට එක් පියයුරකින් කිරි උරා බොනවාට වඩා එක්වරම පියයුරු දෙකම හිස් වන විට කිරි නිෂ්පාදනය වැඩිවේ.

මවගේ යහපත් මානසික තත්ත්වය මව්කිරි නිෂ්පාදනය වීමට නම් සෘජුවම බලපායී. එනිසා මව නිරවුල් මනසකින් සතුටින් සිටීම ඉතා වැදගත්ය. දරුවන් දෙදෙනාට තනි තනිව මව්කිරි ලබා දෙනවිට මවට ඒ සඳහා වැඩි කාලයක් ගත කිරීමටත් වෙහෙසක් දැරීමටත් සිදුවේ. නමුත් දෙදෙනාටම එකවර මව්කිරි ලබාදීමෙන් මවගේ කාලය ඉතිරි වන අතරම ඇයට අමතර  විවේකයකයක්ද ලබාගත හැකිය.

නිවුන් දරුවන්ගේ වර්ධනය නිසියාකාරව සිදුවෙනවාද?

සාමාන්‍යයෙන් අලුත උපන් දරුවෙකුගේ මුල් සති දෙක ඇතුළත උපත් බරෙන් 10% පමණ අඩුවේ. ඉන් පසු දරුවාගේ බර අඩුවීම ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් ගොස් සති දෙකක් ඇතුළත බර ස්ථාවර වේ. බර ස්ථාවරවීමෙන් පසු දරුවාගේ බර දිනකට 10ට – 30ට ත් අතර වැඩිවීම සිදු වේ. ළදරුවන්ගේ වර්ධන සටහනට අනුව බර සාපේක්‍ෂව වර්ධනය වී තිබීම මව්කිරි ප්‍රමාණවත් ලෙස ලැබී ඇති බවට හොඳම සාක්‍ෂියයි. ඇතැම් අවස්ථාවල එක් දරුවෙක් අනිත් දරුවාට වඩා අඩු කිරි ප්‍රමාණයක් බොන අවස්ථාවකදී දරුවන් දෙදෙනාම මව්කිරි උරාබීමෙන් අනතුරුව කිරි දොවා අඩු ප්‍රමාණයක් පානය කළ දරුවාට ලබා දිය හැකිය.

දරුවන් දෙදෙකුටම එකවර ප්‍රමාණවත් කිරි නිෂ්පාදනයක් මවට කළ හැකිද?

මව සමබර ආහාර ගෙන දරුවන්ට මව්කිරි ලබා දෙනවා නම් දරුවන් හොඳින් කිරි උරා බොනවා නම් දරුවන් කිහිප දෙනෙකුට ආයාසයකින් තොරව මව්කිරි නිපදවීමේ හැකියාව මවක් සතුයි. මවගේ ශරීරයේ ප්‍රමාණය, වයස යන සාධක මව්කිරි නිෂ්පාදනයට බලපෑමක් නොවන අතර මවගේ යහපත් මානසිකත්වය හා දරුවන් කිරි උරා බීම, කිරි නිෂ්පාදනයට බලපාන සාධකයි. දරුවාගේ වැඩීමත් සමගම මව්කිරිවල සංයුතිය ද දරුවන්ගේ වැඩීමට අවශ්‍ය පරිදි වෙනසකට ලක් වන නිසා මව්කිරි වෙනුවට කිසිසේත්ම ආදේශක ආහාරයක් අවශ්‍ය නොවේ.

දරුවන් බලන්නට පැමිණෙන අමුත්තන් සීමා කරන්න

අලුත උපන් දරුවන්ට විෂබීජ සමග සටන් කිරීමේ හැකියාව අල්ප බැවින් ඔවුන් ඉක්මණින්ම විෂබීජ හේතුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකිය. විශේෂයෙන් නිවුන් දරුවන් සිටින විට එක් දරුවකු රෝගී වුවහොත් අනෙක් දරුවාටද අවදානමක් ඇත. එනිසා දරුවන් බලන්නට පැමිණෙන අමුත්තන් සීමා කරන්න.

එකට පැමිණියත් ඔවුන් දෙදෙනෙක්ය

එකම කුසයක දසමසක් එකට හිඳ එකටම මෙලොව එළිය දුටුවද ඔවුන් දෙදෙනා ජීවිත දෙකකි. එනිසා ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, උපකරණ සහ ලිපි ගොනු වෙන් වෙන්ව තබන්න. දරුවන් දෙදෙනා වෙනුවෙන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට වර්ණ දෙකක ඇඳුම් පැළඳුම් සහ උපකරණ සුදානම් කරගන්න.

දරුවන් දෙදෙනෙකු එකවරම නිවසකට ලැබීම භාග්‍යයකි, වාසනාවකි. එහෙත් ඔවුන්ව රැක බලා ගැනීම සුළුවෙන් සැලකිය නොහැකිය. එනිසා පියාගෙන් සහ පවුලේ සියලු දෙනාගේම සහයෝගය මවට ලැබිය යුතුමය.

වෛද්‍ය ඉන්දික එල්ලාවල
ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී
සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය
රත්මලාන

සටහන දිශාන්ති වෙදගේ