free stats

විවාහයට පෙර මෙන්ම විවාහයෙන් පසුවත් සෑම යුවළකගේම එකම බලාපොරොත්තුව වන්නේ නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමයි. මේ සඳහා සැපිරිය යුතු මූලික කාරණා ගලෙස ශරීරයේ බර නිසි පරිදි තබා ගැනීම, පෝෂණය නිසි පරිදි පවත්වාගෙන යාම, ආදී පොදු කාරණා පිළිබඳව අප නිරන්තරව සඟරාව හරහා ඔබව දැනුවත් කළා. එමඟින් අප බලාපොරොත්තු වූයේ ඔබේ මෙන්ම දරුවාගේත් සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ඔබ වෙත ලබා දීමයි.

නමුත් ඔබේ සහකරුගේ ආරක්‍ෂාව සහ ඔබ දෙදෙනාගේම නිරෝගී බව එක සේ වැදගත් වගත් ඔබ හොඳින්ම දන්නවා. දරුවාට යහපත් අනාගතයක් තැනීම සඳහා ඔබ අතින් මෙන්ම සැමියා අතින් ඉටුවිය යුතු යුතුකම් ප්‍රමාණය සුළුපටු නැහැ. ඒ සියලු යුතුකම් ඉටුවන තුරු ඔබ දෙදෙනා නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටීම ඉතාම වැදගත්. ඒ නිසාම වළක්වාගත යුතු, වළක්වාගත හැකි, රෝග තත්ත්ව කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අප තීරණය කළා. විවාහයට පෙර, සුදුසු සහකරුවා තෝරා ගැනීමට පෙර ඔබ මෙම රෝග තත්ත්වවලින් තොර බව සනාථ කර ගැනීම ඔබේ ආදරණීයයන්ට යහපත් හෙට දවසක් සඳහා හේතු වනවා.

01. ලිංගාශ්‍රිතව සම්ප්‍රේශණය වන රෝග පරික්‍ෂාව

මානව ප්‍රතිශක්තිකරණ ඌණතා සහලක්‍ෂණය හෙවත් AIDS රෝගය හැරෙන්නට අනෙකුත් ලිංගාශ්‍රිතව බෝවන රෝග බොහෝමයක් කලින් හඳුනාගැනීම මඟින් වළක්වා ගන්න පුළුවන්. එය දෙයාකාරයකින් වැදගත් වනවා. එයින් එකක් වන්නේ ඔබ විවාහ වන ආදරණීයයාට මෙම රෝගය පැතිර යාම වැළකීම එනම් රෝගය ඔබ හරහා සමාජගත වීම වැළකීමයි. අනෙක් කරුණ වන්නේ මෙවැනි රෝගයක් නිසා උපදින දරුවාට ඇතිවන සංජානනීය සංකූලතා වළක්වාගැනීමට ඇති හැකියාවයි. එනම් නූපන් පරපුරක් රෝග බියෙන් වළක්වාගැනීමේ හැකියාවයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවයකට පෙළඹුනේ නම් පළමුව සායනයක් හරහා රෝග පරීක්‍ෂාවක් සිදුකරගැනීම ඉතාම වැදගත් වනවා.

රජයේ ප්‍රධාන රෝහල්වල තිබෙන ලිංගාශ්‍රිත රෝග සායන හරහා රුධිර පරීක්‍ෂාවක් මඟින් මේ තත්ත්වය හඳුනාගත හැකි අතර එසේත් නැත්නම් කොළඹ 10 ද සේරම් පෙදෙස පිහිටි ජාතික රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනය හරහා පරීක්‍ෂාවක් සිදුකරගන්නට පුළුවන්. ඉතාම රහස්‍යභාවයෙන් යුතුව ඔබව අපහසුතාවයට පත් නොකර සිදු කරන මෙම පරීක්‍ෂාවට අනවශ්‍ය ලෙස බිය වීමට අවශ්‍ය වන්නේ නැහැ. විවාහයට පෙර දෙදෙනාම රෝග පරීක්‍ෂාවට යොමු වීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම රෝගය වළක්වා ගැනීම සඳහා විශ්වාසවන්ත එක් සහකරුවෙක්/සහකාරියක් සමඟ ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම මෙන්ම අනාරක්‍ෂිත අවස්ථාවකදී කොන්ඩමයක් පැළදීම වඩාත් සුදුසු වනවා.

02. අපස්මාරය

මෙම රෝග තත්ත්වය ඇති කාන්තාවක් ඒ සඳහා දීර්ඝ කාලීන ප්‍රතිකාර ගතයුතු බව අපි දන්නවා. එහිදි සමහර විට රෝගය සුව වීමේ ප්‍රවණතාවය අනුව වැඩි හෝ අඩු වශයෙන් ඖෂධ මාත්‍රාව වෙනස් වනවා. මෙම ඖෂධ දරු ගැබට හානි කරන්නට ඉඩ තිබෙනවා. දරුවාට හිතකර ඖෂධවලට මාරු වීම මෙන්ම හිතකර ඖෂධ සඳහා යොමු වීම දරු පිළිසිඳ ගැනීමට ප්‍රථම කළ යුතු වනවා.

03. රුබෙල්ලා එන්නත ලබාගැනීම

තරුණ ගැහැණු දරුවන්ට රුබෙල්ලා එන්නත ලබා දීම සාමාන්‍යයෙන් සිදුවුවත් සමහර විට එක් රුබෙල්ලා එන්නතක් පමණක් ලබා දී ඇති අවස්ථා දකින්න ලැබෙනවා. එවැනි අවස්ථාවකදි දෙවන රුබෙල්ලා එන්නත ලබා ගැනීම වඩාත් සුදුසුයි. එයින් රුබෙල්ලා රෝගය ඇතිවීම

වළක්වාගන්න පුළුවන්. රෝග මර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය වීම සිදුවනවා.

04. තැලසීමියා රෝග පරීක්‍ෂාව

තැලසීමියාව කියන්නේ වළක්වාගත හැකි රෝගී තත්ත්වයක්. මුලින්ම විවාහය සඳහා සහකරුවෙක් තෝරාගැනීමට ප්‍රථම තැලසීමියා රෝග පරීක්‍ෂාවකට යොමු වීම වඩාත් වැදගත් වනවා. නැතිනම් ඔබ හෝ සහකරුගේ යම් ගැටළුවක් නිසා දෙදෙනාට වෙන්වීමට සිදුවුවහොත් එය මානසික පීඩාවකට හේතුවක් වනවා. තමන් වාහකයෙකුද නැද්ද යන්න හඳුනාගත් පසු තැලසීමියා පරීක්‍ෂාවකින්

නිරෝගීබව තහවුරු කරගත් සහකරුවෙක් තෝරා ගැනීම වඩාත් සුදුසුයි. රජයේ ප්‍රධාන රෝහල්වල ඇති තැලසීමියා රෝග සායනයක දී රුධිර පරීක්‍ෂාවක් මඟින් තමන් රෝග වාහකයෙක් ද නැද්ද යන්න හඳුනාගන්න පුළුවන්. වාහකයන් දෙදෙනෙකුගෙන් උපදින දරුවෙක් පූර්ණ තැලසීමියා රෝගියකු වීමට 25% ක අවස්ථාවක් තිබෙන අතර එවැනි දරුවෙක් තැලසීමියා වාහකයෙක් වීමේ සම්භාවිතාව 50% කි. දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් රෝග වාහක වේ නම් උපදින දරුවන්ගෙන් 50% ක් වාහකයන් වීමටත් 50% සම්පූර්ණ නිරෝගි දරුවන් වීමටත් හැකියාවක් පවතිනවා.

05. නිරක්තිය පරීක්‍ෂාව 

යකඩ ඌණතාවය පිළිබඳව පරීක්‍ෂා කර තිබීමත් ඉතාම වැදගත් වනවා. මාස් ශුද්ධිය සිදුවන විට රුධිරය පිටවීමේ ප්‍රමාණය ඉතාම වැඩි නම් යකඩ ඌණ වීමට වැඩි ඉඩක් පවතිනවා. මේ පිළිබවත් රුධිර පරීක්‍ෂණයක් මඟින් අනාවරණය කරගන්න පුළුවන්. තයිරොක්සීන් පරීක්‍ෂාවත් මෙහිදි ඉතාම වැදගත් වනවා.

06. හියුමන් පැපිලෝමා වෛරස් පරීක්‍ෂාව

සෑම කාන්තාවක්ම ලිංගිකව සක්‍රිය වීමට ප්‍රථම ්‍යඡඪ හෙවත් හියුමන් පැපිලෝමා වෛරසය සඳහා වන එන්නත ලබා ගැනීම වඩාත් සුදුසුයි. එයින් ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානම

වළක්වනවා. නමුත් ලිංගිකව සක්‍රිය වීමෙන් අනතුරුව මෙම එන්නත ලබාගැනීම එතරම් ප්‍රථිපලදායක වන්නේ නැහැ. 

දරුවෙකු- පිළිසිඳ ගැනීමට පෙර මුල්‍යමය වශයෙන් ශක්තිමත් වීම, දෙදෙනාම රැකියාවල නිරත වේ නම් නිවාඩු, අතිරේක නිවාඩු ආදිය ගැන අවබෝධ කරගැනීම, රැකියාවේ ස්ථිර භාවය තහවුරු කරගැනීම ආදිය වඩාත් සුදුසු වනවා. මූලම්‍ය වශයෙන් වඩාත් ශක්තිමත් වීම මඟින් ඔබට නිදහස් බව හා ඔබේ පවුලේ ස්ථිර බව සනාථ කරගන්නට පුළුවන්.

මහාචාර්ය, වෛද්‍ය පූජිත වික්‍රමසිංහ
වෛද්‍ය විද්‍යාලය
කොළඹ විශ්ව විද්‍යාලය. 

සටහන චාපා හංසිනි ආටිගල